නිපෝන් පේන්ට්’හි සම්මාන තරගයෙන් චන්දිම ගවරම්මනට සම්මානයක්

නිපෝන් පේන්ට් සමාගම 13 වන වරටත් සංවිධානය කළ ‘Asia Young Designer Awards’ (AYDA) වැඩසටහනේ 2019/2020 අදියරේ ගෘහ නිර්මාණ ශිල්පය කාණ්ඩය යටතේ මොරටුව විශ්වවිද්‍යාලයේ චන්දිම ගවරම්මන ඉදිරිපත් කළ නිර්මාණයට ‘Best Design Impact’  කාණ්ඩය යටතේ සම්මාන හිමි විය ‘‍Industrial and Cultural Exposure’ යන තේමාව යටතේ චන්දිම ඉදිරිපත් කළ නිර්මාණයට මැණික් ප්‍රවර්ධන මධ්‍යස්ථානයක් පාදක වී තිබිණ.  රත්නපුර ප්‍රදේශය පදනම් කර ගත් මෙම ව්‍යාපෘතිය, ප්‍රජාව සහ සංස්කෘතිය සඳහා ගෞරවයක් වශයෙන් මැණික් පතල් පුනස්ථාපනය කිරීමට යෝජනා කරයි. මෙම ව්‍යාපෘතිය, මැණික් කර්මාන්තය තුළ ඇති පාරම්පරික දැනුම භාවිතයෙන්, මැණික් කර්මාන්තයට නවීන විසඳුමක් යෝජනා කරන ව්‍යාපෘතියක් ලෙස හැඳින්විය හැකි වේ.

අභ්‍යන්තර නිර්මාණ සැලසුම් කාණ්ඩය යටතේ මොරටුව විශ්වවිද්‍යාලයේ රවීන්ද්‍රන් සංගීතන් පොදු වෙළෙඳපොළක් සම්බන්ධ පුළුල් තලයේ, සුවිශේෂී සංකල්පයක් ඉදිරිපත් කර තිබිණි. ලොව රටවල් හා කලාප  15කට අයත් පිරිසක් මෙම තරගාවලියේ ජයග්‍රහණ සඳහා තරග වැදුණෝය.

මේ වනවිට මුළු ලොවම මුහුණ දී සිටින COVID-19 වසංගත තත්ත්වය නිසා ප්‍රථම වරට Asia Young Designer Awards වැඩසටහන දුරස්ථ (Virtual) ලෙස පැවැත්වීමට සංවිධායකවරු කටයුතු කළහ. නව පරපුරේ නිර්මාණ ශිල්පීන්ට අතදීම සඳහා නිපෝන් පේන්ට් සමාගම දක්වන අඛණ්ඩ කැපවීමේ ප්‍රතිඵලයක් ලෙස පවතින තත්ත්වයන්ට අනුගත වෙමින් වැඩසටහන සංවිධානය කෙරිණි. ජයග්‍රාහකයන් වෙනුවෙන් එක් අයකුට ඇමෙරිකානු ඩොලර් 10,000කට අධික වටිනාකමකින් යුත් ත්‍යාග පිරිනමන ලද අතර, මීට ඇමෙරිකා එක්සත් ජනපදයේ මැසචුසෙට්ස් හි බොස්ටන් නගරයේ Harvard University Graduate School of Design හි දී සති 6ක් පුරා විහිදෙන Design Discovery වැඩසටහනට සහභාගී වීම සඳහා (සියලු වියදම් පියවූ) අවස්ථාවක් ද ඇතුළත් වේ.

‘Forward: A Sustainable Future’ යන තේමාව යටතේ පැවැති මෙවර තරගයේ දී ප්‍රායෝගිකත්වය සහ සමාජ තිරසාරත්වය සම්බන්ධ මූලිකාංග ග්‍රහණය කරගනිමින් නිර්මාණ කිරීමේ අභියෝගය තරගකරුවන් වෙත ලබා දෙන ලදී. වර්තමාන නිර්මාණ සංකල්පවල සීමාවන් අතික්‍රමණය කිරීමේ උත්සාහයක කොටසක් වශයෙන්, පරිසරය කෙරෙහි ඇතිවෙන අහිතකර බලපෑම අවම කරමින් මිනිසුන්ගේ ජීවන තත්ත්වය නඟාසිටුවීමට උපකාරී වන ආකාරයේ තිරසාර නිර්මාණයන් වෙත වැඩි අවධානයක් ලබා දීම සඳහා නිපෝන් පේන්ට් සහ AYDA වැඩසටහන කටයුතු කරමින් සිටී●

Leave A Reply

Your email address will not be published.

19 − 14 =