“දෙවියන් සියල්ලන්ට ආදරය නොකරයි”

අපරාධයට නියෝග දුන් පිරිස් ගැන කෂෝගීගේ පෙම්වතිය කියයි.
දෙවියන් සියල්ලන්ට ආදරය නොකළද, ජමාල් කෂෝගීගේ ඝාතකයන්ට දෙවියන් දඩුවම් දෙනු ඇතැයි තමන් තවදුරටත් විශ්වාස කරන බව කෂෝගීගේ පෙම්වතිය වන හේටීස් සෙන්ගීස් ට්විටර් පණිවුඩයක සදහන් කර ඇත.
මාධ්‍යවේදී ජමාල් කෂෝගී ඝාතකයන්ට ලබාදී තිබූ මරණ දඬුවම අත්හිටුවමින්, ඔවුන්ට වසර 07 සිට 20 දක්වා සිර දඬුවමක් ලබාදීමට සෞදි අධිකරණය තීරණය කර, ඊට අදාළ නඩු ගොනුව වසා දමන බව නිල වශයෙන් ප්‍රකාශ කිරීමෙන් පසු ඇය මෙම පණිවුඩය තබා තිබේ.


විනිවිදභාවයෙන් තොරයි !
ඝාතනයේ වගඋත්තරකරුවන් අතරින් පස් දෙනෙකුට වසර 20 සිර දඬුවමක් සහ තිදෙනකුට වසර 07 සිට 10 දක්වා වූ සිර දඬුවමක් නියම කෙරිණි. ඝාතනයට සම්බන්ධ සැකකරුවන් 08 දෙනෙකු මෙතෙක් හඳුනාගෙන නැත. කෂෝගීගේ පුත්‍රයා විසින් ඝාතකයන්ට සමාව දිය යුතු බවට කළ ප්‍රකාශයකින් පසු, මෙසේ ඔවුන්ට ලබාදුන් දඬුවම ලිහිල් කිරීමට අධිකරණය කටයුතු කර ඇත. කෙසේ වෙතත් එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙය හඳුන්වා ඇත්තේ යුක්තිය උපහාසයට ලක්කිරීමක් ලෙස ය. එම සංවිධානයේ මානව හිමිකම් කොමසාරිස්වරයාගේ ප්‍රකාශක රූපට් කොල්විල් පවසා තිබුණේ කෂෝගී ඝාතනයට අදාළ නඩු විභාගය මුළුමනින්ම විනිවිදභාවයෙන් සහ වගවීමෙන් තොරවූවක් බවයි. මෙම නඩු විභාගය මානව හිමිකම් සංවිධානවල සහ ජ්‍යෙෂ්ඨ නීතිවේදීන්ගේ බරපතළ විවේචනයට ලක්වූ අතර, ඝාතනයට නියෝග දුන් පාර්ශ්ව කිසිවකට එරෙහිව නීතිය ක්‍රියාත්මකවීමක් සිදු නොවූ බව ඔවුහු අවධාරණය කර තිබිණි.


කෂෝගී සිරුර අතුරුදන්
කෙසේ වෙතත් සෞදියේ නීති ප්‍රධානියාගේ කාර්යාලය උපුටා දක්වමින් ඇමරිකාවේ වොෂින්ටන් නුවර පිහිටි අරාබි මධ්‍යස්ථානයේ ඛලීල් ජාෂාන් අල්-ජසීරා පුවත්සේවයට සඳහන් කර තිබුණේ ඊයේ (07) දිනයෙන් පසු අදාළ ඝාතනය පිළිබඳ නඩුව සදාකාලයටම වසා දමා අවසන් බවයි. ජමාල් කෂෝගී පවුලේ සමීපතමයෙකු වන ජාෂාන් වැඩිදුරටත් පවසන්නේ මෙතෙක් හෙළිදරව් වී නැති කෂෝගීගේ සිරුරට කුමක් සිදුවූයේද යන්න බරපතළ ගැටළුවක් බවයි.
2019 දෙසැම්බර් මාසයේදී කෂෝගී ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වූ පිරිසට මරණ දඬුවම නියම කෙරිණි.

2018 ඔක්තෝබර් 02 සිට …
තුර්කියේ ඉස්තාන්බුල් නුවර පිහිටි සවුදි කොන්සල් කාර්යාලය තුළදී 2018 ඔක්තෝබර් 02 දා ඝාතනය කෙරුණු මාධ්‍යවේදී ජමාල් කෂෝගීගේ ඝාතනය සම්බන්ධයෙන් තමන්ගේ කිසිදු මැදිහත්වීමක් නොවූවද, රටේ නායකයා ලෙස තම පුරවැසියන් පිරිසක් කළ අදාළ ඝාතනය සම්බන්ධයෙන් වන වගකීම තමන් භාරගන්නා බව සවුදියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු මේ පිළිබඳ අදහස් දක්වමින් පවසා තිබිණි.
ඇමරිකානු මාධ්‍ය ජාලයක් වන CBS හි මිනිත්තු 60 වැඩසටහනේ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් සල්මාන් කුමරු වැඩිදුරටත් පවසා තිබුණේ සවුදි රජයේ විවිධ ආයතනවල සේවය කරන පිරිසක් මෙම ඝාතනය සිදු කර ඇතැයි තහවුරු වී ඇති බවයි. ‘කෂෝගී ඝාතනය කිසිසේත්ම අනුමත කළ නොහැකි අති දුෂ්ඨ ක්‍රියාවක්. ඊට වගකිවයුත්තන්ට එරෙහිව උපරිමයෙන් කටයුතු කරනවා.’ යනුවෙන්ද ඔහු පවසා තිබිණි.

නියම දේශපාලන සූත්තරකාරයෙක්
සල්මාන් කුමරු සහභාගි වූ මෙම වැඩසටහන පිළිබඳ ප්‍රචාරක පටයක් විකාශය කිරීමෙන් පසු, ඊට කෂෝගීගේ පෙම්වතිය වූ හේටිස් සෙන්ගීස් මෙසේ ප්‍රතිචාර දක්වා තිබිණි. ‘ඔහු නියම දේශපාලන සූත්තරකාරයෙක්. ඔහුගේ නියෝග මත සියල්ල සිදු වී තිබියදී සවුදියේ නායකයා ලෙස තමන්ට ඇති බලය ප්‍රයෝජනයට ගනිමින් ඔහු ලෝකය රවටනවා. ඔහු නොදැනුවත්ව ඔතරම් බිහිසුණු ක්‍රියාවක් කරන්න කිසිවෙකුට බැහැ.’


සල්මාන් කුමරුගේ තර්ජනය
මේ අතර ජමාල් කෂෝගී ඝාතනය දේශපාලන වාසි සඳහා යොදා නොගන්නා ලෙස මීට පෙර මොහොමඩ් බින් සල්මාන් කුමරු විදෙස් රටවල් වලට තර්ජනය කර තිබිණි. එංගලන්තයේ ලන්ඩන් නුවර මුලික කරගනිමින් පවත්වාගෙන යන, අරාබි භාෂාවෙන් මුද්‍රණය කෙරෙන asharq al-awsat පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින් සෞදි කුමාරයා වැඩිදුරටත් අවධාරණය කර තිබුණේ ජමාල් කෂෝගී ඝාතනයට අදාළව යුක්තිය ඉටු කිරීම තම රටේ කාර්යයක් බවයි. මීට අදාළ සියලු සාක්ෂි අධිකරණයට ඉදිරිපත් කර ඇති බවත්, මෙම සිද්ධියෙන් දේශපාලන වාසි ලබා ගැනීමට ඇතැම් රටවල් දරන උත්සාහය තරයේ හෙළා දකින බවත් ඔහු පවසා තිබිණි.
එක්සත් ජාතීන්ගේ පිටු 100 වාර්තාව
කෂෝගී ඝාතනයට සවුදියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු සෘජුව සම්බන්ධ වී ඇති බව සදහන් වාර්තාවක් එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් ද නිකුත් කළේය. ඊට අදාළව අතිශය විශ්වසනීය සාක්ෂි ඇති බවද එහි සදහන් ය. මෙම වාර්තාවේ පිටු 100 ක් ඇත. කෂෝගී ඝාතනය අන්තර්ජාතික අපරාධයක් බවත්, ඊට වගකිවයුතු පාර්ශ්ව අනාවරණය විය යුතු බවත් එම වාර්තාවේ වැඩිදුරටත් සදහන් වේ.
තුර්කියේ විශ්වාසය
තුර්කියේ ඉස්තාන්බුල් නුවර පිහිටි සෞදි කොන්සල් කාර්යාලය තුළදී 2018 ඔක්තෝබර් 02 දා ජමාල් කශෝගී ඝාතනය කෙරිණි. මේ පිළිබඳව මුලින්ම අනාවරණය කරන ලද්දේ තුර්කි ආරක්ෂක අංශ යි. තුර්කි ජනාධිපති රිසෙප් එර්ඩෝගන් ඒ මොහොතේම පැවසුවේ සෞදි රජු අවංකව කටයුතු කරනු ඇතැයි තමන් විශ්වාස කරන බවයි.
සල්මාන්ගේ විශේෂ ඒකකය
ජමාල්ගේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන්නේ සෞදියේ ඔටුන්න හිමි සල්මාන් කුමරුගේ සමීපතමයන් පිරිසකටයි. ඔවුන් සල්මාන් කුමරු යටතේ පවතින විශේෂ ඒකකයක් නියෝජනය කළ පිරිසකි. රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබුණේ සල්මාන් කුමරුගේ ජ්‍යෙෂ්ඨ උපදේශකයෙක් වන සවුද් අල් කටානි ස්කයිප් තාක්ෂණය ඔස්සේ ජමාල්ගේ ඝාතනයට මොහොතකට පෙර, ඝාතකයන් සමග සම්බන්ධ වී ඇති බවයි. ඔහු ඝාතකයන්ට පවසා ඇත්තේ ‘ඔය බල්ලාගේ හිස මට ගෙනැත් දෙන්න’ යනුවෙනි.

තුර්කියේ වැඩ
සෞදියට විශාල ණය මුදලක් ගෙවීමට තිබියදී වුවද, මෙම සිද්ධියේදී තුර්කිය වඩාත් කාර්යක්ෂමව කටයුතු කිරීම කැපී පෙනිණි. සිද්ධියෙන් දින කිහිපයක් තුළ ඊට සෘජුව සම්බන්ධ වූ සැකකරුවන් 18 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට එරට ආරක්ෂක අංශ කටයුතු කළේය. එසේම ඝාතනයෙන් පසු විශේෂ ගුවන් යානයකින් කිසියම් පිරිසක් සෞදියට පිටත්ව ගොස් ඇතැයිද ඔවුන් අනාවරණය කළේය.

-ශාලික විමලසේන 

 

Leave A Reply

Your email address will not be published.

15 + 6 =