රනිල් වික්‍රමසිංහ ඇතුළු 16 කට නොතීසි

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුළු 16 දෙනෙකුට දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ ලබන 19 වැනිදා පෙනී සිටින ලෙස කොමිසමේ සභාපති විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න අවසන් වරට අද (7) නොතීසි නිකුත් කළේය.
ඒ දිවිනැගුම හිටපු අධ්‍යක්ෂවරයෙකු වූ කිත්සිරි රණවක කර ඇති පැමිණිල්ලකට අනුවය.

ඒ අනුව 19 දා කොමිසම හමුවේ පෙනී නොසිටින වග උත්තරකරුවන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව කොමිසමේ සභාපතිවරයා සඳහන් කළේය.

මෙම පැමිණිල්ලට අනුව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, හිටපු අමාත්‍යවරුන් වූ මංගල සමරවීර ,රාවුෆ් හකීම්, සරත් ෆොන්සේකා, මලික් සමරවික්‍රම මෙන්ම දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්පන්ධන්, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක, එම්.ඒ සුමන්තිරන් සහ ජනාධිපති නීතිඥවරුන් වන ජයම්පති වික්‍රමරත්න, ජේ.සී වැලිඅමුණ ඇතුළු 17 දෙනෙකු වගඋත්තරකරුවෝ ලෙස නම් කොට ඇත.
මෙම පැමිණිල්ල අද යළි කැඳවූ අවස්ථාවේ වගඋත්තරකරුවකු වන අනුර කුමාර දිසානායක කොමිසම හමුවේ පෙනී සිටි අතර අනෙකුත් වගඋත්තරකරුවන් නීතිඥවරු මාර්ගයෙන් කොමිසමට නොපැමිණීමට හේතු දක්වා සිටියේය.

වගඋත්තරකරුවන් දිගින් දිගටම කොමිසම මග හැර සිටින බව අවධාරණය කරමින් ඔවුන්ට ලබන 19 වැනි දින පෙනී සිටීමට නොතීසි නිකුත් කළේ ඒ අනුවය.

Leave A Reply

Your email address will not be published.

one + nine =