‘ලංකා’ කව් මුතු මිණි සොයා ගත් තිසර නන්දනට මෙවර ගොඩගේ සාහිත්‍ය සම්මාන

‘ලංකා’ කව් මුතු මිණි 2016 දී සොයා ගත් තරුණ කවියා, තිසර නන්දන අද ගොඩගේ සාහිත්‍ය උලෙලේ දී සම්මාන ලබා ගනී.
ලෝක කවි දිනය 2016 වෙනුවෙන් “ලංකා” පුවත්පතේ කව් මුතු මිණි තීරුවෙන් කව්‍ය නිර්මාණ තරගාවලියක් පවත්වමු යයි සංස්කාරක ලෙස මා විසින් කරන ලද කළ යෝජනාවට කර්තෘ මණ්ඩලය කැමැති වීමෙන් අනතුරුව තරගයේ විනිශ්චය හා සම්මාන පිදීමේ උලෙළක් චාම් ව හෝ පැවත්වීමේ වගකීම කරට ගත් මවිසින් ප්‍රථම දෙවන තෙවන සම්මාන සඳහා මූල්‍ය ත්‍යාග පිරිනැමීමට අනුග්‍රාහකයෙක් සොයා ගන්නා ලදි. උලෙළ සංවිධාන කටයුතු කර්තෘ මණ්ඩලයේ පත්ම මංජුල, ප්‍රියදර්ශන දයාරත්න ඇතුලු පිරිස භාර ගත්හ.මා මිත්‍ර සරසවි ප්‍රකාශන අධිපති එච්.ඩී.ප්‍රේමසිරි සුලවතා සම්මාන ත්‍රිත්වය සඳහා මූල්‍ය අනුග්‍රහය දැක්වීමට ඉදිරිපත් විය. මවිසින් කෙටි ලැයිස්තු ගත කරන ලද නිර්මාණ තිහකින් පමණ හොඳම නිර්මාන ඇතුළු ප්‍රශස්ථ නිර්මාණ තෝරා දීමට උපකාර කරන ලද්දේ මගේ තවත් මිත්‍රයකු වූ කොළඹ සරසවියේ ජන මාධ්‍ය අංශයෙහි ප්‍රධානී මහාචාර්ය සමන්ත හේරත් ය. සම්මාන පිරිනැමීමේ චාම් උත්සවයක් නාවින්නේ ශාලාවක දී පවත්වන ලද අතර ප්‍රශස්ථ නිර්මානකරුවන් සඳහා ග්‍රන්ථ පරිත්‍යාග කිරීමට සුරස ප්‍රකාශන අධිපති ප්‍රේම් දිසානායක හා සන්ථව ප්‍රකාශන හිමිකරු කවීන්ද්‍ර මස් ඉඹුල ඉදිරිපත් වූ බව මතකය. තෝරාගත් නිර්මාන පිළිබඳ අදහස් දැක්වීමක කළෝ ආචාර්ය ප්‍රණීත් අභයසුන්දරයෝය.
කිසිදින කවි පොතක් පළ නොකළ ආධුනික කවි කිවිඳියන්ගේ නිර්මාණ අතර දෙවන ස්ථානය ලෙස සම්මාන ලැබුවේ ආයෙමත් යන්න හිතෙන ගමනක් රචනා කළ තිසර නන්දනය. අපට් ඔහුගේ කවිය මිස ඔහු හමු නොවිණ. ඒ නිර්මාණයට මා කෙතරම් ඇලුම් කළා දැයි කිවහොත් සාහිත්‍ය උපදේශක මණ්ඩලය විසින් වාර්ෂිකව පළ කරනු ලබන සාහිත්‍යය විශේෂ කලාපයට එය ඇතුළත් කිරීමට සංස්කාරක සමන්ත හේරත්ට යෝජනා කරන ලද්දේ ද මවිසිනි. අන්තර්ජාලය පීරා කවියාගේ ඡායාරූපයක් සොයාගැනීමට මා ගත් වෙහෙස ද අමතක නොවේ.
ඔහු විසින් පසු ගිය වසරේ පළ කළ ‘පිපී එනවැති නුරා තරු පෙති මවෙත’ එවූ සැණින් එහි නිර්මාණයක් සතිපතා මවිසින් ලියනු ලබන කවිමිහිර තීරුව මගින් විසල් පාඨක ප්‍රජාව අතරට ද ගෙන යාමට අමතක නොකළෙමි. ප්‍රථම කාව්‍ය සංග්‍රහය පළ කළ වසරේ හොඳම කවියාට හිමි සම්මානය ලැබීමෙන් පසුව පළමුවරට මට ඔහු මුණ ගැසිණ. අංකූර කවියෙකුට අත දෙන්නට ලැබීම පිළිබඳ නිහතමානී සතුටක් අද හවස මා විඳි බව සටහන් කිරීමට කැමත්තෙමි.
-බුද්ධදාස ගලප්පත්ති

ආයෙමත් යන්න හිතෙන ගමනක්

විසඳුමක් නැති
එක්තරා තැනක දි
තෝරාගත්තා
ඔයා ඔයාගෙ පාර මං මගේ පාර
හදවත ම රිදෙද්දිත්
බලෙන් ඇඳ ගත් සිනාවෙන්
එක මඟක ගිය අපි
දෙමඟක යන
ඉන්පසු දවසක දි
නුවර ගුඩ්ෂෙඩ් එකේදී
අහම්බෙන් හම්බ වුණාම
කළු බොකටු කෙහෙ රැළි
මගේ මූණෙ හැප්පුණා
පෙර මතක අවුස්සාගෙන
ආයෙමත්…
පේරාදෙණිය පාරේ
පොඩි සයිවර් කඩේකට රිංගුවේ
තේකක් බොනවට වඩා
ටිකක් කතා කරන්න ඔයා එක්ක
ඒවාගෙන් කන්න කොහොමත්
ආසයි අපි දෙන්නම
තේකක්වත් බොන්න බෑ කියලා
මං කන දිහා ම බලාගෙන
ඇස් දෙකෙන් විතරක් නොවේ
රතු ගැහිච්ච කුරුලැවලින් හිනා වෙද්දි
තෝසේ රස වෙනදාට වඩා දැනුණා
කවන්න ම හිතුණා මට
සාම්බාරු හොදි එක්ක
තෝසෙ කෑල්ලක් ඔයාටත්
තොරතෝංචියක් නැති
කතාවන් මැද
මගේ පෙරැත්තෙටම
තොසෙ දෙකක් ම කාලා
ඔළුව ඇද කරගෙන
ඇඟිලි දෙකත් ලෙවකද්දි
‘පෙරේති’ කියලා
ටොක්කක් අනින්න හිතුණත් පුළුවන් ද දැන් මට…?
කියන්න නොතේරෙන
පාළු හැඟීමකින්
ගෙදර ගියා ම
කළු ම කළු රෑ
කේන්තියෙන්
‘නින්ද අහලකටව්ත් දෙන්නෑ… අද ඇහැරගෙන
හිටපන් ‘
කියලා විරිත්තද් දී
වේලිච්ච දෙතොලට තෙත හිනාවක් තවරපු
ඔයාගේ viber message එක
‘රසයි හලෝ ඒ තෝසෙ.. අපි ආයෙමත් දවසක යමු ද
ඒ කඩේට ම තෝසෙ කන්න… ‘
තිසර නන්දන 2016

Leave A Reply

Your email address will not be published.

8 + 9 =