ප‍්‍රවීණ මාධ්‍යවේදී අනුර කේ. වෘත්තීය දිවියට සමුදෙයි

90 දශකයේ අග හා 2000 දශකයේ මුල් භාගයේදී සටන, දිනකර, ලක්ජන, ලක්නද ආදී විකල්ප ධාරාවේ පුවත්පත්වලට නන් අයුරින් සහසම්බන්ධවී සිටි මා හට ලේක්හවුස් ආයතනයේ දොරටුව ඇරෙන්නේ අවස්ථා දෙකකදී පුද්ගලයින් දෙදෙනෙකු හරහාය. ලේක්හවුසියේ පුවත්පත්වලට ලියන ලිපි විමසීම් කවුන්ටරය දක්වා ගොස් බාරදීමට අවස්ථාව සැලසෙන්නේ මහින්ද කුමාර දළුපොත නිසාය. විමසීම් කවුන්ටරයෙන් ඇතුළට යන්නට අවස්ථාව ලැබෙන්නේ කරුණාරත්න පරණවිතාන නිසාය. කුමන අයුරින් සහසම්බන්ධ වුවද, ලේක්හවුසියේ මාගේ ආරම්භක භූමිකාව ”නිදහස් මාධ්‍යවේදී” හෙවත් වඩාත් තේරෙන භාෂාවෙන් කියන්නේ නම් ”කෑලි ගාණට ලියන” එකය. ඒ නිසාම 2005 න් පසු ලේක්හවුස් පත්තර ජීවිතය ආරම්භයේ අනුර කේ එදිරිසූරිය හමුවන්නේ වැඩි කෑලි සොයා ආයතනය තුළ අංශයෙන්, අංශයට මුට්ටිය දමා බැලීමේ ප‍්‍රතිඵලයක් ලෙසිනි.

කෙතරම් පරිස්සම් සහගත වුවද, දෝෂ විරහිතවීමට උත්සාහ දැරුවද , පුවත් වාර්තාකරණ ලියැවිලි, විශේෂාංග ලේඛන ආදී ඕනෑම ලියවිල්ලක දෝෂ තිබිය හැකිය. එය ඇතැම්විට භාෂා ශෛලියේ, සන්නිවේදන උපාය උපක‍්‍රමයන්හි, අත්‍යවශ්‍ය කරුණු නොදැනුවත්වම මගහැරීමේ, තම ඉලක්ක ගත පාඨකයින් හඳුනා නොගැනීමේ ආදී ඕනෑම දුර්වලතාවක් විය හැකිය. පුවත්පතක පිටු සංස්කාරකවරයාගේ සිට ප‍්‍රධාන සංස්කාරකවරයා දක්වාම ‘‘සංස්කාරක භූමිකාව’’ වඩාත් වැදගත් වන්නේත්, තීරණාත්මක වන්නේත් එබැවිනි. අනුර කේ නමැති විශේෂාංග සංස්කාරකවරයා මට හමුවීමත්, ඔහුගේ සංස්කරණයන් මට බල පෑ අන්දමත් මට මේ මොහොතේද සිහිපත් කළ හැකිය.
විශේෂාංග ලේඛනයට අදාළව සම්මුඛ සාකච්ඡුා, ගවේෂණාත්මක ලිපි, මානුෂීය කතාංග ලිපි, තීරු ලිපි, ශාස්ත‍්‍රීය ලිපි ආදි සෑම ක්ෂේත‍්‍රයකම රචනා දහස් ගණනක් මවිසින් ලියැවෙන්නට ඇත. ඒ බොහෝ ලිපි එවක ඔහුගේ පෑන් පහරින් කැපී, කෙටී හැඩවී සිත් ඇදගන්නාසුලූ ශීර්ෂ පාඨයක් හෙවත් හෙඩිමක් සහිතව පළවෙන්නට ඇත.
2007 මැයි දිනය නිමිත්තෙන් වාමාංශික ව්‍යාපාරයේ පැරණි ක‍්‍රියාකාරිකයෙකුගේ අත්දැකීම් අළලා සම්මුඛ සාකච්ඡාවක් කොට ඒ ආශ‍්‍රිතව ලිපියක් සකස් කරන ලෙස මට ඔහුගෙන් උපදෙස් ලැබුණි. අනුර අයියා විසින්ම ලංකා සමසමාජ පක්ෂයේ ප‍්‍රබලයෙකු වූත්, ඒ වන විට වයෝවෘද්ධව නිවසේ කාමරයටම සීමාවී සිටි සිඞ්නි වනසිංහ සහෝදරයා ඒ සඳහා වඩා සුදුසු යයි යෝජනා කරන ලදී.

අනුර කේ විසින් පුවත්පත් ලිපිවලට ශීර්ෂයන් යෙදීම පිළිබඳ පත්තර ලෝකයේ බොහෝ දෙනා මහත් ප‍්‍රහර්ශයෙන් කතා කළ බැව් පිළිගත හැකිය. 80 ජූලි වැඩ වර්ජනයට අවුරුදු 27 ක් පිරුණු දා 2007 ජූලි 05 වන දින ජූලි වර්ජකයින්ගේ ඒකාබද්ධ සංවිධානයේ සභාපති එම්.ඒ.ඞී ගුණරත්න මහතාගේ ප‍්‍රකාශයක්ද සහිතව මවිසින් දිනමිණට ලියූ ලිපියකට අනුර කේ විසින් යොදා තිබූ ශීර්ෂපාඨය වූයේ ‘‘ජූලි වැඩ වර්ජනය කඳුළු යට ගින්දර’’ යනුවෙනි. දශක තුනකට ආසන්න කාලයක් තිස්සේ විඳවන ඔවුන්ගේ සමස්ත කතන්දරය එම වචන 6 තුළ ගැබ්ව පැවතිණි. පාරිභෝගික අධිකාරියට පාරිභෝගික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් කළ හැකි ඵලදායි යමක් නොපවතින බව එවක වෙළෙඳ, අලෙවි සංවර්ධන, සමූපකාර සහ පාරිභෝගික කටයුතු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ට පිළිගන්නට සිදුවූයේ මා සමග කළ සම්මුඛ සාකච්ඡාවකදීය. අදාළ අමාත්‍යවරයාගේ හඬින්ම එම ප‍්‍රකාශය එළියට ගැනීමට මවිසින් ඇසූ සෘජු ප‍්‍රශ්නවලට හැකිවිය. විශේෂාංග කතුවරයා එයට යෙදු ශීර්ෂ පාඨය වූයේ ‘‘පාරිභෝගික අධිකාරියට බුරන්න පුළුවන් හපන්න බෑ’’ යනුවෙනි. එය කෙතරම් නිර්මාණශීලි හා සුවිශේෂී වූයේද යත් 2007 ඔක්තෝම්බර් මස 05 වන දින දිනමිණ පුවත්පතේ කතුවැකි පිටුවේ එම ලිපිය පළවීමෙන් පසු පසු දින තවත් ජාතික පුවත් පත් ගණනාවක දවසේ කාටුනය වූයේ බන්දුල අමාත්‍යවරයා සහ ඉහත ප‍්‍රකාශයයි. පැවති රජය දැඩි, අනම්‍ය ඒකීය රාජ්‍ය සංකල්පය වඩ වඩාත් තහවුරු කෙරෙමින් පැවති අවස්ථාවක අධිකරණ අමාත්‍යවරයාව සිටි, කවදත් ෆෙඩරල් විසඳුමක් වෙනුවෙන් හඬ අවදි කළ ඩිලාන් පෙරේරා සමග සම්මුඛ සාකච්ඡාවක් කොට ලිපියක් සකසන්නැයි මට උපදෙස් ලැබුණි. ආණ්ඩුවේ ස්ථාවරය සමග ආණ්ඩුවේම ඇමතිවරයෙකු යම් දුරස්ථභාවයක් තබාගෙන සිටීම ගැන මවිසින් නැඟූ ප‍්‍රශ්නයකට අමාත්‍යවරයාගේ පිළිතුර වූයේ ඒකීය රාජ්‍යයක් තුළ උපරිම බලය බෙදිය යුතු බව හා ඉන්දියාවේ නේරු විසින් සිදුකළ ස්වරූපයේ බලය බෙදීමක් නම් වඩා සුදුසු බවත්, එයට කියන නම ”ඊලම” වුවද ගැටලූවක් නොමැති බවය. ලිපිය බාරදීමෙන් පසු සංස්කරණය වී අනුර අයියා විසින්ට ඊට යෙදු ශිර්ෂපාඨය වූයේ ”නේරුගෙ තාලෙට ඊලම දෙමු” යන්නයි. එය ඊලාම් වාදීන්ද, ඊට සපුරා එරෙහි වූවන්ද එකවර ග‍්‍රහණයට ගත හැකි ශීර්ෂපාඨයක් බැව් අමුතුවෙන් කිව යුතු නොවේ. ලියූ ලිපියකදී ලේඛකයාටත්, පාඨකයාටත්, සම්පත් දායකයාටත් එක සේ සාධාරණය ඉටුකරන්නට හැකි සේ හෙඩිම යෙදීමට ඔහුට තිබුණේ සුවිශේෂී හැකියාවකි.

ලැබෙන ඉඩකඩ තුළ උපරිම නිර්මාණාත්මකවීමේ අභියෝගය

පරිපූර්ණ මාධ්‍ය නිදහසක් ලොව කිසිම රටක හෝ සමාජයක ඇතැයි විශ්වාස කිරීම අසීරුය. රාජ්‍ය මාධ්‍යය, විශේෂයෙන් ලේක්හවුස් පුවත්පත් යනු ‘‘පවත්නා ආණ්ඩුවේ කුණු සෝදන ලොන්ඩරිය’’ යය‘ යන්න ඇඟිල්ල දිගු කරන බොහෝ දෙනා පුද්ගලික මාධ්‍ය හිමිකාරිත්වයේ පටු දේශපාලනික හා ව්‍යාපාරික වුවමනාවන් වෙනුවෙන් ක‍්‍රියාත්මක වන ස්වරූපය පිළිබඳ තක්සේරු කරන්නේ අඩුවෙනි. රාජ්‍ය මාධ්‍ය වුවත්, පුද්ගලික මාධ්‍ය වුවත් ලැබෙන සීමිත ඉඩකඩ තුළ පවා උපරිම නිර්මාණාත්මකවීමෙන් තම හෘදය සාක්ෂියට එකඟව වඩාත් ඵලදායි යමක් කළ හැකිය. ‘‘මාධ්‍ය යනු, ‘කලාවක්’ වන්නේද ඒ නිසාමය. ලේක්හවුස් වැනි රාජ්‍ය ආයතනයක දිනමිණ වැනි පුවත්පතක වඩා ඵලදායි යමක් සිදුකරනු පිණිස මග පෙන්වීමෙනුත්, තමාගේම ආදර්ශයෙනුත් ක‍්‍රියා කළ අයකු ලෙස අනුර කේ අවිවාදයෙන් යුතුව හැඳින්විය හැකිය.

එකල 2000 දශකයේ මැද භාගයයි. උතුරේ යුදමය තත්ත්වය තීරණාත්මක වෙමින් දකුණේ තැන තැන බෝම්බ පිපිරෙමින් පැවති යුගයයි. උතුරු-නැගෙනහිර එල්.ටී.ටී.ඊ සාමාජිකයින් කොළඹ තාවකාලික ලැගුම්හල් හෙවත් ලොජ්වල නවාතැන් ගෙන ඔත්තු බලමින් කොළඹ නගරයේ බෝම්බ ප‍්‍රහාර සඳහා සැලසුම් කරන බවට රාවයක් පැතිරිණි. කොළඹ ලෝජ්වල ලැගුම්ගෙන සිටින ද්‍රවිඩ ජනයා බලහත්කාරයෙන් පළවා හැරීමට එවක රජය විසින් තීන්දු කරන ලදී. එහි ප‍්‍රතිඵලයක් ලෙස එවක පොලිස්පතිවරයාව සිටි වික්ටර් පෙරේරාගේ උපදෙස් පරිදි පොලීසිය විසින් අධිකරණ නියෝගයක් ලබාගෙන 2007 ජූනි 07 දින සියදහස් ගණනක් ද්‍රවිඩ ජනයා හදිසි වැටලීම් මගින් කොළඹින් පළවා හරින ලදී. උතුරේ එල්.ටී.ටී.ඊ සංවිධානය විසින්ද, දකුණේ ආණ්ඩුව සහ පොලීසිය විසින්ද පළවා හරින ලද ද්‍රවිඩ ජනයා දෙපාර්ශ්වයෙන්ම බැටකමින් පීඩිතව මහ මග අසරණව හඬා වැළපෙමින් සිටියහ. කුඩා දරුවන්ද, ස්ත‍්‍රීන්ද අනේකවිධ පීඩාවන්ට ලක්විය. එවක අග‍්‍රාමාත්‍යවරයාව සිටි රත්නසිරි වික‍්‍රමනායක මහතා ද මෙම තීරණය සාධාරණීයකරණය කරමින් පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශයක් කරන ලදී. වරෙක යුද්ධයෙන් අවතැන් කරන ලද ජනයා තව තවත් නීතියෙන්ද අවතැන් කිරීමේ ඛේදවාචකය ගැන නිහඬව සිටීමට නොහැකිය.

”අපිට ඒ ගැන මොකුත් ලියන්න බැරිද? මම ඇසීමි

”ඔව්. මොනව හරි කරන්න ඕන. මමත් කල්පනා කරන්නම්. ඔයත් කල්පනා කරන්ඩකෝ” ඒ අනුර අයියාගෙ හඬයි. රජයේ තීන්දුවක්, අධිකරණය විසින් පවා ලබාදුන් නියෝගයක් තිබියදී රජයේ ජාතික පුවත්පතක ඊට එරෙහිව ලිවිය යුතුය. සවස් කාලයේ අනුර අයියා මා ඇමතීය.

”මෙහෙමයි ඔයා අපේ ෆොටෝග‍්‍රැපර් කෙනෙකුත් එක්ක ලෝජ් කීපයක ඇවිදලා, ඒ මිනිස්සු ඒවායෙ ඉන්නෙ මොකටද? ඒ අයගෙ කනගාටුදායක කතාව ලියන්න. ඊට පස්සෙ ලෝජ්වල සිටීම ‘‘නීති විරෝධී දෙයක්’’ නොවන බව ට කාගෙ හරි වගකිව යුත්තෙක්ගෙ ප‍්‍රකාශයක් ගන්න. අපි දාමු”.

මම මලික් චමින්ද මිතුරාද කැටුව පසුදාම ලොජ් සොයා ගියෙමි. එම ලිපිය 2007 ජූනි 21 වනදින පළ වූයේ ”මොනවද මේ ලොජ්?” යන සිරස්තලයකිනි. එවක කොළඹ මහ නගර සභාවේ ප‍්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක ඩබ්ලිව්.ජී කරුණාතිලක මහතාගෙන් ලොජ් ලියාපදිංචිය, ඒ ගැන කරන සොයා බැලීම් ගැන ප‍්‍රකාශයක්ද එහි අන්තර් ගත විය. අදාළ ලිපිය පළ කරනු ලැබුවේ මවිසින්ම සංස්කරණය කරන ලද‘‘ගුරුදා ස්පෙෂල්’’ නමැති පිටුවේ බැවින් මවිසින් එහි හෙඩිම ‘‘බලපත් ඇත්නම් ලොජ් නීති විරෝධී නෑ’’ කියා යොදා තිබුණි. පුවත්පත මුද්‍රණයෙන් ප‍්‍රකාශයට පත්වන විට එය ‘‘සුදුසුකම් නැත්නම් බලපත‍්‍ර දෙන්නෙ නෑ’’ කියා වෙනස්වී තිබුණි. මට ඒ හෙඩිම ගැන සෑහීමට පත්වන්නට නොහැකි විය. ඒ ගැන විමසීමේදී අනුර අයියා මඳ සිනහවකින් යුතුව පිළිතුරු දුන්නේය.

”එහෙම්මම ඉතිං ඉල්ලං කන්න ඕන නෑනෙ. කතාව ඔක්කොම තියෙනවනේ?” කියාය. සැබවින්ම එකී ලිපිය මාගේ මාධ්‍ය ජීවිතයේ තීරණාත්මක විශේෂාංග ලිපියක් වන අතර එය කිසිදා අමතක කළ නොහැකිය.

පුවත්පත් කලාවේදියෙකු ලෙස අනුර කේ ගේ සංස්කරණ හැකියාවට, සාහිත්‍යකරණයට හා පරිවර්තන හැකියාවට ක්ෂේත‍්‍රය තුළ තවමත් ඉමහත් කාර්යභාර්යයක් කළ හැකිය. තම අතත්, පයත් අහිමි වී ගියද, දෛවයට අභියෝග කළ මේ මිනිසා හෙටත් මහ පාරේ කොතැනක හෝ හමුවිය හැකිය.

රජයේ මතය පමණක්ම නියෝජනය වන බව කියන රාජ්‍ය මාධ්‍ය තුළ පවා ලැබෙන සීමිත ඉඩකඩ තුළ වුව ඔහු වඩාත් නිර්මාණශීලිව සිතීමෙන් හා නොබියව ක‍්‍රියාත්මක වීමෙන් වඩාත් ඵලදායි සේවයක් කළ හැකි බැව් පසක් කළේය. ලේක්හවුස් මාධ්‍ය ජීවිතය තුළ අනුර කේ විසින් නවකයින්ට ලබාදුන් සහයෝගය හා මගපෙන්වීම සැබවින්ම ප‍්‍රශංසනීයය. එහෙත් ‘‘හෙටත් වැඩක් කළ හැකි අයෙක්’’ අදම තම වෘත්තීය දිවියට සමුදෙමින් මහ පාරට බසින්නේ ඒ බැව් වඩාත් හොඳින්ම දන්නා ඔහුගේම මිතුරන් ආයතනයේ ඉහළම වගකිව යුතු තනතුරු දරමින් සිටියදී වීම පමණක් කනගාටුදායකය

සංස්කාරකයෙක් හා මග පෙන්වන්නෙක්

අපේ‍්‍රල් 27 වන දින වැල්ලවත්ත පිහිටි සිඞ්නි වනසිංහ සහෝදරයාගේ නිවසට ගියෙමි. වයෝවෘද්ධභාවය නිසාම යම් අබලදුබල බවක් පෙන්නුවද, සක‍්‍රීයව පොතපත කියවන, ලියන ප‍්‍රතාපවත් මිනිසෙකු එහිදී මට හමුවිය. කිිසිදු පශ්චාත්තාපයක් නොමැති ඔහුගේ මුහුණේ ප‍්‍රියමනාප බව මේ මොහොතේද සිහිපත් කළ හැකිය.
”ලෙඩවෙලා ගෙදරට එක තැන් වුණත් නිකං ඉන්න හිත දෙන්නෙ නෑ. මං මේ පරණ ලිපි ලේඛන ටිකක් එකතු කරලා සංස්කරණය කරනවා. මාසෙකින් දෙකකින් ප‍්‍රින්ට් කරන්න පුළුවන් වෙයි” ඒ ප‍්‍රතාපවත් මිනිසා මා සමග කීවේය. ඔහුගේ මැයි දින අත්දැකීම් හා අදහස් උදහස් පටිගත කරගෙන, ඒ පිළිබඳ කටු සටහන් තබා ගෙන, ඔහු විසින්ම අත්සන් කොට තිළිණ ලෙස ලබාදුන් වෙස්ලි මුත්තයියා සමග සංස්කරණ කළ Colvin R De Silwa ¦ selected speeches & Writings නමැති කෘතියත්, Two Languages One Naional One Language Two Nations රැගෙන එන්නට ආවෙමි. පසු දිනයේම අදාළ ලිපිය ලියා අනුර අයියාට බාරදුනිමි. ඊටත් පසුදින කාර්යාලයට ගිය විගසම අනුර අයියා දුරතියාම මට කීවේ, ‘‘ඔහොමම පලයන් අන්න මහින්ද මහත්තයා උඹව හොයනවා’’ කියාය. එවක දිනමිණ ප‍්‍රධාන සංස්කාරක මහින්ද අබේසුන්දරය. අත්‍යවශ්‍ය දෙයකට හැර ඔහුත් සමග මගේ වැඩි ඇගෑලූම්කමක් කොහොමත් තිබුණේ නැත.

”අයිසෙ ඔහේව ඉන්ටවීව් කළ වනසිංහ සහෝදරයා මැරිලා. ඒ ඉන්ටවීව් එකෙන් ලීව ආර්ටිකල් එක යන්න ඉස්සරලා හෙට පත්තරේට එයා ගැන වෙන ආර්ටිකල් එකක් ලියලා දෙනවා. පැයකින් දෙනවා. වැඩිය දිග නොවුණට කමක් නෑ” කතුවරයා කීවේය.

සැබවින්ම මාව කරකවා අතෑරියා බඳුවිය. එක් අතකට මෙම ආරංචිය අනපේක්ෂිත මෙන්ම සිත කම්පාකරනසුලූය. අනෙක් අතට පැයකින් ඔහු ගැන ලිපියක් ලිවීමට මං ඔහු ගැන දන්නා දෙයක්ද නැත. ඔහු මට හමුව ඇත්තේ එකම වරක් පමණි. ලියා පළවීමට නියමිතව ඇත්තේද, ඔහුගේ අදහස් ඇසුරින් ලීව ලිපියක් පමණි. ඒ සියල්ලටමත් වැඩියෙන් ඔහුගේ නිවසින් එළියට බහිද්දී කියූ දේ තාමත් ඇසෙනවා මෙනි.

”මේ පොතේ වැඩ ඉවර වුණාම මං පොතක් එවන්නම්. ඔහෙලා වගේ තරුණ උදවිය තමා මේව කියවන්න ඕන. දැන් අපේ කාලෙ ඉවරයි. අපේ අත්දැකීම් මේ වගේ එළියට දාන එක විතරයි දැන් අපට කරන්න පුළුවන්”. එහෙත් ඒ පොත කවදාවත් කියවන්නට නොලැබෙන බව දැන් සහතිකය.

”කල්පනා කර කර ඉඳලා වැඩක් නෑ. මහින්ද මහත්තයා වැඩක් කීවනෙ. ඉක්මනට ලියල ගනින්”

මම ලියන්නට වීමි. කෙතරම් වයෝවෘද්ධව, රෝගාතුරුව සිටියද සිඞ්නි වනසිංහ සහෝදරයාගේ තියුණු ඇස්, නිවැරදි මතකය, සිත්ගන්නාසුලූ කතා ශෛලිය, නොපසුබට වීර්යය, අවසන් මොහොතේද, තමාට පැවරී ඇතැයි විශ්වාස කළ වගකීමක් වෙනුවෙන් කළ කැපවීම, වඩා සුභවාදී අනාගතයක් වෙනුවෙන් නොසන්සිඳුණු බලාපොරොත්තු…අවසන් වරට මා සමග කළ සම්මුඛ සාකච්ඡාවේදී පළ කළ අදහස්එ. කිනෙක පුරුද්දමින් පැයක පමණ කාලයකින් මම ලිපිය ලියා හමාර කළෙමි. එය අනුර අයියාට ලබාදී මම පසෙකට වීමි. පසුදින පුවත්පතට යොමු කළ යුතු නිසා ඔහුද, වහාම එම ලිපිය අතට ගෙන රතු පෑනද උරුක්කර ගනිමින් කපන්නට, කොටන්නට, බෝල අඳින්නට එහෙට මෙහෙට ඊතල යා කරන්නට පටන් ගත්තේය.

”මේ මරණයෙන් මල්ලිට දුක හිතෙනවද නැද්ද යන්නවත්, එයා කරන්න හිටපු දේවල් වත් රටේ ලෝකෙ මිනිස්සුන්ට වැඩක් නෑ. කොහොමත් කරන්න හිටපු දේවල් දැන් කරන්න බෑනෙ. එයා ඇත්තටම කතා කරපු දේවලූයි, අන්තිම මොහොත දක්වාම තමන් විශ්වාස කරපු පරමාදර්ශයක් වෙනුවෙන් කරපු සේවයයි ඉස්මතු වුණාම ඇති” අනුර අයියා කියා සිටියේය.

මවිසින් ලියූ මුල් කොපියත්, රතු ඉරි වැටී සංස්කරණය වූ කොපියත් සංසන්දනය කර බැලීමි. වචන දෙදහස් පන්සියයක විතර ලිපියක් වචන දහසකට පමණ සීමාවී එක් නිශ්චිත එල්ලයකට නිමාවී තිබිණි. එම හදිසි ලිපියට දැමූ ශීර්ෂ පාඨය මේ මොහොතේ සිහිපත් නොවූවද, මැයි දිනය වෙනුවෙන් සිඞ්නි වනසිංහ සහෝදරයා සමග පූර්වයෙන් කළ සම්මුඛ සාකච්ඡාව ආශ‍්‍රිත ලිපියට දැමූ ශීර්ෂ පාඨය හොඳින් මතකය. 2007 මැයි 01 වන දින දිනමිණ පුවත්පතේ කතුවැකි පිටුවය. ”එදා මැයි සැබෑ මැයි මෙදා මැයි අදෝ මැයි” යනුවෙන් කදිම ශීර්ෂ පාඨයක් එහි විය. එහෙත් එය කියැවීමට සිඞ්නි වනසිංහ සහෝදරයා ජීවතුන් අතර සිටියේ නැත.
-ප‍්‍රියාන් ආර් විජේබණ්ඩාර

(රාවය වෙබ්)

Leave A Reply

Your email address will not be published.

5 × four =