අධිකරණයත් ඩෝසර්

සාමාන්‍ය ජනතාවට අධිකරණය කෙරෙහි ඇත්තේ විශ්වාසයකි. රාජ්‍ය සේවයෙන්, දේශපාලනයෙන් සාධාරණය ඉටු නොවුණ ද, අධිකරණයෙන් සාධාරණය ඉටු වේවි යන විශ්වාසය ඇත. ඒ නිසාම විනිසුරුවරයකුව ම දේවත්වයෙන් සලකන තත්ත්වයක් තිබිණි. “ගරු ස්වාමීනි” යන්න ව්‍යවහාරයට එන්නේ ද ඒ අනුව ය. එහෙත්, ජේ.ආර්. ජයවර්ධනගේ පාලන කාලයේ මෙය මුළුමනින් ම කණපිට හැරවුණේ ය. ඊට කලින් සිට ද ඇත්ත සාධාරණය ඉටු නොවුණ ද, තත්ත්වය වඩාත් බරපතළ වන්නේ එතනින් පසුව ය.

සුද්දාගේ කාලයේ පවා දීපු නඩු තීන්දුවල සාධාරණයක් ඉටු නොවූ උදාහරණ ඕනෑ තරම් තිබේ. බද්දේගම සිළිඳුගේ තීන්දුව ද එවැන්නකි. එහෙත්, ඊට බලපෑවේ නඩුවට අදාළ සාක්ෂි ගොනු කරන අය සිදු කළ වංචා ය. විනිසුරුවරයන් බලයට හෝ අල්ලසට යට වී පක්ෂග්‍රාහී වූ තත්ත්වයක් නොවේ ය. ජේ.ආර්. මෙය වෙනස් කරන්නේ ව්‍යවස්ථාමය වෙනස්කම් හරහා ය. එනම්, හැත්තෑඅටේ ව්‍යවස්ථාවට අනුව අගවිනිසුරු ධුරයේ සිට අභියාචනාධිකරණ, ශ්‍රේෂ්ඨාධිකරණ සියලු විනිසුරන් පත් කිරීමේ බලය ඔහුගේ අතට ගැනීමෙන් ය. තමන්ගේ වුවමනා-එපාකම් ඉටු කර ගත හැකි පුද්ගලයන් එකී තනතුරුවලට පත් කර ගැනීම ලැජ්ජා නැති විදියට පටන් ගත්තේ ඔහු ය. එලෙස පත් කළ නෙවිල් සමරකෝන් ධුරයට පත් වීමෙන් පසු ස්වාධීනව වැඩ කරන්නට පටන් ගත්තේ ය. එහෙත්, ඔහුට එය වැඩි කාලයක් කරගෙන යාමට ඉඩ නොදුන්නේ ය. අන්තිමේ දී විනිසුරුවරුන්ගේ ගෙවල්වලට ජේ.ආර්. සිය මැරයන් ලවා ගල් ගස්වන තත්ත්වයක් පවා ඇති කළේය. අන්තිමේ දී බොහෝ විනිසුරන් ජනාධිපතිවරයාට අවනත වන තත්ත්වයක් ඇති විය. එහි අවසන් ප්‍රතිඵලය වූයේ, එතෙක් අධිකරණය කෙරෙහි තිබූ විශ්වාසය මුළුමනින් ම බිඳවැටීම ය.

චන්ද්‍රිකා බලයට පත් වුණාට පස්සේ ඇය මෙය ඉතා සියුම් ආකාරයට පටන් ගත්තා ය. සරත් එන්. ද සිල්වා නීතිපති ධුරයට පත් කර ඊළඟ පියවර ලෙස අගවිනිසුරු ලෙසට පත් කරමින්, පරණ සුපුරුදු ජේ.ආර්.ගේ වැඬේ ම පටන් ගත්තා ය. සාමාන්‍ය ජනතාව නොදන්නවා වුණාට බොහෝ තීන්දු තීරණ එකඟතාවෙන් දුන් ඒවා බව දන්නෝ දනිති. ඒ කාලය තුළ දේශපාලනීයකරණය වාගේ ම විනිසුරුවරියන්, නීතිඥවරියන් ලිංගික අල්ලස් ගැනීම්වලට යට වෙන තත්ත්වයක් පවා ඇති වුණේ ය. ඒ පිළිබඳව වූ කුප්‍රකට සිදුවීම් පවා ඇති විණි. එහෙත්, නීතිය හා බලය පාවිච්චි කර ගනිමින්, සියල්ල යටපත් කර ගනු ලැබී ය. චන්ද්‍රිකාගේ පාලන කාලයේ අන්තිමේ දී ඇය හා ඇති වූ විරසක වීමක් නිසා ම 2006 පැවැත්වීමට තිබූ ජනාධිපතිවරණය 2005දී පැවැත්විය යුතු බවට තීන්දුවක් පවා අධිකරණයෙන් ලැබිණි. එය කොතරම් දුර ගියා ද කිවහොත්, ‘හෙල්පින් හම්බන්තොට’ මූල්‍ය වංචාව පවා මුළුමනින් ම යට කර දැම්මේ, අධිකරණමය තීන්දුවක් හරහා ය. හිටපු අගවිනිසුරු සරත් එන්. ද සිල්වා මහතා විශ්‍රාම ගිය පසු එය ප්‍රසිද්ධියේ ම පිළිගත්තේ ය. පිළිගත්තා පමණක් නොව තමන් එදා කළ වැරැද්ද පිළිබඳව ජාතියෙන් සමාව ද ඉල්ලා සිටියේ ය.

අධිකරණය දේශපාලන වුවමනාවලට යට කිරීම දිගින්දිගට ම සිදු වෙමින් ආ දෙයකි. මෙය නැවත වටයකින් වඩාත් ම බරපතළ වූයේ 2010 රාජපක්ෂ පාලන කාලයේ දී ය. හැමදාම එය සිදු වූයේ පවත්නා ආණ්ඩුවේ බලය ජනතාවට එපා වන අවස්ථාවල දී ය. එනම්, බලය ගිලිහී යන්නට හදන විට දී ය. සුපුරුදු පරිදි මහින්ද රාජපක්ෂ ද තමන්ට ඕනෑ විදියට වැඩ කරන අය පත් කරන්නට පටන් ගත්තේ ය. එහෙම වැඩ කරපු බොහෝ අයට විශ්‍රාම යාමෙන් පස්සේ වෙනත් තනතුරු පවා දුන්නේ ය. බොහෝ අය තානාපති ධුරවලට හෝ රජයේ ම වෙනත් කොමිෂන්වල සභාපති ධුරවලට පවා පත් කළේ ය. ධුරයට පත් වෙන්නත්, විශ්‍රාම ගියාට පස්සේ තනතුරක් ගන්නත් එකී වුවමනා-එපාකම් සියල්ල ඉටු කරන්නට සිදු විය.

ශිරාණි බණ්ඩාරනායක ධුරයට පත් කරද්දී, ඇයගේ ස්වාමියා රාජපක්ෂ පාලනයෙන් ඉහළම දේශපාලන පත් වීමක් ලබා ගත්තේ ය. ඒ හරහා ඇය පාලනය කරන්නට යෙදිණි. නාමල් රාජපක්ෂ නීතිඥයකු ලෙස දිවුරුම් දෙන දවසේ එදාට තිබුණු නඩු සියල්ල කල් දැමුණේ, ඊට අනුරූපීව ය. තත්ත්වය වෙනස් වුණේ, රටේ ජනතාවගේ විරෝධය මතු වීමත් සමඟ ය. ‘දිවිනැඟුම’ පනතට අදාළව තීන්දුව ආණ්ඩුවට අවශ්‍ය විදියට නොලැබුණේ, එසේ කළ නොහැකි තත්ත්වයක් රටේ මතු වූ නිසා ය. අවසානයේ එකී තීන්දුව දුන් ඇය ධුරයෙන් නෙරපා හැරියේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලය පාවිච්චි කර ගනිමින් ය. රාජිත සේනාරත්නලා, විමල් වීරවංශලා ඇය ඉවත් කරන කමිටුවේ කටයුතු කළේ අන්තිම පහත් ආකාරයෙන් ය. ජේ.ආර්. වාගේ ම නැවත පොලු, මුගුරු සහිත මැරයන් උසාවි භූමියට පවා එව්වේ ය. එක පැත්තකින් බලයත්, අනෙක් පැත්තෙන් අන්තිම පහත් මැර චණ්ඩිත් යෙදවූයේ අධිකරණය විනාශ කරන්නට ය.

මොහාන් පීරිස් නමැත්තා එකී තනතුරට පත් කළේ කියන ඕනෑ ම දෙයක් කරවා ගන්නට ය. එය එලෙස ම සිදු වුණේ ය. පහළ උසාවිවල පුංචි පුංචි නඩු තීන්දුවලට පවා ඒ හරහා කළ බලපෑම් මුළු අධිකරණ පද්ධතිය ම විනාශ කරන්නට පාදක විය. අවසානයේ 2017 පවත්වන්නට තිබූ ජනාධිපතිවරණය 2015 පවත්වන්නට මහින්ද තීරණය කළේ ය. එය නීතියට අනුව ඔහුට කළ හැක්කකි. එනමුත්, එකී ඡන්දයට නැවත මහින්ද රාජපක්ෂට ම ඉල්ලීමේ නීතිමය හැකියාවක් නොතිබිණි. මක් නිසා ද යත්, මහින්ද 2010 බලයට පත් කරන විට තිබුණේ, ‘දෙවතාවක් පමණක් ඉල්ලිය හැකි ය’ යන වගන්තියයි. 18 වැනි සංශෝධනයෙන් එය වෙනස් වන්නේ ඔහු ධුරයට පත් වූ පසුව ය. එබැවින්, වෙනත් පුද්ගලයකුට දෙවතාවකට වැඩි වාර ගණනක් ජනාධිපති ධුරයට ඉල්ලිය හැකි වුව ද, ඔහුට ඒ සඳහා ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන නොතිබිණි. එදා එය බරපතළ නීතිමය ගැටලුවක් විය. සරත් එන්. ද සිල්වා පවා එය එසේ කළ නොහැකි බව තරයේ ප්‍රකාශ කළේ ය. එනමුත්, මොහාන් පීරිස් මහතාගේ මූලිකත්වයෙන් හොර රහසේ ඒ පිළිබඳව අර්ථ දැක්වීමක් ගෙන්වා ගත්තේ ය. එයට අනුව එය කළ හැකි යැයි තීන්දු වුණේ ය. එලෙස අධිකරණය තම බල වුවමනාවට පාවිච්චි කළ ඉතිහාසය වැඩි ඈතක නොවේ ය.

මේ පිරිහුණු තත්ත්වය නිසා ම නීති ක්ෂේත්‍රයේ බහුතරයකගේ වුවමනාව වූයේ අධිකරණය ස්වාධීන කළ යුතු බව ය. රටේ ජනතාවගේ දැඩි වුවමනාව වූයේ ද එයයි. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව පිහිටු වූයේ ඒ වෙනුවෙන් ය. එතෙක් පැවති ජනාධිපතිවරයාගේ පෞද්ගලික කැමැත්තට අනුව විනිසුරුවරුන් පත් කිරීමේ බලය මුළුමනින් ම වෙනස් වුණේ ය. විනිසුරුවරුන්, විනිසුරුවරියන් හොර රහසේ ජනාධිපති හමු වෙලා පත්වීම් ලබා ගන්නා ක්‍රමය වෙනස් විය. විශ්‍රාම ගිය පසු තවත් තනතුරු ලබා දීම ද නතර විය. ඉතිහාසයේ පළමුවැනි වතාවට නීතිපතිවරයා හා ඉහළ උසාවියේ විනිසුරුවරුන් පත් කීරීම එකී ව්‍යවස්ථා සභාව හරහා සිදු විණි. ජනාධිපතිවරයා තම වුවමනාව වෙනුවෙන් එවන ලද නම් පවා ප්‍රතක්ෂේප විය. සියයට සියයක් ම අපක්ෂපාතී නොවුණ ද, සාපේක්ෂව නිවැරදි වීමක් සිදු විය. ඉහළ උසාවියේ විනිසුරුවරුන්ගේ ස්වාධීනත්වය, කොන්ද කෙළින් තියාගෙන වැඩ කරන්නට හැකි තත්ත්වය ඇති වුණේ ඒ අනුව ය. මෛත්‍රීපාල ජනාධිපතිවරයා කළ ව්‍යවස්ථා විරෝධී, නීති විරෝධී කුමන්ත්‍රණය පවා වැරදි යැයි තීන්දුවක් ලැබුණේ එකී ස්වාධීනත්වය නිසාවෙනි.

පහුගිය ආණ්ඩු වෙනස් වීමත් සමඟ ව්‍යවස්ථා සභා සංයුතිය ද වෙනස් විය. නැවත සුපුරුදු තත්ත්වයට පාර කැපිණි. විවිධ දූෂණ චෝදනා තිබූ අයට තනතුරු නොදී හිටපු තත්ත්වය වෙනස් විය. එවැනි අය එකී ධුරවලට පත් කරනු ලැබී ය. පහුගිය මහා මැතිවරණයෙන් පස්සේ කිසිදු හිරිකිතයක්, ලැජ්ජාවක් නැතිව පරණ තත්ත්වයටත් හපන් තත්ත්වයකට ක්‍රියා කරනු පෙනෙන්නට ඇත. මෑත ක දී අභියාචනාධිකරණයෙන් ලබා දුන් කුරුණෑගල නගර සභාවේ නගරාධිපති අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ තීන්දුව ආන්දෝලනාත්මක එකකි. රාජපක්ෂලාට ඡන්දය දුන් නීතිඥවරු පවා “මේක එච්චර හොඳ තත්ත්වයක් නොවෙයි” යන්න කියන්නට පටන් ගත්හ. ඉන් පස්සේ ලැබුණු ඊළඟ ආන්දෝලනාත්මක තීන්දුව ප්‍රේමලාල් ජයසේකරට පාර්ලිමේන්තුවේ සියලු කටයුතුවලට සහභාගී විය හැකි යැයි වූ තීන්දුව ය. පැහැදිලිව ම මේ පටන්ගෙන ඇත්තේ, පරණ තිබුණු තත්ත්වය ම ය. 20 වැනි සංශෝධනයෙන් විනිසුරුවරුන් පත් කිරීම මුළුමනින් ම ජනාධිපති යටතට පැවරූ පසු තත්ත්වය මීටත් වඩා බරපතළ ය. සියලු විනිසුරුවරුන් තමන්ගේ පෞද්ගලික උසස් වීම් වෙනුවෙන් ප්‍රසිද්ධියේ ම කඬේ යාම ආරම්භ වන්නේ ය. ජනතාව යම් හෝ විශ්වාසයක් අධිකරණය කෙරෙහි තබා ගත්තේ නම්, එය මුළුමනින් ම බිඳවැටී යන්නේ ය.

ආණ්ඩුව ආරම්භ කරලා මාසයක් යන කොට තත්ත්වය මේක නම්, ආණ්ඩුව පිරිහෙන තත්ත්වයක් එන කොට මීටත් වඩා භයානක, බරපතළ තත්ත්වයක් ඇති වනු ඇත. එදාට ඔය 20 වැනි සංශෝධනයට අත උස්සන ඇමතිවරුන්ට, මන්ත්‍රීවරුන්ටත් එරෙහිව එය ක්‍රියාත්මක වනු ඇත. ඡන්දය දුන් ජනතාවට එරෙහිව එය ක්‍රියාත්මක වනු ඇත. එහෙත්, එදාට කළ හැක්කක් නැත. කළ හැකි එක ම දෙය වන්නේ, “හපොයි කර ගත්ත දෙයක වැරැද්ද” යැයි පසුතැවීම ය. සියල්ල සිදු වන්නේ ඒ දිශාවට ය. අධිකරණය, අධිකරණයේ ස්වාධීනත්වය ඩෝසර් කිරීම මේ ආරම්භ වුණා පමණකි. විස්ස ක්‍රියාත්මක වන විට මුළුමනින් ම ඩෝසර් කර දමා එහි ස්වාධීනත්වය මුළුමනින් ම කෙළෙසා දමනු ඇත●

 

Leave A Reply

Your email address will not be published.

19 − 2 =