“එක නිර්මාණයකින් තෘප්තිමත් වෙන්න එපා”

උපේක්ෂා ඉමාලි ප්‍රේමරත්න-
කාලෙකට කලින් facebook සමාජ මාධ්‍යයේ ඉතාම ජනප්‍රිය වුණ ඉතාම කෙටි කවි වර්ගයක්. පාර තොටේ, පොඩි කැෆේවල, බස්වල ජනේල අසල කවුළුවල, ට්‍රැෆික් ලයිට් ගාව වැටිලා තිබිලා අහුලපු හැමෝගෙම අත්දැකීම්, පේළි තුන හතරකට කැටි කරපු මේ අපූරු කවි ලිව්වෙ සාහිත්‍යය තුළින් ජීවිතේ දිහා උපේක්ෂාවෙන් සහ ආදරයෙන් බලන උපේක්ෂා ඉමාලි ප්‍රේමතිලක. සිංහල කවියේ නව නම්‍යතා ගැන අපේක්ෂා දල්වපු ඒ කෙටි කවි ලියපු උපේක්ෂා මේ දිනවල ඇගේ තුන්වැනි පොත එළිදක්වන්න සූදානම් වී සිටිනවා.
අපි ‘ලංකා’ Rose අතිරේකය වෙනුවෙන් ඇයව කතාබහට එකතු කර ගත්තා.
ඔබේ තුන්වැනි පොත එළිදැක්වීම පේන මානේ තියාගෙන, අපි මේ කරන සාකච්ඡාවේ දී මම කැමැතියි මුලින්ම ඔබෙන් අහන්න, කිවිඳියක් විදිහට අපි දන්නා උපේක්ෂා ඉමාලි මේ රුයිත හාරත කතන්දර එක්ක කරන්නේ මොකක් ද කියන එක… ඇත්තට ම මොකක්ද මේ පොත ?
ඇත්තටම මේක කෙටිකතා පොතක්. මගේ අත්හදා බැලීමක් කිව්වොත් හරි. සුපුරුදු කෙටිකතාවලට වඩා දිගින් අඩුයි. මේ පොත වෙනස් ම දෙයක් වෙයි කියලා මං විශ්වාස කරනවා.
කාලෙකට කලින් ඔබ ලියූ ඉතාමත් කෙටි කවි පොත පත පරිශීලකයන් අතර ඉතාමත්ම ජනප්‍රිය වුණා. ඒ ආභාසයෙන් තවත් කවි ලියවුණා බොහෝ දෙනා අතින්. දැන් උපේක්ෂා කෙටි කවි ලියන්නේ නැති ද?
ලියනවා. ඒ වගේම ඉතාමත් කෙටි කතා පවා ලියනවා. දිගු කවිත් ලියනවා. කුමක් හෝ අනුභූතියක් එක්ක තමයි හැමදේම එකට ඒ ඒ විදිහට ගැළපෙන්නේ.
මට සතුටුයි මං නිසා කෙටිම කෙටි කවි ලිවීමේ සංස්කෘතියක් සමාජ මාධ්‍යවල ඇති වුණා සහ ඒ පිළිබඳව කතාබහක් ඇති වුණා කිව්වම.
ඒකත් පළමුවැනිවර අත්හදා බැලීමක්. ඒක කොච්චර සාර්ථක ද කියනවා නම් කෙටි කවි ලියන උපේක්ෂා කියලා සමහරු මාව හඳුන්වා දෙන බව මා දන්නවා.
අපි දකිනවා වර්තමානයේ බොහෝ දෙනා පොත් ලියනවා. විශේෂයෙන්ම සයිබර් අවකාශයේ කාලයක් ලියමින් සිටි පිරිස් පොත් එළිදක්වනවා. ඔබත් මුලින්ම සාහිත්‍යකරණයට පිවිසුණේ සයිබර් අවකාශය හරහා ද?
ඔව්. කුඩා කල පටන් මම සාහිත්‍යය ඇසුරු කරමින් තමයි කල්ගෙව්වෙ. ස්වභාවයෙන්ම නිහඬ කෙනෙක් නිසා මම පොත් පත් බහුල වශයෙන් ඇසුරු කළා.
කවි, කතන්දර, නිසඳැස් පවා ලියවුණා. ඒත් ඒ හැමදේම ඔපමට්ටම් වෙන්න මුහුණු පොත බලපෑවා කියලා කිව්වොත් ඒක නිවැරදියි.
මුලින්ම මුණගැහුණු යාළු‍වන් විදිහට රසිකා, තුෂාරිකා, සමර, රුවන් බන්දුජීව, ධනුෂ්කා, කොග්ගලගේ වැනි ඇසූපිරූ තැන් ඇති කවීන්.ඔවුන් සමඟ ආශ්‍රයෙන් කවිය තවත් මුවහත් වුණා.
ඒ දවස්වල නිඳිවරාගෙන කවි පැදුරු පවා ලිව්වා. දැන් කාර්ය බහුලතාව නිසා කවි පැදුරු මඟහැරුණත් අපි අතර බැඳීම එහෙමම තියෙනවා.
සයිබර් අවකාශයෙන් පළමු මුද්‍රිත කවි පොත ‘හිතේ කෙටූ ටැටූ’ ඒක ඉන්දික ගුණවර්ධනගේ පොතක්. දෙවැන්න ‘වීනාවී’ සුලක්ඛනාගේ. තුන්වැනි පොත ‘පළිඟු‍ කැට’ 2012දීයි නිකුත් වූයේ.
ඒ නිසා මා සයිබර් නිර්මාණකාරියක් ලෙස හැඳින්නුවාට වරදක් නෑ.
සාහිත්‍ය ලෝකයට අලු‍තෙන් පිවිසෙන අයට ඔබ දෙන පණිවිඩය කුමක් ද?
සතතාභ්‍යාසයේ යෙදෙන්න. එක් නිර්මාණයකින් තෘප්තිමත් වෙන්න එපා. සයිබර් අවකාශයේ නම් කමෙන්ට්, ෂෙයාර්ස්, ලයික්ස් වැඩි වූ පමණින් නිර්මාණයක හොඳ, නරක තීරණය කරන්න බැහැ කියන දේ තේරුම් ගත යුතුයි. හොඳ සාහිත්‍ය කෘති කියවන්න. සන්දේශ කාව්‍යන්ගෙන් හරි කමක් නැහැ.
අද වෙද්දී හුඟක් නිර්මාණකරුවන් වචන හිඟතාවකින් පෙළෙනවා. ඒක නිසා එකම රාමුවකට කොටු වෙච්ච එකම වචන ටිකක් ඇති නිර්මාණ බිහි වෙනවා. කියවීමෙන් අපේ මනසේ අලුත් වචන තැන්පත් වෙනවා. ඒ අනුව හොඳ නිර්මාණ කරගෙන යන්න අවකාශය සැලසෙනවා.
අවසාන වශයෙන්, ඔබේ ‘රුයිත හාරත කතන්දර’ එළිදැක්වෙන දිනය, තැන සහ වේලාව ගැනත් අපි මතක් කරමු.
එළිදැක්වෙන දිනය සැප්තැම්බර් 13, වේලාව සවස 3.00ට තරංගනී ශාලාවේ දී. ‘රුයිත හාරත කතන්දර’ ස්ටෝරීස් ප්‍රකාශනයක්.
පොත ගැන යමක් කියනවා නම්, කල්පනා, අනිල් සහ ප්‍රභාත් නිසයි මේ කෘතිය බිහි වුණේ. ඉරෝෂන් සහ ‘ස්ටෝරීස් පබ්ලිකේෂන්’ හිමිකරු සනෝජ් නැති නම්, මේ නිර්මාණ පොතක් ලෙස එළියට ඒම තවත් කල් යන්න තිබුණා.
ඒ නිසා ඒ හැම දෙනාටම හදවතින්ම ස්තූතියි කියන්න මා මෙය අවස්ථාවක් කර ගන්නවා.
ස්තූතියි ‘ලංකා’ පුවත්පතටත් මා මෙවන් කතාබහක් සඳහා එක් කර ගත්තාට.
සංවාද සටහන – සඳිනි ප්‍රර්ථනා තෙන්නකෝන්

Leave A Reply

Your email address will not be published.

1 + 12 =