අධ්‍යාපනය අහිමි කළ කොවිඞ්

කොවිඞ්-19 වසංගතය හේතුවෙන් පාසල් වසා දැමීම් මධ්‍යයේ ලොව පුරා පීඩාවට පත් සිසු සිසුවියන්ගෙන් තුනෙන් එකකටවත් අඛණ්ඩ අධ්‍යාපනයට ප්‍රවේශයක් නොමැති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ වාර්තාවක සඳහන් කර ඇත.

එහි දක්වා ඇති පරිදි ළමයින් මිලියන 463කට දුරස්ථ අධ්‍යාපනය සඳහා උපකරණ හෝ විද්‍යුත් පහසුකම් නොමැත. එසේම “මාස ගණනාවක් තිස්සේ අධ්‍යාපනය මුළුමනින්ම කඩාකප්පල් වූ දරු දැරියන්ගේ සංඛ්‍යාව ගෝලීය අධ්‍යාපන හදිසි අවස්ථාවකි” යනුවෙන් එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ විධායක අධ්‍යක්ෂ හෙන්රියාටා ෆෝර් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. ලොව පුරා ළමයින් බිලියන 1.5ක් පාසල් වැසීම හේතුවෙන් පීඩාවට පත්ව ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය තක්සේරු කර ඇත. එසේම ළමයින් දුරස්ථ අධ්‍යාපනය සඳහා ප්‍රවේශවීමේ භූගෝලීය සහ ආර්ථික යන කාරණා ද්විත්වය මතම තීරණය වන බව එමඟින් අවධාරණය කර ඇති අතර, යුරෝපයේ දී එම බලපෑම සිදුව ඇත්තේ ඉතා අඩු ප්‍රමාණයකි. එහෙත් අප්‍රිකාවේ හෝ ආසියාවේ ඇතැම් ප්‍රදේශවල භූගෝලීය පිහිටීම සහ ගැටලුකාරි සන්නිවේදන පහසුකම් දරුවන්ට දුරස්ථ අධ්‍යාපනය ලැබීමට බාධා කර තිබේ.

දළ වශයෙන් රටවල් 100කින් ලබා ගත් දත්ත එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙම වාර්තාවට පදනම් වී තිබේ. ඉහත කරුණුවලට අමතරව නිවසේ හොඳ අධ්‍යාපනික පසුබිමක් නොමැතිකම, පරිගණක ගැටලු ඇති වූ විට තාක්ෂණික සහාය නොමැතිකම වැනි හේතු ද මෙම බාධාකාරී තත්ත්වයට හේතු වී ඇති බව එම වාර්තාවේ සඳහන් වේ. මේ සියලු හේතු විසින් නැඟෙනහිර හා දකුණු අප්‍රිකාවේ මිලියන 67ක්, බටහිර හා මධ්‍යම අප්‍රිකාවේ මිලියන 54ක්, පැසිෆික් හා

නැඟෙනහිර ආසියාවේ මිලියන 80ක්, මැදපෙරදිග හා උතුරු අප්‍රිකාවේ මිලියන 37ක් හා මිලියන 147ක්, දකුණු ආසියාව සහ ලතින් ඇමෙරිකාවේ සහ කැරිබියන් දූපත්වල මිලියන 13ක් දරු දැරියන් අධ්‍යාපනයෙන් දුරස් කර ඇති බව සඳහන් වේ●

 සහන් හේවාගමගේ

Leave A Reply

Your email address will not be published.

three + 8 =