පාංශු…. අපේම කතාව මතක් කරදෙනවා

අපි බලපු සමහර ෆිල්ම්ස් තියනවා හුදෙක් චිත්‍රපටිය බලා අදහස් මුමුණන්න වෙර දරන තාලේ ඒවා. කාලෙකින් තමයි අපිව ෂොක් කරලා නැතිනම් ගල් ගැහෙන්න සලස්වන ෆිල්ම්ස් එන්නෙ. කාලයක් ඒ රූප රාමු, චරිත අපිත් සමඟ යන එන තැන්වලට ගමන් කරනවා වගේ දැනෙනවා. ඒ වගේ ෆිල්ම්ස් අපිට දැනෙන්න නම් මං හිතන්නේ ඒ ෆිල්ම්ස්වල බොහෝ දේවල් අපේ ජීවිත එක්ක ගැළපෙන්න ඕන. අපේ ජීවිත එක්ක පැටලෙන්න ඕන. එවැන් ෆිල්ම්ස් හරි විරලයි. මම හිතන්නේ ඒ විරල ෆිල්ම්ස් අතුරින් ‘පාංශු’ කියන්නේ අපේ ජීවිත පස් යටට යනකම් අපිත් එක්කම ගමන් කරන කතා වස්තුවක් ඇතුළත් ෆිල්ම් එකක් කියල. පාංශු…. 88/89 භීෂණ කාලය ගැන කතා කළා වෙන්න පුළුවන්. මහා යුද්ධයකින් උතුර ගිනි ගද්දි 88/89 භීෂණයකින් අතුරුදහන් කර වූ පුතෙකු සොයා ඇවිදින අම්මා කෙනෙක්ගේ කතාවක් වෙන්න පුළුවන්. ඒත් පාංශු මට 88/89 භීෂණය පෙන්වන අතර තුර විගසින් එකී තොරතුරු අමතක කර දමාලන්නටත්, ඊටත් වඩා මහා භීෂණයක තතු මගේ ඇස් ඉදිරියට ගෙනවිත් එය මතක් කරමින්, මගේ මනස කලබල කරන්නටත්, වද දෙන්නටත් සලස්සනවා.. ඔව්. මම 88/89 භීෂණය දැකල නැහැ. ඒත්.. ඊටත් වඩා භීෂණයක මර ලතෝනි හඬින් මගේ කන් දෙදරා ගිය අයුරු මට මතකයි. දෙගුණ, තුන්ගුණ ලෙස වැගුරුනු ලේ ගැලීම් මට මතකයි.

අපි දන්නවා ලංකාවේ අරගල ඉතිහාසය තුළ තරුණයාගේ කේන්ද්‍රස්ථානය. ඔවුන් හා බැඳී පැවතුණු භීෂණය. පාංශු හරහා විසාකේස කතා කරන්නේ එවැනි එක් ඉතිහාසයක් ගැන. ඒ වගේම අපි දන්නවා මේ තරුණ අරගල සියල්ලේම විවිධ පාර්ශ්ව තුළ තිබුණු දේශපාලනය. විටෙක එම පාර්ශ්වයන්හි ක්‍රියාකලාපයන් සාධාරණීකරණය කර දෙන වගේම ඒවා දැඩි ලෙස විවේචනයට නතු වෙන තැන් බොහෝයි. 88/89 ජනතා විමුක්ති පෙරමුණ සහ රජය අතර වූ ගැටුම භීෂණයක් දක්වා ගමන් කළා. මේ භීෂණයෙන් තැලිලා පොඩි වුණේ… නැහැ, මියගියේ… පවුල් නන්නත්තාර වුණේ… මේ සියල්ල සිදු වුණේ බහුතර පහළ මධ්‍යම පාන්තිකයින්ට. පාංශු හරහා ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ වූ තරුණයෙක් සහ ඔහුගේ අතුරුදහන් වීමත් සමඟ ඔහු ව බලාපොරොත්තුවෙන් නැවතත් අරගලයකම නිරත වන අම්මා කෙනෙකු ගැන කතා කරනවා නම්, ඒ මගින් පෙන්නුම් කරන්නේ ඉතිහාසයේ සිටම තම පුතුන්, දුවරුන් රැගෙන ගිහින් අද අතුරුදන් වී තිබී අදත් උතුරේ දකුණේ සිය දරුවන් ඉල්ලා අරගල කරන විශාල ප්‍රමාණයක් වූ අම්මාවරුන් ගැන. බබා නෝනාගේ චරිතය හරහා සටහන් කරන්නේ එවැනිම වූ මව්වරුන්ගේ අරගලය ගැන. නම බබා නෝනා වුවාට, ඇය තිරුනීර් නළලේ ගා නොතිබුණාට ඇයව මා දුටුවේ බබා නෝනා කෙනෙකු ලෙස නොවේ. ඇයව මට බබා නෝනා යැයි සිතා මගේ සිතට අයව ඇතුළත් කරගැනීමට මා අසමත් ය. ඇත්තෙන් ම මගේ සිත අසමත් ය.
ලංකාවේ පැවතුණු සියලු‍ තරුණ අරගල තුළ තරුණයා යනු සමාජ අසාධාරණයන්ට එරෙහිව අරගල කළ අරගලකරුවෙකු වනවා යන්න කෙතරම් සත්‍යයක් වන්නේද, එතරම් ම තරුණයා යනු ඇතැම් විට විවිධ ලාභ තකා නැතිනම් වාසි තකා පාවිච්චි වීම නමැති සත්‍යය ද අමතක කළ නොහැක්කක් ලෙස අප පිටුපස හඹා එයි. කෙසේ හෝ යුධ බිමක පොළොව පය තබන පාර්ශ්වය බොහෝ විට එම සමාජ කණ්ඩායම තුළම සිටිනා පීඩිත පන්තිය වනු ඇත. සුදු අයියා වැනි චරිත කෙතරම් අප සමාජයේ සිටිනු ඇතිද? කෙතරම් මියගොස් ඇතිද? කෙතරම් ප්‍රමාණයක් අතුරුදන් වී ඇතිද? ඒ වගේම සුදු අයියාගේ මිතුරා තරම් කෙතරම් පිරිසක් රට පැන හෝ නොපැන ඒ අරගල විකුණා අද ජීවත් වනවා ඇතිද? මේ සියලු‍ චරිත සියලු‍ අරගල පසුබිමක් තුළම සිටුනු දැක කෙසේ සිත සනසාගන්නද? විටෙක අරගලයට කියා පන දුන් මිනිසුන් ගැන සිතා දුක් වන්නේද, විටෙක අරගලයට කියා කළ හැකි කිසිත් නැති තැන අසාධාරණ ලෙස ක්‍රියා කළ අය ගැන සිතන්නද? නැතිනම් දැන හෝ නොදැන කිසියම් කණ්ඩායමක ගොදුරු බවට පත් වී ඒ පව් ගෙවන හෝ ජීවිතයම අහිමි කරගත් අය ගැන සිතන්නද? මේ සියලු‍ චරිත එදා අද සේම හෙටද සිටිනු ඇත.

බබා නෝනා, ඇය රෙදි සෝදන රැකියාවක නිරතවන්නියකි. එවැනි රැකියා යනු හුදෙක් එක් රැකියාවක් පමණක් වුවද, සමාජ ක්‍රමයන් එදා සිට අද වනතෙක් එය විවිධ කුලවලට අයිති නැතිනම් සමාජය අප්පිරියක් නැතිව මුමුණන කුලයෙන් අඩු යයි කියන මිනිසුන්ගේ රැකියාවන්ය. පාංශු හුදෙක් අරගලයක ඇතුලාන්තයේ පවතින දේශපාලනය පමණක් නොව, එය වටකරගෙන සිටී සමාජ ක්‍රමයන්ද ඒ හා බැඳ දමා අපට විස්තර කර දෙයි. එයද හුදෙක් දකුණට පමණක් උරුම වූ දෙයක් නොව. එතැනින්ද මා 88/89 කාලය දුටුවේ නැත. මා එවැන් සමාජ ක්‍රමයන්හි දී පවා දුටුවේ අදත් වන්නියේ තම තරුණ දරුවන්, තම පුංචි දරුවන් නැතිනම් තම කාලත්‍රයා සොයා දෙන මෙන් ඉල්ලා බෝඞ් පිටුපස හුස්ම ගන්නා මව් පියවරුන්ය. නැතිනම් සිය මව, පියාගේ සෙහෙහස ලබා ගන්නට අසාවෙන් සිටින දරුවන්ය. තම සුදු අයියාගේ නඩුව ගැන කේන්තියෙන් සිටින සිය සහෝදරයා මෙන් වූ බොහෝ සහෝදරවරු ය. අදත් වන්නියේ නැතිනම් උතුරේ, නැගෙනහිර කුලවාදී දේශපාලකයින් ඉදිරියේ කතිරය ගසන මිනිසුන්ය. අදත් එවන් කුලවාදීන් නිසා බීමට වතුර අහිමිව සිටින වන්නියේ මිනිසුන්ය. එහෙත් අදත් මේ කුලවාදී දේශපාලකයින් ඔවුන්ගේ ජන්ද වෙනුවෙන් වේදිකාවල පමණක් අතුරුදන් වූ මිනිසුන් ගැන දුක් වන තතු අසා සිටින මිනිසුන්ය. බබා නෝනා වටා ඇති කුලවාදී පසුබිම තිරයෙන් දකින මගේ ඇස් ඉදිරියේ මේ සියලු‍ මිනිසුන් පෙනී කෝපයෙන්, අසීමිත පීඩනයෙන් මගේ සිත පිච්චීම චිත්‍රපටය බලන විටත්, බලා සති කිහිපයක් ගත වුවද කනස්සල්ලට පත් කරයි.

බබා නෝනා ගැන සිතා මා සතුටු වුණෙමි. ඇය දිරිය කාන්තාවකි. ඇත්තෙන්ම මා සතුටට පත්වන්නට කාරණය එය බව කීවොත්, එය මහා බොරුවක් වනු ඇත. ඔව්. ඇත්තෙන්ම මා බබා නෝනා ගැන සිතා සතුටට පත් වුණෙමි. ඇය අතුරුදහන් වූ සිය පුතු රැගෙන ගිය නිලධාරියා ඇසින් දැක තිබේ, ඇය සිය පුතු රැගෙන ගිය දිනද දන්නීය, ඇය සිය පුතුට සාධානය ඉල්ලා අදාළ තැන් කිහිපයකට ඉතා දුෂ්කරතා මධ්‍යයේ වුවද හෝ යෑමට දන්නීය. ඇයට සහය වීමට ඉඳ හිට හෝ යන එන නෑ පුතෙකු සිටියි, ඇය සිය පුතු බලාපොරොත්තුවෙන් නඩුවක් දැමීමට කාල අවකාශයක් සේම සමාජ දේශපාලන අවකාශයක් සහිත පරිසරයක ජීවත් වන්නීය, ඇය අතුරුදන් වූ සිය පුතුව ඉල්ලා කරන සටන නැතිනම් අරගලය ඇය වටා සිටින අසික්කිත දේශපාලකයින් විසින් විකුණන්නේ නැති පරිසරයක ජීවත් වන්නීය. ඔව්. බබා නෝනා ගැන සතුට වෙමි . ඒ බබා නෝනාගේ අරගලය නැතිනම් සෙනෙහස, කෝපය සහ අසරණකම තරදියක දා කිරා එය අඩු බව පැවසීමට නොව. ඇය දිරිය කාන්තාවක් බව සැබෑය. එහෙත් කෙතරම් අම්මාවරුන්, පියවරුන් සහ දරුවන් මේ සියලු‍ අවකාශ අහිමි වී වැලපෙන්නේද? එහෙත් අරලයක තවම අත් නොහැර සිටින්නේද? ඒ අතර පසු ගිය මාසයේ සිය පුතු සොයා දෙන මෙන් ඉල්ලා බෝඞ් එකක් පිටුපස හුස්ම ගත් මවකගේ හුස්ම නතර වී යාමද මතක් වේ.
පාංශු ඒ සියලු අරගල, ඒ සියලු‍ මිනිසුන් සේම සියලු දේශපාලන සංසිද්දී එක් පින්තූරයකට ගොනු කරමින් එහි සංකීර්ණතාවය අප ඉදිරියේ මුණ ගස්සවන, මතක් කරදෙනවා සේම සිත කලබලයට, කණස්සල්ලට නැතිනම් නිහඬතාවයකට පත් කරන සිනමා සිත්තමකි.

අධ්‍යක්ෂක- විසාකේස චන්ද්‍රසේකාරම්
-සිවලිංගම් අනුෂා

Leave A Reply

Your email address will not be published.

10 − four =