ආයුබොවන්ඩ අලි සබ්රි,

වල් ඌරො කැකුණ තළනකොට හබන් කුකුළන්ට ජය මඟුල් කියන කියමනේ තේරුම ඇල්වතුර වගේ හිංගල කතා කරන මුන්නැහැට අමුතුවෙන් පැහැදිලි කොරල දෙන්ඩ අවස්සිය නැහැ නෙ. මේ දවස්වල සබ්රි මැතිතුමා කියන කොරන දේවල් දිහා බල බලා අපේ ගමේ ගොඬේ කස්ටිය දොඩන්නෙ නං ඔය උපහැරණෙ ගැනම තමා ඕං. ඒ විතරක් නෙමේ ආයිබොවන්ඩ උන්දැලා බොහොම දයා කරුණාවෙන් කියන්නෙ ඔහේට රන්කිරි කට ගෑ ඇත්තන්ටත් ආයෙ ඇස්වහක්-කටවහක් වදින්ඩ නරකය කියලයි.

සබ්රි සෑර්ට ලැබිල තියෙන ඔය බලගතු ඇමතිකොම වගේ ලොකු තානාන්තරයක් ලැබෙන්නෙ පෙර ආත්මෙක කොරපු පුන්නියකර්මෙකටය කියලයි අපි සාමාන්නියෙන් කතාවට කියන්නෙ. හැබැයි ඉතිං මුන්නැහැට පල දීල තියෙන්නෙ නං මේ ආත්මෙදිම රැස් කොරගත්තු කුසලයක්ම බව සක්සුදක් වගේ පැහැදිලියි. පහුගිය ජනපතිවරණෙට කලිං ගෝඨගෙ බාදක අයින් කොරන්ඩ මුන්නැහැ ගෙනාපු ලෝ පොයින්ට් ටික මහැදුරු ජී.ඇල්. වගේ නීති විසාරදයෙකුට හීනෙන්වත් හිතන්ඩ බැරි තරං බුලට් බඩු හින්දලු නේද ගෝඨා එකෙන්ම ගොඩ ගියේ.

මේ වතාවෙ චන්දෙදි ජාතික ලැයිස්තුවෙත් මුල් තැනක් දීලා ගෝඨගෙ විද්දියාත්මක කැබිනෙට්ටුවෙ බොහොම බලගතු තානාන්තරයක් බන්දේසියක තියල පොරදානය කොළේ මේ ආත්මෙදි ඉස්ට සිද්ද කොරන පුන්නියකර්මවල ප්‍රොතිපල හැරෙන තැපෑලෙන්ම ලැබෙන බව සකල ලෝකෙටම කියාපාමින් නේද ආයිබොවන්ඩ. දැන් ඉතිං මුන්නැහැට තියෙන්නෙ මැදමුලන රජ වාසලට අවස්සිය විදිහට නීතිය නමල දීලා උපදින මතු ආත්මයක් නෑර වැඩ කොරන ජනපතියෙකුට අතපය දිග ඇරලා සිල්ප දක්කන්න ඇහැකි විදිහට වියවස්තා රෙපයාර් කර දෙනු ලැබේ කියල කාර්යාලෙ ඉස්සරහ පිට පුංචි බෝඞ් කෑල්ලක් ගහගන්න එක විතරයි පින්වත.

මේ දවස්වල මාද්දිය ඇමති කෙහෙළියටවත් නැති තරං පොරසිද්දියක් සකල මාද්දියෙන්ම ඔහේට ලැබෙන බව පේනවා. හැබැයි ඇමතිතුමෝ ඔය විදිහට මාද්දිය සංදර්සන පැවැත්තිල්ල නං ඒ තරං ඇඟට ගුණ නැති බව ටිකක් මතක තියා ගත්තොත් හොඳයි. මාද්දිය සංදර්සන කියන්නෙ දැලි පිහියෙන් කිරි කනවා වගේ බොහොම ඬේන්ජරස් ගේමක් බව සබ්රි උන්නැහැ වියවස්තා ඔස්තාර් කෙනෙක් උනාට තාම දන්නෙ නැති පාටයි. ළඟකදි ස්වාදීන කොමිසන් කන්න ද කියල මුන්නැහැ කොරපු අබීත පොරකාසය මේ දවස්වල විපක්සෙ ඇත්තන්ගෙ විතරක් නොව ආණ්ඩුවෙම කෙළිකාරයන්ගෙත් කතාබහට ලක්වෙලා තියෙන බව ආරංචියි.

සාහිත්තිය කන්ඩ ද කියලා රාජපක්සලටත් වඩා තෙම්පරාදු වෙච්ච පොරක් වෙන ජේ.ආර්. ලොක්කත් සෑහෙන කාලෙකට කලිං ඔය වගේම මසුරං කියමනක් කියල තියෙන බව මුන්නැහැ අහල ඇති නෙ. කන්ඩ හිතුණම කබරයාත් තලගොයා කර ගැනීමේ දේසපාලන සූස්තරය ඔහේට වඩා මාරෙට දැනං උන්නු ජේ.ආර්.ට පස්සෙ කාලෙක දිරව ගන්ඩ බැරි වුණෙත් ඒ වාක්කියම තමා සබ්රි සෑර්. ජනප්‍රිය දේසපාලනේ කියන්නෙත් සද්දෙයි, එළියයි දාගෙන පටස් ගාලා උඩ ගියාට ගිය වේගයෙන්ම පහළට කඩාවැටෙන අහස් ගුණ්ඩුවක් වගෙ එකක්. ඉහළ යනකොට හුරේ දාන කවුරුවත් බිමට වැටෙන කොට හැරිලවත් බලන්නෙ නැති වගත් මතක තියාගන්න එක වටිනවා ඇමතිතුමෝ.

19ය මිනී පෙට්ටියට දාලා 20 කරළියට අරං ආපු මහදැනමුත්තා හැටියට තමුන්නැහැගෙ නම සිරිලංකා දේසපාලන ඉතිහාසෙ ලියවෙනවා සත්තයි. හැබැයි ඒක ලියවෙන්න ඉඩ අරින්නෙ අන්දකාර යුගයකට පාර කපපු දේසපාලුවන්ගේ නම් ලයිස්තුවේ ද නැද්ද කියන එක තීරණය කිරීම නං ඉතිං අලි සබ්රිටම බාරයි● 

විශ්ව මිත්‍ර

Leave A Reply

Your email address will not be published.

6 − five =