‘උස – මෝඩ – මිත්‍රශීලී’ ජනප්‍රියම වොලිබෝල් ක්‍රීඩකයා

2020 වසරේ ‘Top 10 Famous Volleyball Players’ අතර පළමුවැනියා ලෙස නම් කර තිබුණේ ඔහුයි. 1986 ජනවාරි 27 දා උපන් 34 වියැති ගැවින් චාල්ස් ස්මිත් (Gavin Charles Schmitt) 11 වන ශ්‍රේණියේ උගනිමින් සිටිය දී ක්‍රීඩාව නතර කළ අයෙක්.

සිය මව වූ ජොආන්ගේ බල කිරීම මත වොලිබෝල් ක්‍රීඩාව තෝරා ගන්නා තෙක් ඔහුගේ මුළු ජීවිතයම පැසිපන්දු ක්‍රීඩා කර තිබිණි. ඒ දිනවලම ඔහු ජීවත් වූ පළාත් කණ්ඩායම් පුහුණුකරු ඔහුගේ උස දැක ඔහු වොලිබෝල් ගැන උනන්දුවක් ඇත් දැයි විමසී ය.

ඉන් වසර තුනකට පසු 2007 වසරේ දී අඩි 6 අගල් 10ක් උසැති ගැවින් ස්මිත් කැනේඩියානු ජාතික වොලිබෝල් කණ්ඩායමේ සිටිනු දක්නට ලැබිණි. ඊට පෙර 2004 වසරේ සිටම විවිධ කණ්ඩායම් හි ක්‍රීඩා කළ ගැවින් මේ දක්වා විවිධ කණ්ඩායම් 12ක ක්‍රීඩා කර තිබේ. ඒ අතර ඬේජියන් සැම්සුන් බ්ලූෆැන්ග්ස් කණ්ඩායම ද විය. ග්‍රීසිය, ප්‍රංශය, කොරියාව, රුසියාව, තුර්කිය, බ්‍රසීලය, පෝලන්තය, ජපානය ගැවින් කැනඩාවට අමතරව ක්‍රීඩා කළ ක්‍රීඩා සමාජ අයත් රටවල් ය.

ගැවින් ස්මිත් 2015ටොරොන්ටෝ හි පැවැති Pan Am ක්‍රීඩා උලෙළේ තරගාවලියේ ප්‍රමුඛතම ලකුණුලාභියා වූ අතර එහි දී කැනඩාව ආර්ජන්ටිනාවට අවසන් පූර්ව වටයේ දී පරාජයට පත්වීම සහ පුවර්ටෝ රිකෝවට එරෙහිව ලෝකඩ පදක්කම දිනා ගැනීමට  සමත් විය. 2008, 2009 සහ 2011 වසරවල දී ‘පෑන් ඈම්’ තරගාවලි සඳහා කැනඩා ජාතික පිල නියෝජනය කළ ගැවින් 2008දී ‘හොඳම ප්‍රතිවාදියා’ ලෙසත්, 2009දී ‘හොඳම ලකුණු ලබන්නා’ ලෙසත් සම්මානයට පාත්‍ර විය.

කැනඩා ජාතික කණ්ඩායමට එක් වීමට පෙර ව්‍යාපාරික උපාධියක් සඳහා ඉගෙන ගත් ගැවින් නැරඹීමට වඩාත් කැමතිම NLF කණ්ඩායම ක්‍රීඩා කරන පාපන්දු තරග නැරඹීමයි. ආදර්ශ පාඨය: ‘විශාල සිහින දකින හා වෙහෙස මහන්සි වී වැඩ කරන අයට විශාල දේ කළ හැකිය’ යන්නයි.

ගැවින් චාල්ස් ස්මිත් සමඟ කළ ප්‍රශ්න 50ක් ඇසූ වැඩසටහනක දී ඔහු තමා පිළිබඳව වෙසෙස් පිළිතුරු කිහිපයක්ම දී තිබිණි. ධාවනය කරන්නේ කුමන ආකාරයේ වාහනයක් ද යන්නට පිළිතුර වී තිබුණේ, වොක්ස්වැගන් පෝලෝ තිබුණත් තමන් සමඟ ආපසු ගෙදර යන්නේ 2010 කැමරෝ එස්එස් සමඟ බවයි.

“එය මා සමඟ සෑම තැනකටම ගෙන ඒමට හැකි වේවා යි ප්‍රාර්ථනා කරමි” ඔහු පැවසීය.

කැනඩාවේ සිය වොලිබෝල් කණ්ඩායම වචන තුනකින් විස්තර කළ ගැවින්, එය හැඳින්වූයේ ‘පවුල, හදවත සහ ආශාව’ යනුවෙනි. වොලිබෝල් යන්න වචන තුනකින් විස්තර කරන්නැයි පැවසූ විට ඔහු කීවේ, ඊට වචන තුනක් මඳි බවයි. අවසානයේ මාධ්‍යවේදියාගේ පෙරැත්තය මත ඔහු කීවේ, ‘කණ්ඩායම, ආකර්ෂණීය, ජීවිතය’ යනුවෙනි.

2020 වසරේ ජනප්‍රියතම වොලිබෝල් ක්‍රීඩකයා වූ ගැවින් චාල්ස් ස්මිත්ගෙන් තමන් පිළිබඳව කියන්නැයි කී විට සැහැල්ලු‍වෙන් සිනාසෙමින් පවසා තිබුණේ, ‘උස, මෝඩ, මිත්‍රශීලී’ කෙනෙකු බවය.●

 

නිර්වාන් අනුත්තර

Leave A Reply

Your email address will not be published.

11 − 5 =