විස්සට ජනමත විචාරණයක් අත්‍යවශ්‍යයි !

ජනාධිපති නීතිඥ, ආචාර්ය ජයම්පති වික්‍රමරත්න

දහනව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය කණපිට හරවමින් විසිවැනි ව්‍යවස්ථා සංශෝධන කෙටුම් පත ඉදිරිපත් වී තිබේ. එය සම්මත වීම හෝ නොවීම කෙසේ් වෙතත්, එහි ඇති කරුණු මෙන්ම 19 වැනි සංශෝධනය නිවැරැදිව සමාජගත නොවූයේ ඇයි ද යන්න බරපතළ ගැටලු ය. 2015දී 19 කෙටුම් පත සකස් කිරීමේ වගකීම දැරූ පාර්ශ්වයක් වන ජනාධිපති නීතිඥ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න සමඟ කළ සාකච්ඡාවක් ඇසුරින් මෙම ලිපිය සකස් කෙරිණි.

බහුතර බලයේ අභියෝගය

කවර තත්ත්වයක් යටතේ හෝ දහනව වැනි සංශෝධනයෙන් ඉදිරියට තැබූ පියවර ආපස්සට හැරවීම අනුමත කළ නොහැකියි. විසිවැනි සංශෝධනයෙන් සිද්ධ වෙන්නෙ ඒක. මේ කෙටුම් පතේ තියෙන කරුණු ගැන කතා කරන්න කලින් දහනව වැනි සංශෝධන කෙටුම් පත සකස් කිරීමේ අභියෝගය ගැන කතා කරන්න මම කැමැතියි.

2015 ඒ සමාජ වෙනසට දායක වූ පිරිස විශේෂයෙන්ම බලාපොරොත්තු වුණේ විධායක ජනාධිපති ක්‍රමය වහාම අහෝසි කිරීම. ඒ වගේම සිරිසේන මහත්තයත් එක්ක මන්ත්‍රීවරු 31 දෙනකු එයි කියලත් බලාපොරොත්තු වුණා. ඒත් ආවේ හයදෙනයි. ඉතින් ඒ පාර්ලිමේන්තුව පටන් ගත්තෙ සරල බහුතරයක්වත් නැතුව. ඒක නිසා තීරණය කෙරුණා, ජනමත විචාරණයකට නොයා, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලයෙන් සම්මත කළ හැකි ව්‍යවස්ථා සංශෝධනයක් ඉදිරිපත් කරන්න. ජනමත විචාරණයකට යන්නෙ නෑ කියන්නෙ ජනාධිපති ක්‍රමය සම්පූර්ණයෙන් අහෝසි කරන්න බෑ. ඒත් බලතල අඩු කරන්න පුළුවන්. ඒකට තමයි එකඟ වුණේ. ඒත් ඒ එකඟවුණු කරුණු පවා ඒ ආකාරයෙන්ම කරගන්න බැරි තත්ත්වයන් තිබුණා.

දහනව වැනි සංශෝධනයේ මුල් කෙටුම් පත්කරණය කෙරුණේ එවකට අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහ කැබිනට් මණ්ඩලයේ අධීක්ෂණයෙන් යුත් කමිටුවකින්. 1972 ව්‍යවස්ථාව හදන වෙලාවෙ කොල්වින් ආර්. ද සිල්වා කියලා තියෙනවා, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදන්න ඕනෙ ඒ විෂයභාර ඇමැති නෙමෙයි කියලා. කොහොම වුණත්, කෙටුම් පත කරපු කමිටුවට තමන්ට ඕනෑ විදිහට කෙටුම්පත සකස් කිරීමේ බලයක් තිබුණෙ නෑ. ඒ කමිටුවට හිටියා, නීති කෙටුම් පත් දෙපාර්තමේන්තුවෙන් විශ්‍රාම ගත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් තිදෙනෙක්, තවත් නීතිඥ මහත්මයෙක් සහ මම. ඒකෙ අදහස අපිට කිසිම දෙයක් කරන්න තිබුණෙ නෑ කියන එක නෙමෙයි.

‍කෙටුම්පත් මණ්ඩලයේ භූමිකාව

අපිට භූමිකාවක් තිබුණා. යම් ස්වාධීනත්වයක් තිබුණා. උදාහරණයක් විදිහට තොරතුරු ලබා ගැනීමේ පනතක් ගේන්න විතරයි යහපාලන ආණ්ඩුවෙන් පොරොන්දු වුණේ. නමුත්, ඊට වඩා එහාට ගිහින් තොරතුරු ලබා ගැනීම මූලික අයිතියක් බවට පත් කරන්න අපිට පුළුවන් වුණා. ඒ වගේම ජාතික ප්‍රසම්පාදන කොමිසම පිළිබඳ යෝජනාව. ඒක සලකා බලන්න කියලා අපිට කිව්වේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය. එයා බලයේ ඉන්න කාලෙ ජාතික ප්‍රසම්පාදන ඒජන්සිය කියලා ආයතනයක් හරහා තමයි රජයේ භාණ්ඩ හා සේවා මිල දී ගැනීම් සියල්ල තීරණය කළේ. ඒක මහින්ද රාජපක්ෂ මහත්තයා බලයට ආපු ගමන් අහෝසි කළා. ඊළඟට නීතිපතිවරයාට සහ පොලිස්පතිවරයාට අවුරුදු 60 දක්වා එකදිගටම ඉන්න අවස්ථාව ලබා දුන්නා. නැත්නම් කලින් 58න් ඉවරයි. ඊළඟ අවුරුදු දෙකට සේවා දිගු ලබාගන්න ඕනෙ. එහෙම වුණාම ඔවුන්ගේ ස්වාධීනත්වයට ඒක ප්‍රශ්නයක්.

රටේ ව්‍යවස්ථාවට අනුව පරමාධිපත්‍ය බලය ශක්තිමත් කරන්න ජනමත විචාරණයක් අවශ්‍ය නෑ. පරමාධිපත්‍ය බලය හීන කරන අවස්ථාවල ජනමත විචාරණයක් අත්‍යවශ්‍යයි. 19දී කළේ පරමාධිපත්‍යය ශක්තිමත් කිරීමක්.

 

හැබැයි, මේවා අපිට ඕනෙ විදිහටම කෙටුම්පත් කළේ නෑ. අර බලයලත් කමිටුවෙන් අනුමැතිය ගන්න වුණා. ඒක බලපෑමක් නෙමෙයි. සාකච්ඡා කිරීමක් කියලා හඳුන්වන්න පුළුවන්. ඒක නිසා අපිට පුළුවන් වුණා, හොඳ කෙටුම් පතක් හදන්න. අවසානයට අපේ කෙටුම්පත නීති කෙටුම්පත්කරුට බාර දුන්නා. ඒ කාලෙ එතැන හිටපු සිල්වා මහත්තයත් යම් යම් යෝජනා කළා. ඊට පස්සෙ නීතිපති හරහා කැබිනට් කාර්යාලයට බාර දුන්නා.

ජවිපෙ – ටීඑන්ඒ ඉවතට

ඊට පස්සෙ මාර්තු 15 වැනිදා. එදා ඉරිදා දවසක්. ජනාධිපතිවරයා මේ කෙටුම්පත සාකච්ඡා කරන්න සියලු‍ පක්ෂවල රැස්වීමක් කැඳවලා තිබුණා. හැබැයි ඒකට ජනතා විමුක්ති පෙරමුණට සහ දෙමළ ජාතික සන්ධානයට ආරාධනා කරලා තිබුණෙ නෑ. අනෙක් පක්ෂ සියල්ල නියෝජනය වෙලා තිබුණා. එතන දී ජාතික හෙළ උරුමය ඇතුළු පාර්ශ්ව ගණනාවකින් තදබල විරෝධතාවක් තිබුණා, ජනාධිපති ධුරයේ බලතල එතරම් අඩුකරන්න එපා කියලා. එතනට අපි ඉදිරිපත් කරපු 19 වැනි සංශෝධන කෙටුම්පතේ තියෙන්නෙ අගමැතිවරයා කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා වෙන්න ඕනෙ කියලා. අපේ පැත්තෙන් පාර්ලිමේන්තුව ඉතා ශක්තිමත් කිරීමක් අපි බලාපොරොත්තු වුණේ. මට එතන දී තමයි, තේරුණේ, ජවිපෙට සහ දෙමළ සන්ධානයට ආරාධනා නොකළේ ඇයි කියලා. ඒ ගොල්ලො හිටිය නම් මේක ගැන ප්‍රශ්න කරනවනෙ. අගමැතිවරයත් ප්‍රශ්න කළේ නෑ. ඒ වෙලාවෙ හැටියට කෙටුම්පත තනුක නොකළොත්, පාර්ලිමේන්තුවෙ තුනෙන් දෙක ගැනීම ප්‍රශ්නයක් හැටියට තමයි පෙනුණෙ. මටයි, නීති කෙටුම්පත්කරුටයි ඒ සංශෝධන කරන්න පැය දෙකයි දුන්නෙ. ඒ තනුක කරපුවා හරියට තියෙනව ද කියලා අධීක්ෂණය කරන්න බාර දුන්නෙ ජී.එල්. පීරිස්ට සහ පාඨලී චම්පිකට. සැර බාල කිරීම පටන් ගත්තෙ එතනින්.

ඊට පස්සෙ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තවත් වෙනස්කම් සිදු වුණා, ජනමත විචාරණයකට නොයන්න තීන්දු කරපු නිසා. පාර්ලිමේන්තුවේ කාරක සභා අවස්ථාවේ දීත් විරුද්ධ පක්ෂය තවත් වෙනස්කම් ඉල්ලා සිටියා. විශේෂයෙන්ම පක්ෂ මාරු කිරීම් සම්බන්ධයෙන්. පක්ෂ මාරු කිරීම්වල දී මන්ත්‍රී ධුරය අහෝසි වීම වළක්වන්න. 2010දී 18 වැනි ව්‍යවස්ථා සංශෝධනයට සහාය දෙන්න විපක්ෂයෙන් පිරිසක් ආණ්ඩුවට ගියාට පස්සෙ මේකට අලු‍ත් තත්ත්වයක් ආවා. ඒ තමයි දිස්ත්‍රික් අධිකරණයෙන් අතුරු තහනම් නියෝගයක් අරගෙන, අවුරුදු පහම ඒකෙන් ඇදගෙන යන එක. ඒක වළක්වන්න වගන්තියක් කෙටුම් පතට ඇතුළත් කළා, දිස්ත්‍රික් අධිකරණයට බලයක් නෑ එහෙම නියෝග දෙන්න, ශ්‍රේෂ්ඨාධිකරණයට විතරයි, ඒ බලය තියෙන්නෙ කියලා. විශේෂයෙන්ම ඒ වෙලාවෙ දිනේෂ් ගුණවර්ධන මහත්තයා බරපතළ විදිහට ඒකට විරුද්ධ වුණා. ඒකත් අත්හැරියා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සංයුතියට පිටතින් පිරිස වැඩියෙන් දාන එකටත් විරුද්ධ වුණා. විශේෂයෙන්ම වාසුදේව නානායක්කාර වගේ අය. මේ ආකාරයට බලතල අඩු වුණාම, හොඳම කෙටුම්පතක් සකස් කර ගන්න බැරි වුණා. 1972 ව්‍යවස්ථාව හදන වෙලාවේ කොල්වින‍ෙආර්. ද සිල්වා කිව්වේ රාජ්‍යයේ බල ශීර්ෂයේ ජනතා ඡන්දයෙන් පත් වන සමාන බලය සහිත තනතුරු දෙකක් තියන්න එපා කියලා. ඒකෙ ආදීනව අපි දැක්කා. 19න් ජනාධිපතිගෙ බලය අඩු කළත්, එකිනෙකා සමඟ තරග කිරීමක් තමයි, සිද්ධ වුණේ. මේක මම පාර්ලිමේන්තුවේ දීත් කිව්වා. මේකට විසඳුම සම්පූර්ණයෙන්ම පාර්ලිමේන්තු ක්‍රමයට යන එක කියලා. 19 වැනි සංශෝධනයේ දුර්වලකම් තියෙනවා කියන්නෙ ඕවා තමයි. එහෙම නැතුව ඒක වැඩකට නැති එකක් නෙමෙයි.

19 වැඩක් නැද්ද?

පසුබෑම් මත වුණත්, මේකෙ තියෙන වටිනාකම ජනතාව අතරට ගෙන යන්නත් ඒ ආණ්ඩුව අසමත් වුණා. අසමත් වුණා කියනවාට වඩා හරියට වැඩක් කළේ නෑ. ඒක හින්දා තමයි 19 වැඩක් නෑ කියලා මතයක් සමාජගත කරන්න හැකියාවක් ලැබුණෙ. ඒකට තවත් වාසියක් වුණා, ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර ඇති වුණු ගැටුම්.

පරමාධිපත්‍යය හුවමාරුව

දැන් අපි කතා කරමු. විසිවැනි සංශෝධන කෙටුම් පත ගැන. මේකෙන් අපි ආපහු 2010 සිට 2015 දක්වා තිබුණු කාලයට යනවා. මෑත ඉතිහාසයේ අධිකාරිවාදීම අවුරුදු පහ තමයි ඒ. ජනාධිපතිවරයාගේ ධුර කාලය සහ තොරතුරු ලබා ගැනීමේ මූලික අයිතිය හැර අනෙක් සියල්ල මේකෙන් අහිමි වෙනවා. මෙතැන දී වෙන්නෙ ජනතාවගේ බලය හුවමාරු වීමක්. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වැනි වගන්තියේ ජනතා පරමාධිපත්‍යය පිළිබඳව සඳහන් වෙනවා. පරමාධිපත්‍යයට බලපෑමක් එල්ල වෙනවා නම්, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලයෙන් සහ ජනමත විචාරණයකින් ඒ කෙටුම් පත සම්මත වෙන්න ඕනෙ. ව්‍යවස්ථාවෙ හතරවැනි වගන්තියෙන් තුන්වැනි වගන්තිය විස්තර කරලා තියෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණය දිගටම කියලා තියෙනවා, හතර වැනි වගන්තිය කියවන්න ඕනෙ තුන්වැනි වගන්තියත් එක්ක කියලා. හතර වැනි වගන්තිය ශක්තිමත් කරන්න පුළුවන්, නමුත්, සැර බාල කරන්න බෑ. සැර බාල කෙරුවොත් තුන්වැනි වගන්තියට ඒක අහිතකර විදිහට බලපානවා. එතකොට ජනමත විචාරණයක් අත්‍යවශ්‍යයි.

ඇත්තටම 19න් පරමාධිපත්‍යය ශක්තිමත් වුණා ද? ඔව්. එකක් තමයි, පාර්ලිමේන්තුව ශක්තිමත් වුණා. තනි පුද්ගලයෙක් වටා කේන්ද්‍රගත වෙලා තිබුණු බලය වෙනුවට පාර්ලිමේන්තුව ශක්තිමත් කළා. උදාහරණයක් විදිහට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට අසීමිත බලයක් තිබුණා,

78 ව්‍යවස්ථාවෙන්. තිබුණු එකම සීමාව තමයි අවුරුද්දක් ඉන්න ඕනෙ කියන එක. ඒකෙත් හුඟක් අය දන්නෙ නැති කාරණයක් තියෙනවා. කලින් පාර්ලිමේන්තුවේ නිල කාලය අවසන් වෙන්න කලින් විසුරුවා හැරලා නම් විතරයි, ජනාධිපතිවරයා අවුරුද්දක් බලාගෙන ඉන්න ඕනෙ. ඒ පාර්ලිමේන්තුව නිල කාලය සම්පූර්ණ කරලා නම්, අවුරුද්දටත් කලින් විසුරුවා හරින්න බලය තිබුණා. ඒ කියන්නෙ පළමු සභා රැස්වීමෙන් පස්සෙ වුණත් පුළුවන්. ඒකෙන්ම තේරෙනව නෙ පරමාධිපත්‍ය බලය පාලනය කිරීමේ තරම.

අගමැති ලිපිකරුවෙක්

ඊළඟට අගමැතිවරයා. අගමැති කියන්නෙ පාර්ලිමේන්තුවේ බහුතර විශ්වාසය තිබෙන පුද්ගලයා. කතානායකටත් වඩා පාර්ලිමේන්තුව නියෝජනය කරන පුද්ගලයා අගමැති. ඒත් අගමැතිගේ බලය හීන කරලා තිබුණේ. ප්‍රේමදාස ජනාධිපතිවරයා කිව්වෙ, අගමැති කියන්නෙ ලිපිකරුවෙක් විතරයි කියලනෙ. හැබැයි එයා ඒක කිව්වෙ අගමැති කාලෙ. ජනාධිපති වුණාම ඒක කිව්වෙ නෑ. අපි 19න් ඕනෑම වෙලාවක අගමැති ඉවත් කිරීමේ බලය ඉවත් කරලා තිබුණෙ.

20න් ආපහු ඒක ගෙනැත් තියෙනවා. ඒ කියන්නෙ ආපහු ලිපිකරුවෙක් වෙනවා. අගමැතිට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලය තිබුණත්, ජනාධිපතිට ඕනෑම වෙලාවක අයින් කරන්න පුළුවන්. ඇමැතිවරු සංඛ්‍යාව, ඇමැතිවරුන්ගෙ බලතල පිළිබඳ සියලු‍ බලය ජනාධිපති අතට අරන් තියෙන්නෙ. මාදුළුවාවේ සෝභිත හාමුදුරුවො හැමදාම කියපු කතාවක් තමයි, ඇමැතිවරු සංඛ්‍යාව අඩු කිරීම. දැන් ඒ 19න් දාපු සීමා ඔක්කොම අවසන් කරන්නයි යෝජනා කරන්නෙ. දැන් එතකොට ආපහු ජනාධිපතිට පුළුවන්, තමන්ගේ දෑත් ශක්තිමත් කරන්න කියලා විපක්ෂයේ මන්ත්‍රීවරු මේ පැත්තට ගන්න. ජාතික එකඟත්වයකින් පත් කරපු ව්‍යවස්ථාදායක සභාව වෙනුවට පාර්ලිමේන්තු කවුන්සිලයක් යෝජනා කරලා තියෙනවා. ඒකට කිසිම බලයක් නෑ, කිසිම බලපෑමක් කරන්න බෑ. එතකොට ඒකෙන් නිකම්ම අනුමත කරන නිලධාරීන් ගැන මොකක් ද තියෙන විශ්වාසය. මතක තියා ගන්න, ව්‍යවස්ථාදායක සභාවට සාමාජිකයන් පත් කළේ විපක්ෂ නායකවරයාගෙත් එකඟතාවෙන්. ඒ කියන්නෙ ඒ වෙලාවෙ මහින්ද රාජපක්ෂ මහත්තයත් මේ සාමාජිකයන්ට එකඟ වුණා. පස්සෙ එන්ජීඕකාරයෝ කියලා චෝදනා කරන්න ගත්තා.

තවත් කාරණයක් තමයි, නීතිපති සහ පොලිස්පති සේවා දිගු පිළිබඳ බලය. 19න් අපි ඔවුන්ට 60 වෙනකම් ස්වාධීනව ඉන්න බලය ලබා දුන්නා. දැන් නැවතත් ඒක ඉවත් කරලා. නැවතත් සේවා දිගු ගන්න ජනාධිපති ළඟට යන්න ඕනෙ. ලංකාවේ හිටපු කීර්තිමත්ම නීතිපතිවරයෙක් තමයි, කේ.සී. කමලසබේසන් මහත්මයා. එතුමාට දුන්නෙ මාස තුනක සේවා දිගුවක් විතරයි. 60 වෙනකම් ඉන්න දුන්නෙ නෑ. ඒකෙන්ම තේරෙනව නෙ තත්ත්වය.

නීතිපති – පොලිස්පති

තවත් පැහැදිලි කර ගන්න ඕනෙ කාරණයක් තමයි, 19 නිසා නීතිපති සහ පොලිස්පති ඉවත් කරන්න බෑ කියන එක. ඒක බොරුවක්. 2002 අංක 05 දරන නිලධාරීන් ඉවත් කිරීමේ පනතේ පැහැදිලිව තියෙනවා, නීතිපතිට සහ පොලිස්පතිට විරුද්ධව චෝදනා තියෙනවා නම්, ඔවුන්ට නිදහසට කරුණු කියන්නත් ඉඩ දීලා, පාර්ලිමේන්තුවෙ සරල බහුතරයෙන් යෝජනාවක් සම්මත කරලා ඉවත් කරන්න පුළුවන් කියලා. ඒක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ එවකට එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ අධිකරණ ඇමැති ධුරය දරපු ජී.එල්. පීරිස් මහත්තයමයි. 20 වැනි සංශෝධනයෙන් යෝජනා කරන්නෙ මොකක් ද? අඩු තරමේ නිදහසට කරුණක්වත් අහන්නෙ නැතුව එකපාරටම අයින් කරන්න.

තවත් වැදගත් කාරණයක් තමයි, ජනාධිපතිට විරුද්ධව මූලික අයිතිවාසිකම් නඩු පවරන්න 19න් ඉඩ ලැබීම. ජනාධිපතිට විරුද්ධව නඩු පවරන්න බෑ. ඒත් ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩු පවරන්න පුළුවන්. මේ නිසා තමයි 2018 ව්‍යවස්ථා විරෝධී විදිහට පාර්ලිමේන්තුව විසුරුවා හැරියට පස්සෙ, එවකට ජනාධිපති සිරිසේනට විරුද්ධව මූලික අයිතිවාසිකම් නඩු පවරලා, ජයග්‍රහණය කරන්න පුළුවන් වුණේ. දැන් ආපහු පරණ තත්ත්වයට එනවා. ඒ කියන්නෙ පැහැදිලිවම ව්‍යවස්ථාවෙ 17 වැනි වගන්තිය උල්ලංඝනය වෙනවා. මූලික අයිතිවාසිකම් කඩ වූ විට ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිලි කිරීම ද මූලික අයිතිවාසිකමකි කියලා ඒකෙ දක්වනවා.

19 ට නැති ජනමතවිචාරණය 20 ට ඇයි ?

මේ සියලු‍ කරුණු එක්ක බැලු‍වත්, තවත් තර්කයක් මතුකරන්න පුළුවන්, 19 ගෙනාවේ ජනමත විචාරණයකින් නෙමෙයි, ඒක නිසා 19 තියෙන කරුණු ජනමත විචාරණයක් නැතුව අයින් කරන්න පුළුවන් කියලා. ඒකට පැහැදිලි උත්තරයක් තියෙනවා. රටේ ව්‍යවස්ථාවට අනුව පරමාධිපත්‍ය බලය ශක්තිමත් කරන්න ජනමත විචාරණයක් අවශ්‍ය නෑ. පරමාධිපත්‍ය බලය හීන කරන අවස්ථාවල ජනමත විචාරණයක් අත්‍යවශ්‍යයි. 19දී කළේ පරමාධිපත්‍යය ශක්තිමත් කිරීමක්.

මෙතැන දී නීතිපතිවරයා විසින් ජනමත විචාරණයක් අවශ්‍ය නෑ කියපු එක ආණ්ඩුව පැත්තෙන් තර්කයක් විදිහට මතු කරනවා මම දැක්කා. ඒත් නීතිපති කියන්නෙත් එක නීතිඥවරයෙක් විතරයි. 2018 පාර්ලිමේන්තුව විසුරුවා හැරපු වෙලාවෙ, නීතිපති කිව්වෙ ඒක ව්‍යවස්ථානුකූලයි කියල නෙ. ශ්‍රේෂ්ඨාධිකරණයේ දී නීතිපතිගෙ මතය පරාජයට පත් වුණා නෙ. නීතිපතිගෙ මතයට ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ විශේෂ තත්ත්වයක් නෑ. 20 කෙටුම් පතින් නීතිපතිගෙ ස්වාධීනත්වය කොහොමත් අහිමි වෙනවා. ඒක නිසා මේ බරපතළ තත්ත්වය ගැන සියල්ලන් තේරුම් ගත යුතුයි●

 ශාලික විමලසේන

Leave A Reply

Your email address will not be published.

20 − 8 =