කොරෝනා කාලයේ ලීසිං මාෆියාව

 

ශ්‍රී ලංකා මහ බැංකුව මඟින් නියාමනය වන සියලු‍ම බලපත්‍රලාභී වාණිජ බැංකු, බලපත්‍රලාභී විශේෂිත බැංකු, බලපත්‍රලාභී මූල්‍ය සමාගම් සහ විශේෂිත කල්බදු සමාගම් වෙතින් ණය හෝ ලීසිං පහසුකම් ලබා ගත් පුද්ගලයන්හට ඒවා නැවත පියවීම වෙනුවෙන් සහන කාලයක් ලබා දීමට ශ්‍රී ලංකා මහ බැංකුව විසින් තීරණය කර තිබුණේ, මුළුමහත් ලෝකයටම ආර්ථිකමය, සමාජමය අතින් බලපෑ කොවිඞ් 19 වසංගත තත්ත්වය හේතුකොටගෙන ය. මෙහි දී ණය සහනයක් ලෙස මහ බැංකුව විසින් හඳුන්වන්නේ අදාළ සහන කාලය තුළ දී යැවීමට නියමිත ණය හෝ පොලිය ආපසු ගෙවීම කල් දැමීම වේ. ඉන් අදාළ ණය පහසුකම්වල ප්‍රාග්ධන හෝ පොලිය මුළුමනින් ම කපාහැරීමක් අදහස් නොකෙරේ. ගනුදෙනුකරු විසින් සහන කාලසීමාව තුළ ගෙවනු ලැබීමට නියමිත ණය ප්‍රාග්ධනය හෝ පොලී ආපසු ගෙවීම් සහන කාලසීමාවෙන් පසුව සංශෝධිත ආපසු ගෙවීම් සැලස්මකට අනුව සිදුකළ යුතු වේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු අධීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් 2020 මැයි 06 වන දා නිකුත් කරනු ලැබූ නිවේදනයේ ඉහත සඳහන් කරුණු පිළිබඳව සඳහන් වුවත්, සහන කාලයෙන් පසු නැවත ණය වාරික හෝ පොලිය අය කර ගන්නා විට ඊට තවත් පොලියක් එකතු වන බව සඳහන් කර නොමැත. නමුත්, ලීසිං හා ණය සහන ලබා ගත් පුද්ගලයන්ට එවන් දුෂ්කර අත්දැකීම්වලට මුහුණ දෙන්නට සිදු වන අවස්ථා දැන් දැන් සමාජයෙන් අසන්නට ලැබෙමින් තිබේ. මේ අපට එසේ වාර්තා වුණු තවත් කතාවකි
CDB බැංකුවේ තමයි, මගේ ලීස් එක තිබුණේ. මුලින් ම අපිට කිව්වේ, මාස තුනක් දෙනවා කියලයි. ඒත් මම වාහනේ අරන් තියෙන්නේ Hiring Purpose එකට. එහෙම වාහන ගන්න අයට සාමාන්‍යයෙන් මාස හයක් දෙනවා. මුලින් අපිට කියල තිබුණේ, ෆෝම් එකක් දෙනවා ෆිල් කරලා දෙන්න ඊට පස්සේ මාස හයක් දෙනවා කියල. ඒත් මුලින් ම දුන්නේ මාස තුනයි. ඊට පස්සේ මම ඇහුවා මේ වාහනේ හයර් කරනවා නම්, මාස හයක් දෙනවා නේද කියලා. ඊට පස්සේ තමයි මට කිව්වේ, හයර් කරන කම්පැනි එකෙන් ලියුමක් දෙන්න කියලා.
ඒ ලියුම දුන්නට පස්සේ මට මාස හයක් ලැබුණා. නමුත්, මෙතන දී වෙලා තියෙන්නේ, කරන්න තියෙන ගෙවීම් මාස හයක් පස්සට දාපු එක විතරයි. මාස හයකට පස්සේ පුරුදු විදිහටම මට ගෙවන්න වෙනවා. ඊට අමතරව ඒ පිටිපස්සට දාන ගෙවීම්වලටත් පොලියක් එකතු වෙලා තියෙනවා. එතකොට අපිට සහනයක් විදිහට ලැබිල තියෙන්නේ මේ මාස හයේ කිසිම මුදලක් නොගෙවා ඉන්න එක විතරයි. ඒ ඇරුණාම අපි දන්නේ නෑ කොයි තරම් මුදලක් පොලිය විදියට අය කරනව ද කියලවත්. ලබාදෙන සහන ගැනත්, අය කරන පොලිය ගැනත් කටින් කියලා තිබුණට කිසිම ලියුමක්වත් මේ වෙනකම් අපිට ලැබිල නෑ. මේ ගැන කොහෙවත් ලිඛිත සඳහනක් නෑ.
මට ෆෝන් එකට මැසේජ් නම් ඇවිල්ල තිබුණා සහන කාලයක් ලබා දෙනවා කියලා. නමුත්, හරි විස්තරයක් නෑ. අපි ඒ මැසේජ් එක දැකලා කෝල් කළා ම තමයි පොලියක් අය කරනවා, එහෙමයි, මෙහෙමයි කියල ඉතුරු විස්තර ටික කියන්නේ. මට වුණත්, කෝල් කරලා විස්තර අහපු නිසා තමයි මාස හය ලැබුණෙත්. කෝල් කළහම එහෙන් කියනවා, අපි මේ ගැන ලියුමක් ඔයාට එවන්නම් කියලා. දැනට මගේ මාස හයෙන් මාස හතරක් විතර ගෙවිලත් ඉවරයි. මේ වෙනකම් එහෙම කිසිම ලියුමක් මට ලැබිලා නෑ.”

මෙය ද ලීසිං දිගුවේම තවත් කතාවකි.

“මේ අවුරුද්දෙ මුල වාහනේ ලීස් කරන්න වුණා පොඩි හදිස්සියකට… මගේ (කළමනාකාරතුමාගේ කාරුණික ඉල්ලීම මත බැංකුවේ නම කියන්න බෑ) බැංකු ගිණුමට දැන් අවුරුදු 20ක් විතර. ඉතින්, ඒ බැංකුවෙන්ම ලීසිං පහසුකම් ලබා ගත්තේ දන්න කියන තැන එතැන නිසා. වාරිකය 83,500ක්. වාරික දෙකයි ගෙව්වෙ කොරෝනා ප්‍රශ්නය ආවා. බැංකුවෙන්ම කිව්වා සහන කාලයක් ඉල්ලන්න කියලා. මාස දෙකක් ඇති නේ ද ඇහුවා.. ඉතින්, මාස දෙකක සහන කාලයක් විතරයි ඉල්ලු‍වේ. මාස දෙක ඉවර වුණා. ඒ මාස දෙකේ වාරික දෙක ගෙව්ව නං ගෙවන්න වෙන්නේ 1,67,000.00ක්. දැන් බැංකුවෙන් කියනවා නොගෙවා හිටපු මාස දෙකට පොලිය විතරක් 1,60,819.81ක්ලු. (එක් ලක්ෂ හැටදහස් අටසිය දහනවයයි ශත අසූඑකක්). වාරික දෙක ගෙව්ව නං වැඩි වෙන්නෙ හයදාස් ගාණක්. දැන් පොලිය 1,60,819.81ක් ගෙවලා, පස්සෙ අර 1,67,000.00ත් (වාරික දෙකත්) ගෙවන්න වෙලා. නොසෑහෙන්න සහනයක් දැනුණා ඒකෙන් නම්.”‍
අප සාමාන්‍යයෙන් දන්නා පරිදි ලීසිං පහසුකමක් ලබා
ගැනීමට යාමේ දී අදාළ ලීසිං පහසුකම ලබා ගන්නේ කුමකට ද, ඔහු එම මුදල ආයෝජනය කරන්නේ කෙලෙස ද යන සියලු‍ විස්තර ලීසිං ආයතනය විසින් ලිඛිතවම සඳහන් කර ගනු ලබයි. ඇතැම් තැන්වල කිසිදු අවබෝධයකින් තොරව ද අත්සන් මිටි ගණන් ගැසීමට සිදු වන්නේ සිය පාරිභෝගිකයාට ද නොතේරෙන ලීසිං සමාගම්වල ෆයිල් ගණන් බර ගිවිසුම්වල ය. බොහෝ පුද්ගලයන්ට ලීසිං ක්‍රමය පිළිබඳව නිසි අවබෝධයක් නොමැති අතර, ලීසිං සමාගම් විසින් එම අවබෝධය ලබා දෙනු ලබන්නේ ද නැත. ඒ ආකාරයට සිය පාරිභෝගිකයාගේ
නොදැනුම්වත්කම ලීසිං සමාගම් විසින් තමන්ට වාසි සහගත ලෙස භාවිත කරන බව මේ වන විට සමාජයේ ප්‍රසිද්ධ වී තිබේ. ඔවුහු මේ අවස්ථාවේ දී ද එය එලෙසම පවත්වා ගනිමින්, කිසිදු ලිඛිත ලියවිල්ලක් ලබා නොදී සිය පාරිභෝගිකයන්ට කෙටි පණිවිඩ පමණක් යවති. එම කෙටි පණිවිඩ දැක නැවත ලීසිං ආයතනය අමතන
පාරිභෝගිකයන්හට පමණක් මඳක් හෝ සවිස්තරාත්මක තොරතුරු ලබා දෙන්නේ එසේ නැවත ලීසිං සමාගම අමතන්නේ මේ පිළිබඳව කිසියම් අවබෝධයක් සහිත පුද්ගලයන් වන නිසා ය. එසේ නොවන පුද්ගලයෝ තමන්ට සිදු වන්නේ කුමක් ද යන්නවත් නොදැන දිගින්දිගටම ලීසිං සමාගම්වල කූට උපක්‍රමවලට හසුවෙමින් සිටිති.
මේ වෙනුවෙන් දැනට සමිති, සංගම් පිහිටුවා ඒවායින්  උද්ඝෝෂණ  පවත්වා තිබුණත්, තවමත් නිසි බලධාරීන්ගේ අවධානය මේ ගැටලු ගැන යොමු වී නොමැත. ලීසිං ප්‍රශ්නය එසේ තිබිය දී, බැංකු ණය ලබා ගත් පුද්ගලයන්ටත් මුහුණ දීමට සිදු වී ඇති තත්ත්වය ඊට නොදෙවැනි ය. මේ බැංකු ණය මුදලක් ලබා ගත් පුද්ගලයකු අප සමඟ සඳහන් කළ තොරතුරු ය.
“මම ලක්ෂ තිස්අටක ලෝන් එකක් පෙබරවාරිවල ගත්තා. ඒ ගත්තේ සියයට 12 පොලියට ‘පර්සනල් ලෝන්’ එකක්. කොවිඞ් වසංගතය ආවේ මාර්තු 31 නේ. ඊට පස්සේ අප්‍රේල් දහවැනිදා වෙනf කාට මම වැඩ කරන ඩිපාර්ට්මන්ට් එක වහනවා. වැඩ කරන අය තිස්පස් දෙනෙක් හිටියා. ඒ හැමෝම අයින් කරලා තමයි, වැහුවේ. ඊට පස්සේ ලෝන්වලට සහන කාලයක් දෙනවා කියල ලෝන් කැටගරි හතරකට වෙන් කරලා තිබුණා නේ.
ලක්ෂ දහයට වඩා අඩුවෙන් ගත්ත පර්සනල් ලෝන්, අයි.ටී. කැටගරි එකයි, තව දෙකක් තිබුණා. පස්සේ ඔය කැටගරි හතරෙන් අයි.ටී. කියන කැටගරි එකෙන් තමයි සහන කාලය වෙනුවෙන් මම ඇප්ලයි කළේ. එතැන දී මුලින්ම රජය කිව්වේ කිසිම අමතර ගාස්තුවක් අය නොකර ලෝන් එක ෂිෆ්ට් කරනවා කියලයි. ඔහොම කරලා මාස හතරක් විතර යද්දී මට බැංකුවෙන් ලියුමක් එනවා මගේ කැපිටල් එකට සියයට 12ක අය කිරීමක් කරනවා කැමැති නම්, අත්සන් කරලා එවන්න කියලා. ඒ කියන්නේ, මගේ කලින් තිබුණු රේට් එකට ම එයාල මේ සහන කාලයටත් පොලිය අය කරනවා. මේ මාස හයට විතරක් මට ඒ විදිහට ගෙවන්න ඇවිත් තිබුණා ලක්ෂ දෙකයි විසි හයක්.

මේ මුදල ගෙව්වා කියල බැංකුවේ ලෝන් එක ගෙවෙන්නෙත් නෑ, ලෝන් එකට අදාළ පොලිය ගෙවෙන්නෙත් නෑ. මේ තියෙන්නේ කල් දාපු මාස ටිකට විතරක් අය කරන පොලියක්. එතකොට මම මේ පොලියත් ගෙවලා මාස හය අවසානේ මගේ ණය පොලියත් ගෙවන්න ඕනේ. පස්සේ මම මහ බැංකුවට ගිහින් මේ ගැන හොයල බලලා බැංකුවට කෝල් කළහ ම බැංකුවෙන් කියනවා, ලක්ෂ දහයට අඩු ලෝන්වලට විතරයි සියයට 7කට අඩු පොලියක් අය කරන්නේ කියල. මම කිව්වා, එහෙම දෙයක් කොහෙවත් සඳහන් වෙන්නේ නෑ. ඒ නිසා මම කිසිම මුදලක් ගෙවන්නේ නෑ කරුණාකරලා ඔයාල මගේ එකවුන්ට් එකත් ක්ලෝස් කරන්න. මම බැංකුවත් එක්ක තියෙන ගනුදෙනු ඔක්කොම අතහරිනවා කියලා. කමක් නැහැ ඔයාල නීතිමය පියවර ගන්න. මේ ගෙවන්න වෙලා තියෙන විදිය අසාධාරණයි.

ඒ නිසා මම කිසිම මුදලක් බැංකුවට ගෙවන්නේ නෑ කියල මේල් එකක් දැම්මා. ඊට පස්සේ බැංකුවෙන්ම මට කතා කරල ඇහුවා, ඔයාට පහුගිය මාස හතරේම වාරික ටික එකපාර දාන්න පුළුවන් ද කියලා. එතකොට අර කලින් දාපු අමතර පොලිය අයින් කරලා සාමාන්‍ය විදියට ගෙවාගෙන ආපු විදිහට ලෝන් එක හරි ගස්සනම් කිව්වා. මම ඊට පස්සේ ඒ ගැන විස්තර අහල බලලා ඒකට එකඟ වුණා. මම මේ ගැන හොයලා බලල කතා කරපු නිසා මගේ ප්‍රශ්නේ ඒ විදිහට විසඳුණත් මේ වැඩ ටික අනිත් මිනිස්සුන්ට තවමත් බැංකුව කරමින් යනවා. මේ වෙද්දී බැංකුව අසාධාරණ විදිහට අය කරන පොලිය වෙනුවෙනුත් සහන ක්‍රමවේද හඳුන්වලා දීලා. ඒ පොලිය එකපාර ගෙවන මිනිස්සුන්ට සියයට 20ක ඩිස්කවුන්ට් එකක් ලැබෙනවා, එහෙමත් නැත්තම් ලෝන් එකටම ඇඞ් කරලා තව ලෝන් එකක් දෙනවා අර පොලිය ගෙවන්න. මේ විදිහට තමයි, තවමත් බැංකුවල වැඩ සිද්ධ වෙන්නේ.”
මෙසේ ලබා දෙන සහන කාලයේ දී බැංකුවල ද්‍රවශීලතාව පිළිබඳව මහ බැංකුව විසින් ජුනි මාසයේ දී නිකුත් කරනු ලැබූ නිවේදනයක සඳහන් වෙන්නේ මෙම සහන කාලයේ දී සියයට 7කට නොවැඩි පොලියක් අය කර ගත හැකි බවයි. මුල්ම අවස්ථාවේ මේ ගැන සඳහන් වුණේ සහන කාලයේ දී කිසිදු පොලියක් හෝ වෙනත් දඩ මුදල් අය කිරීමක් නොකරන බව වුවත්, ඉන් පසුව පසු නිවේදනවල මෙසේ සඳහන් වී තිබුණේ, බැංකු හා මහ බැංකුව අතර සාකච්ඡාවකිනි. කෙසේ වෙතත්, මෙම කුට අය කිරීම් තව තවත් වැඩි ලෙස සිදු වන්නේ ණය හෝ ලීසිං වාරික වෙනුවෙන් පුද්ගලයන්ට ලැබුණු සහන කාලසීමාව අවසානයේ ය. ඒ වෙනුවෙන් තව මාස කිහිපයක් ඇති නිසා තවමත් කිසිවකුටත් මෙහි ඇති භයානකකම අවබෝධ වී නොමැත. එමෙන්ම කුඩා ප්‍රමාණයේ ණය ලබා ගත් පුද්ගලයන්ට නොදැනෙන සේ මෙම පොලිය එකතු කිරීමට ද කුට මූල්‍ය සමාගම් කටයුතු කර ඇත. මේ පිළිබඳව වගකිව යුතු රජයේ බලධාරීන් හා ආයතන තවමත් නිසි මැදිහත් වීමක් නොකළ ද, මේ වන විටත් කල්බදු ආයතන හා අනෙකුත් මූල්‍ය ආයතන විසින් මෙලෙස අසාධාරණ පොලී අයකිරීම් පුද්ගලයන්ගේ උර මත පටවමින් තිබේ.
– වරුණඋදේෂ්ජයසිංහ

Leave A Reply

Your email address will not be published.

two × 2 =