වකන්දාව, ආනවිලු‍න්දාව, බ්ලැක් පැන්තර් සහ ඩෝසර් !

පළමු ඡේදය
ඇමෙරිකානු චිත්‍ර කතාවක් ඇසුරෙන් නිර්මාණය කළ, ‘බ්ලැක් පැන්තර්’ නමැති හොලිවුඞ් චිත්‍රපටය ආවේ දෙදහස් දහඅට වර්ෂයේ දී ය. අප්‍රිකානු මහාද්වීපයේ තිබේ යැයි හැඟවෙන ‘වකන්දා’ නම් අබිරහස් රාජ්‍යයක් එහි වෙයි. ඔවුන් සතු මහා ධනය වූ කලී, වයිබ්‍රේනියම් නම් වූ සුවිශේෂී ලෝහයයි. වයිබ්‍රේනියම් උපයෝගී කරගෙන මිනිස් ඉතිහාසයේ දියුණුතම තාක්ෂණය ද,
වෛද්‍ය විද්‍යාව ද ඔවුහු නිර්මාණය කරති. මතුපිටින් දිළිඳු අප්‍රිකානු රාජ්‍යයක් සේ පෙනුණ ද, වකන්දාව තුළට – එහි රහස්‍ය කලාපය තුළට – වදින්නකුට, එහි ඇති සුවිශිෂ්ට තාක්ෂණය දැකගැනීමේ වරම් ලැබේ. ඔවුහු පරිසරයට පණ මෙන් ආදරය කරති. කඩාහැලෙන මහා දිය ඇලි පසුපස නවීන මහා ගොඩනැඟිලි සංකීර්ණ ඇත. සදාහරිත වනාන්තර මධ්‍යයේ ලෝකයා සිහිනෙන්වත් නොසිතන තරම් දියුණු විද්‍යාගාර තිබේ. එහෙත්, මේ වකන්දාව පාලනයක් ලෙස වැඩවසම් ය. එහි කිරුළ හිමි වන්නේ ලේ ඥාතීත්වයට පවුලේ උරුමයක් ලෙසිනි. වකන්දාවේ දේශපාලනය යනු පවුලක බල අරගලය ය. ඒ පවුලේ ඇතැමෙක් එක්සත් ජනපද ආයුධ වෙළෙන්දන් සමඟ සම්බන්ධ ය. ක්‍ෂ් සංවිධානය මෙන් ම එක්සත් ජාතීන් ද වකන්දාව ගැන සැලකිලිමත් ය.
දෙවැනි ඡේදය
‘බ්ලැක් පැන්තර්’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වන, ටී. චලා හෙවත් බ්ලැක් පැන්තර් ලෙස රඟපෑ චැඞ්වික් බෝස්මන්, සිය හතළිස් තුන් වියැති ජීවිතයට පසුගිය අගෝස්තු විසිඅට වැනිදා සමු දුන්නේ ය. දෙදහස් දහසයේ සිට මහා අන්ත්‍රයේ පිළිකා ප්‍රහාරයට මුහුණ දුන් ඔහුගේ ජීවිතය රැකගැනීම සඳහා වත්මන් වෛද්‍ය විද්‍යාව ගත් වෑයම සාර්ථක වූයේ නැත. මනෝරාජික වකන්දාවේ වයිබ්‍රේනියම් බල පරාක්‍රමය සිනමාවෙන් මෙපිටට නොආ හෙයින්, රංගනය, අධ්‍යක්ෂණය, පිටපත් රචනය ආදී ක්ෂේත්‍ර ගණනාවක හපන්කම් පෑ මේ තරුණයා, බ්ලැක් පැන්තර් සන්දර්භයෙන් කිවහොත්, සිය මුතුන් මිත්තන් සමග විවේකී සුවයෙන් ගත කරනු පිණිස කළු දිවි ආත්මයක් වෙත පිවිසෙනු වස් නික්ම ගියේ ය. කෑමෙන්, බීමෙන් පරෙස්සම් නොවී ම මෙන් ම ජානගත උරුමයක් ලෙස ද මහා අන්ත්‍ර පිළිකාව එන බව අන්තර්ජාලය පිරික්සීමෙන් දැනගත හැකි ය.
තුන්වැනි ඡේදය
ලංකාව වකන්දාවක් නොවේ. ඒ වයිබ්‍රේනියම් අර්ථයෙනි. ලංකාව වකන්දාවක් නොවන්නේ ද නොවේ. ඒ වැඩවසම් අර්ථයෙනි. අප්‍රිකානු වියළි කැලෑවල කළු දිවියන් පමණක් නොව සිංහයන් ද දැක්ක හැකි ය. ලංකාවේ සිංහයන් නැත. එහෙත්, සිංහරාජ නමින් සදාහරිත වනාන්තරයක් ඇත. ඒ මැදින් පාරක් කපන්නට යාමෙන් මහා ඝෝෂාවක් මතුව තිබේ. ලංකාගම නමැති ගමකට යන පාරක් ගැනත්, සිංහරාජයේ හැදෙන රාජ සිංහ පෝතකයකුගේ හෝටලයක් ගැනත් නිල නොවන මත පළවෙමින් තිබේ. ඒවා ඔප්පු කිරීමට ඔප්පු තිරප්පු නැතත්, ඇත්ත යුත්ත තේරෙනවුන්ට කැත්ත වදින පැත්ත ගැන කලින් කියන්නට පුළුවන. සිංහරාජය නිවෙන්නට කලින් ආනවිලු‍න්දාව පත්තු වී තිබේ. ‘ඔක්සිජන් මොකට ද’ අහන දේශපාලනයේ දී ‘රැම්සා තෙත් බිමක්’ යනු ‘ඉස්සන් කොටුවකි’. ලෝකය යනු මිනිසා හා පරිසරය ය. මිනිස් ජීවිතය යනු පරිසරය හා කෙරෙන මිත්‍ර අරගලය ය. දෙදහස් විස්ස යනු මිනිස් ඉතිහාසයේ අවදානම් ගත හැකි යුගයක් නොවේ. වනාන්තර තෙත් බිම් පණ මෙන් රැකගත යුත්තේ එබැවිනි. අන්න ඒ නිසා ඍධීෑ ඉන්නේ ඩෝසර්ට ප්‍රතිවිරුද්ධ පැත්තේ ය. වැඩවසම් නොවන වකන්දාවක වයිබ්‍රේනියම් දේශපාලනයක් වෙනුවෙන් අපි තව දුරටත් වෙහෙසෙන්නෙමු.
විමල් කැටිපෙආරච්චි

Leave A Reply

Your email address will not be published.

5 × 5 =