ඇඳුම් තහනම් කිරීම හොඳම විසඳුම නෙමෙයි

හිටපු ඇමතිනී ෆේරියල් අෂ්රොෆ්

මුස්ලිම් ප්‍රජාව රටේ අනෙකුත් ප්‍රජාවන්ගෙන් වෙන් වී කටයුතු කරමින් සිටින බවට චෝදනාවක් මේ වෙනකොට එල්ල වෙලා තියෙනවා. මේ ඛෙදීම දේශපාලනිකව පළමුවෙන්ම දකින්න ලැඛෙන අවස්ථාව තමයි මුස්ලිම් කොන්ග්‍රසය බිහි වීම කියන්නෙ. ඒ සිදුවීම ඔබ දකින්නෙ කොහොම ද?


ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය බිහි වීමට හේතු වුණු කරුණු කිහිපයක්ම තිබුණා. ඒ අතුරින් මූලිකම සිදුවීම තමයි ඒ වෙනකොට පාර්ලිමේන්තුව නියෝජනය කරපු මුස්ලිම් මන්ත්‍රීවරු මුස්ලිම් ප්‍රජාව මුස්ලිම් වීම නිසාම මුහුණ දෙන ගැටලූ නිවැරදිව පාර්ලිමේන්තුව තුළ සාකච්ඡා කරන්නෙ නැහැ කියන අදහස මුස්ලිම් ප්‍රජාව තුළ නිර්මාණය වෙලා තිබීම. විශේෂයෙන්ම ඒ කාලයේ පුත්තලම, ගාල්ල වගේ ප්‍රදේශවල මුස්ලිම් ජනතාවට ගැටලූ ඇති වුණ අවස්ථාවල දී ඒ තත්ත්වය හොඳින්ම දකින්න ලැබුණා. ඊ ළඟ අවස්ථාව තමයි ඉන්දු – ලංකා ගිවිසුම ඇති වෙන මොහොත. ඒ වෙලාව වෙනකොටත් අෂ්රොෆ් මැතිතුමා කියන්නෙ ක්‍රියාකාරී දේශපාලනයේ හිටපු කෙනෙක් නෙමෙයි. ඒ වෙනකොටත් ඔහු නීතිඥවරයෙක් වශයෙන් පමණයි කටයුතු කළේ. ඒත් දේශපාලන අදහස් එක්ක හිටියා. එල්.ටී.ටී.ඊ. සංවිධානයෙන් අපිටත් තර්ජන ඇති වුණා. ඉන්දු – ලංකා ගිවිසුමත් එක්ක උතුරු නැගෙනහිර ඒකාබද්ධ කරන්න තීරණය කිරීම ගැන ඔහු හිටියේ වෙනස් අදහසක. ඒ තමයි එහෙම ඒකාබද්ධ කිරීමත් එක්ක මුස්ලිම් ජනතාව සුළුතරයේත් සුළුතරය බවට පත් වෙනවා කියන එක. ඔහු සමග කටයුතු කරපු කිහිප දෙනෙක් එකතු වෙලා මේ සම්බන්ධව එවකට ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහත්මයත් එක්ක සාකච්ඡා කරන්න තීරණය කළා. ඒ සාකච්ඡාව ලබා දෙන්න කියල ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඉල්ලීම කළෙත් මමයි. ඒ වෙලාවේ අහපු ප්‍රශ්න තමයි එයාල කවුද, මොකක්ද සංවිධානය? කියල. එයාලගෙ දේශපාලන නායකයන් මාර්ගයෙන් ප්‍රශ්නය ඉදිරිපත් කරන්න කියල අන්තිමේ දී අපිට පිළිතුරු ලැබුණා. මුස්ලිම් කොන්ග්‍රසය ආරම්භ කරන්න සාකච්ඡා වෙනකොට මම පෞද්ගලිකව හිටියෙ ඒක වැරදියි, ජාතික දේශපාලන ක්‍රියාවලිය තුළම තමයි අපිත් දේශපාලනය කළ යුත්තේ කියන අදහසේ. ඒත් මේ සිදුවීම් එක්ක මුස්ලිම් ප්‍රජාව සඳහා වෙනම දේශපාලන පක්ෂයක් අවශ්‍යයි කියන තීරණය නිවැරදියි කියන එක මමත් තේරුම් ගත්තා. ඒ විදිහට තමයි ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසය බිහි වෙන්නෙ. ඒකයි මම කිව්වෙ එවැන්නක් බිහි වීම ඒ මොහොතේ තිබුණු තත්ත්වයත් එක්ක තේරුම් ගන්න ඕනෙ කියල.


ඒත් ඒ විදිහට දේශපාලනිකව වෙන් වීම ප්‍රජාවක් වශයෙන්ම අනෙකුත් ජනතාවගෙන් වෙන් වීමට හේතුවක් වුණා කියල ඔබ දකින්නෙ නැද්ද?


ඇත්තටම ඛෙදී වෙන් වීමට හේතු වුණේ ඛෙදා වෙන් කිරීම කියන එක තමයි මගේ නම් අදහස. ඒත් අපිට අවශ්‍ය වුණේ නැහැ ඒක දිගටම තියාගෙන ඉන්න. ඒ නිසාම තමයි අෂ්රොෆ් මහත්තය ජීවතුන් අතර ඉන්දැද්දිම අපේ පක්ෂය වුණු මුස්ලිම් කොන්ග්‍රසයත් ඇතුළත්ව ජාතික සමගි පෙරමුණ ගොඩනඟන්න උත්සාහ කරන්නෙ. එහෙම නැතුව ඛෙදා වෙන් කිරීම හෝ මුස්ලිම් ආගමික අවශ්‍යතාවන් අනෙකුත් ප්‍රජාවන් සමග ගැටුම්කාරී ලෙස වෙන් කර පවත්වාගෙන යාමේ අවශ්‍යතාවක් අපිට තිබුණෙ නැහැ. ඒකට හොඳම උදාහරණය තමයි එක්තරා අවස්ථාවක මුස්ලිම් ආගමික මතධාරී පිරිසක් අෂ්රොෆ් මහත්තයට ඒ ආගමික කරුණු සහ පක්ෂයේ ඇතැමුන්ගේ ක්‍රියාකාරිත්වයේ පරස්පරයක් තිඛෙන බව කියමින් ගැටලූ කිහිපයක් ඉදිරිපත් කළ අවස්ථාව. ඒ වෙලාවෙ ඔහු දෙන පිළිතුර තමයි ‘මේක මුස්ලිම් අයගෙ පක්ෂයක් මිසක් මූමින්ස්ලගෙ පක්ෂයක් නෙමෙයි’ කියන එක. මූමින්ස්ලා කියන්නෙ ආගම සම්බන්ධයෙන් සාමාන්‍ය මුස්ලිම් ප්‍රජාවට වඩා ඉදිරියට ගිහින් ජීවිතයම ආගමත් එක්ක සම්බන්ධ කරගෙන ජීවත් වෙන අයට. ඉතින් ඒකෙන්ම පැහැදිලි වෙනව නේද මුස්ලිම් කොන්ග්‍රසය ආගමික නියෝජනයක් හෝ ඛෙදී වෙන් වී ජීවත් වීම නියෝජනය කරපු පක්ෂයක් නෙමෙයි කියන එක. ඒ වගේම තමයි අනූඅට අවුරුද්ද විතර වෙනකොට සියල්ලන් තුළ සියලූ ආගමික සහ සංස්කෘතික තත්ත්වයන් පිළිබඳ අවබෝධයක් ඇති කිරීම අදහස් කරගෙන BIRD (Bureau for Inter Religious Dialog) කියල වැඩසටහනකුත් පටන් ගත්තා.


ඒත් ඒ කියන දේවල් ඉදිරියට එනවා වෙනුවට මුස්ලිම් කොන්ග්‍රසයත් කොටස්වලට වෙන් වෙලා, තවත් ඛෙදී වෙන් වීම නේද සිදු වුණේ ?


ඔව්. ඒක ඇත්ත. හැම කෙනෙක්ම ඒ කියපු අදහස් එක්ක නෙමෙයි හිටියෙ. ඒ වගේම පෞද්ගලික අභිමතාර්ථ ඉදිරියට ගත්ත අයත් හිටියා. ඒ අය බැලූවෙ පාර්ලිමේන්තුවට යන්න පුළුවන් කෙටිම මාර්ගය. ඒ වෙනුවෙන් ජාතික අනන්‍යතාව පාවිච්චි කළා. දැනුත් කරමින් ඉන්නවා.


දේශපාලනිකව ඒ තියෙන ඛෙදීමත්, මුස්ලිම් සංස්කෘතිය තුළ තිඛෙන තවත් වෙනස්කම් ආන්තිකව පවත්වාගෙන යාමත් රටේ අනෙකුත් ප්‍රජාවන් අතුරින් මුස්ලිම් ප්‍රජාව දුරස් වීමට යම් තාක් දුරකට හේතු වෙලා තියෙනවා නේ ද?


යම් තාක් දුරකට නෙමෙයි, ඒක ප්‍රධානම හේතුවක් වෙලා තියෙනවා. ඒත් මම ඒක දකින්නෙ දේශපාලනිකව සිදු වුණු දෙයක් හැටියට නෙමෙයි. ඒකට මූලික හේතුව වුණේ ආගමික බලපෑම කියලා. ඒත් ජාත්‍යන්තර වශයෙන් දේශපාලන උගුලක් ආගමික මුහුණුවරකින් ක්‍රියාත්මක වුණා ද කියන සැකය නම් මට තියෙනවා. ඒ වගේම විවෘත ආර්ථීකයත් එක්ක මැදපෙරදිග එක්ක විශාල සම්බන්ධයක් ඇති වීම නිසා වුණු බලපෑමත් මේ තුළ තියෙනවා.


කොහොමද එහෙම වෙන්නෙ?


විවෘත ආර්ථීකයත් එක්ක තමයි ගෘහ සේවය සඳහා ලංකාවේ කාන්තාවන් මැදපෙරදිගට යන්නෙ. ඒ වගේම පිරිමි පාර්ශ්වයත් රැකියා සඳහා විදේශගත වෙනවා. ඒ ගිය බොහෝ දෙනෙක් ඉතාමත් දුප්පත් අය. ඒ නිසා ඔවුන් ආපහු එනකොට, ගියාට වඩා හොඳ තත්ත්වයෙන් ඉන්නව කියල පෙන්නන්න ඔවුන්ට ඕනෙ වුණා. ඒකට ඔවුන් මුදල් වගේම අරාබියෙ සංස්කෘතියත් මෙහෙට අරගෙන ආවා. ඇඳුම්වලින්, වැඩ කරන විදිහෙන් වෙනසක් පෙන්වන්න පටන් ගත්තා. කළු ලෝගුව ලංකාවට එන්නෙ ඒ අතරින් එකක් විදිහට. ඊට අමතරව මේ කාලෙම අරාබි රටවල්වලින් මුස්ලිම් දරුවන්ට ශිෂ්‍යත්ව ලබා දුන්නා. ඒවා දුන්නෙ රාජ්‍ය නියාමනයකට යටත්ව නෙමෙයි. තානාපති කාර්යාල විසින් සෘජුවම මුස්ලිම් ප්‍රජා නායකයන් හෝ දේශපාලන නායකයන් සම්බන්ධ කරගෙන තමයි මේ ශිෂ්‍යත්ව සඳහා දරුවන් තෝරා ගත්තෙ. පකිස්ථානය, ඉරානය, ලිබියාව සහ ඊජිප්තුව වගේ රටවල්වලින් මෙහෙම ශිෂ්‍යත්ව ලැබුණා. සෞදි අරාබියෙන් තමයි වැඩිම ප්‍රමාණයක් ලැබුණෙ. ඒවයෙන් වැඩියෙන්ම ඉගැන්නුවේ ආගම හා සම්බන්ධ දේවල්. ඔවුල් ලංකාවට ආවට පස්සෙ ජීවත් වුණේ ඒ සංස්කෘතිය අනුව. ඒ විතරක් නෙමෙයි ඒ අතුරින් විශේෂයක් ඇති අයට ලංකාවේ පල්ලි හදා ගන්නත්, ආගමික කටයුතු සඳහාත් ආධාර ලැබුණා. ඔවුන් දිහා බලාගෙන හිටපු ඒ ප්‍රජාවේ අනෙකුත් අයත් ඒ අනුව වෙනස් වෙන්න ගත්තා. ඒ විතරක් නෙමෙයි, මේ පිරිස බලවත් වෙන්න ගන්නවත් එක්කම ඒ වෙනකම් ලංකාවේ මුස්ලිම් අනන්‍යතාවය සහිතව හිටපු පිරිස් යටපත් වීමත් සමච්චලයට ලක් වීමත් සිදු වුණා. මේක දීර්ඝ කාලයක් පුරා සිදු වුණු දෙයක්. ඒකෙ ප්‍රතිඵලයට තමයි අද අපි මේ මුහුණ දෙමින් ඉන්නෙ.


අද වෙනකොට ආගමික අනන්‍යතාවය සහිත ඇඳුමක් වුණු බුර්කාව වැනි සම්පූර්ණයමුහුණු ආවරණය කරන ඇඳුම් භාවිත කරන එක තහනමට ලක් වෙලා තියෙනවා. ඒක ඔබ දකින්නෙ කොහොම ද?


ඔය කියන කළු ලෝගුව භාවිත කරන එක ආගමික බලපෑම නිසා ඇති වුණ දෙයක් බව ඇත්ත. ඒත් තාමත් මුස්ලිම් ප්‍රජාවේ වැඩි දෙනෙක් වැඩි ආර්ථීක හැකියාවක් තියෙන අය නෙමෙයි. ඒ නිසා ආර්ථීක තත්ත්වය වසා ගන්නත් මුස්ලිම් කාන්තාවන් කළු ලෝගුව අඳින්න පුරුදු වුණා. ඒක හින්ද ඇඳුම් වැඩි ප්‍රමාණයක් ඕනෙ වුණේ නැහැ. අඳින ඇඳුමෙන් දුප්පත්කම වහ ගත්තා. ඒ විතරක් නෙමෙයි, සමාජ ක්‍රියාකාරිත්වයට උනන්දු ගැහැනු දරුවන් ඒ කටයුතුවල නියැළෙන්න මව්පියන්ගෙන් අවසරය අර ගත්තෙත් මේ ලෝගුව පෙන්වලා. ලෝගුව දාගෙන යනවා නම් බාහිර සමාජයට යන්න මව්පියන් ඔවුන්ට අවසරය ලබා දුන්නා. විශේෂයෙන්ම මේ ආගමික මතවාද ආරක්ෂා කරන්න නිල නොවන සංස්කෘතික පොලිසියක් අර කලින් කියපු ආගම් ඉගෙනගෙන ආපු පිරිස් සහ ඔවුන් අනුගමනය කරපු කණ්ඩායම් විසින් ගම් ඇතුළෙ ඇති කරගෙන තිබුණා. ලෝගුව දාගෙන යනකොට ඔවුන්ගෙන් බාධාවක් වුණෙත් නැහැ. මේක මොන තරම් ද කියනවා නම් මුස්ලිම් නීති වෙනස් වෙන්න ඕනෙ, මුස්ලිම් සංස්කෘතිය වෙනස් වෙන්න ඕනෙ කියන දේ වෙනුවෙන් විශාල ක්‍රියාකාරිත්වයක් දක්වපු මුස්ලිම් තරුණියන් මාව මුණගැහෙන්න ආවෙත් මේ ලෝගුව දාගෙන. ඒ නිසා එක පැත්තකින් පසුගාමී මනෝභාවයක් සහිත සමාජයක් තුළ ඊට එරෙහිව කටයුතු කරන්නත් මේ ඇඳුම් ප්‍රයෝජනයට ගත්ත අය හිටියා. මේ තීරණයත් එක්ක දැන් ඔවුන්ට ඒ තිබුණු අවස්ථාවත් අහිමි වෙලා. ඒත් රටේ නීතිය සහ ආරක්ෂාව පැත්තෙන් හිතුවමත් එහෙම තීරණය කරන්න සාධාරණ හේතු තියෙන බව පේන්න තියෙන නිසාත් එය එසේ කළ යුතුයි කියන එක තමයි මගේ අදහස.


ඒකෙන් කියන්නෙ ඒක හොඳම විසඳුම නෙමෙයි කියන එක ද?


ඔව්. හොඳම විසඳුම ලැඛෙන්නෙ අපි ජාතියක් විදිහට එකට එකතු වෙලා ජීවත් වෙන එකෙන්. කිසිම සංස්කෘතියකට හෝ ජනතාවකට රටේ පොදු ක්‍රියාවලියට බාධාවක් වෙන විදිහට කටයුතු කරන්න බැරි විදිහට කටයුතු කිරීමත්, ඒ වගේම ඒ නිසා කිසිම සංස්කෘතික අනන්‍යතාවයකට බාධාවක් ඇති නොවෙන විදිහට ඒ ඒ සංස්කෘතික අනන්‍යතාවයන් පවතින්න ඕනෙ වටපිටාව සකස් කිරීමත් මඟින් පමණයි ඒක කරන්න පුළුවන්. ඒත් මේ මොහොතේ තියෙන දේශපාලන තත්ත්වය ඇතුළෙ එහෙම දෙයක් වෙයි කියල බලාපොරොත්තු තියන්න අමාරුයි.

චතුර දිසානායක

Leave A Reply

Your email address will not be published.

18 + two =