“MCC සංශෝධනය කර ක‍්‍රියාත්මක කරනවද “

පසුගිය මහා මැතිවරණයේ තීරණාත්මක කතාබහකට ලක්වූ එම්. සී. සී. ගිවිසුම සංශෝධනයට ලක්කොට ක‍්‍රියාත්මක කිරීමට රජය අපේක්‍ෂා කරන්නේ දැයි විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස ස්ථාවර නියෝග 27 (2) යටතේ විශේෂ ප‍්‍රශ්නයක් නඟමින් පාර්ලිමේන්තුවේදී ඊයේ (10 දා) ආණ්ඩුවෙන් විමසන ලදී.

විපක්‍ෂනායකවරයා මෙලෙස විමසා සිටියේය.

“මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් සංයුක්ත ගිවිසුම පසුගිය ජනාධිපතිවරණ සමයේ ප‍්‍රධානතම මාතෘකාවක් බවට පත් වූ අතර එය අත්සන් කිරීම ප‍්‍රතික්‍ෂේප කරන බවට වර්තමාන රජය නියෝජනය කරනු ලබන පාර්ශ්වයන්ගෙන් ප‍්‍රකාශ විය. කෙසේ වුවද, ජනාධිපතිවරණ ජයග‍්‍රහණයෙන් අනතුරුව රජය විසින් එම ගිවිසුම සමාලෝචනය කිරීමට සූදානම් බව ප‍්‍රකාශ වූ අතර එම්. සී. සී. යෝජනා සමාලෝචනය කිරීම සඳහා කමිටුවක් ද පත් කරන ලදී.”

“එම සමාලෝචන කමිටු වාර්තාව 2020 ජුනි 23 වැනි දින නිකුත් කර තිබුණු අතර එම වාර්තාව අග‍්‍රාමාත්‍යතුමා විසින් අමාත්‍ය මණ්ඩලයට 2020 ජූලි 01 වැනි දා ඉදිරිපත් කර තිබේ. එම කමිටු වාර්තාවේ නිර්දේශ පදනම් කර ගනිමින් ගිවිසුම සංශෝධනය කරන ලෙසට කමිටුව රජයට යෝජනා කර තිබෙන අතර ගිවිසුම සංශෝධනයට එම්. සී. සී. ආයතනය එකඟ නොවන්නේ නම් ගිවිසුම අත්සන් කිරීම ප‍්‍රතික්‍ෂේප කළ යුතු බවත් එම කමිටුව නිර්දේශ කර තිබේ. කෙසේ වුවද, මේ සම්බන්ධව රජය විසින් යම් නිහඬ පිළිවෙතක් අනුගමනය කරනු ලබන බවට නිරීක්‍ෂණය වන හෙයින් පහත ප‍්‍රශ්න සඳහා පිළිතුරු හා පැහැදිලි කිරීම් රජය විසින් මෙම ගරු සභාව වෙත ඉදිරිපත් කරනු ඇතැයි අපේක්‍ෂා කරමි.” යනුවෙන් විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස ස්ථාවර නියෝග 27 (2) යටතේ විමසන ලදී.

Leave A Reply

Your email address will not be published.

18 − 1 =