ජෝර්ජ් ඕවල් විසින් ලියන ලද අග්‍ර කෘතිය ‘1984’

1984 නවකතාව ප්‍රකට ලේඛක ජෝර්ජ් ඕවල් විසින් ලියන ලද ඔහුගේ අග්‍ර කෘතිය ලෙසින් සැලකිය හැකිය. වාම මතවාදී ඉවුරක රැඳී හුන් දෘඪ මානවවාදියෙක් වුවද ඕවල් එපමණටම කවර හෝ ආකාරයක අධිකාරවාදයන් පිරි හෙළා දුටු ලේඛකයෙක් විය. වඩා ජනප්‍රිය වූයේ ඔහුගේ Animal Farm නවකතාවයි. හාස්‍ය රසය මූලික ආඛ්‍යානයක් වූ එහි යටිපෙළ බරපතළ දේශපාලන කරුණක් සාකච්ඡා කරන ලද්දකි. 1984 කෘතිය එකී දෘෂ්ටියේම ඉගැඹුරු ප්‍රකාශනයක් ලෙස ගිණිය හැකිය.
1984 කෘතියෙන් ඔහු පාලක පක්ෂයක් විසින් දෘෂ්ටිවාදීව ගඩ්ඩරිකා ප්‍රවාහයක් ලෙසින් මිනිසුන් මෙහයවන ආකාරය සිතියම්ගත කරයි. එහිදී යථාර්ථය යනුවෙන් ස්වභාවික යමක් ඇත්තේ නැත. පක්ෂය විසින් මිනිසුන් උදෙසා යථාර්ථයක් නිර්මාණය කරනු ලබයි. එය ඝනීභූත සත්‍යයක් ද නොවේ. ජනතාව වෙනුවෙන් පක්ෂය-රාජ්‍යය- මොහොතක් පාසා යථාර්ථය නිෂ්පාදනය කරනු ලබයි. (සමකාලීන මාධ්‍ය Propaganda මතින් යථාර්ථය නිර්මාණය කරන ආකාරය සිහියට නගාගන්න) එකී ලෝකයේ 2+2 හි පිළිතුර යනු 4 නොවේ. ඕනෑම මොහොතක වෙනස් විය හැකි දෙයකි. පක්ෂය විසින් එය තීරණය කරනු ලබයි.
ලේඛකයා මෙකෘතිය නිර්මාණය කරනු ලබන්නේ ඔහුගේ අවසන් කෘතිය ලෙසින් 1948 වර්ෂයේදී ය. මේ පශ්චාත් දෙවැනි ලෝක යුද සමය යන්නද අමතක කළ නොහේ. මෙහි කතා සන්දර්භය දිවෙන්නේ ලේඛකයා පුරෝකථනය කරන ලද ලෝකයක් මතිනි. කෘතියට අනුව ලෝකය කොටස් තුනකට බෙදී පාලනය වනු ලබයි. සමකාලීන ලෝකය බෙදී ඇති කොටස් ගැන සැලකූ කළ ඔහුගේ පුරෝකථනද අසාධාරණ නොවේ. කොයි හැටි වෙතත් ඔහු 2+2=4 යනුවෙන් කීමට ඇති නිදහස වෙනුවෙන් පෙනී සිටි ලේඛකයාය. කවර හෝ අත්තනෝමත අධිකාරවාදයකට එරෙහිව පෙනී සිටි ලේඛකයාය. මේ එහි එන පරිච්‍ඡේදයක උපුටනයක් පහත දැක්වෙයි.
‘‘ කුමන නමකින් හඳුන්වන ලද්දේ වුවද මින් ඉදිරියට හැම දේශපාලනවාදයක්ම, පන්ති ස්තර තහවුරු කරන, දැඩි සේ පාලිත සමාජයක් කරා යොමුවන්නට විය. නඩු විභාග නැතිව අත්අඩංගුවට ගැනීම, යුද සිරකරුවන් වහලුන් ලෙස යොදා ගැනීම, පාපොච්චාරණය ලබා ගැනීමට වද හිංසා කිරීම, ප්‍රසිද්ධියේ මරණීය දණ්ඩනයට පත් කිරීම, යුද සිරකරුවන් යොදා ගෙන දේශපාලන වාසි ලබා ගැනීම, අතිවිශාල ජනකායක් එකවිට උගුළුවා වෙනත් පළාත්වලට දැක්කීම වැනි සිරිත් නැවතත් එළියට ආවා පමණක් නොව තමන් ප්‍රගතිශීලී හා ප්‍රබුද්ධ කියා ගත් අය, c ඒවා නිවැරදි උපාය මාර්ග යැ යි කියමින් ඒවාට පක්ෂපාතව කතා කරන්නටද පටන් ගත්හ. පුදුමය වන්නේ මෙවැනි කටයුතු සමාජ විරෝධී යැයි බොහෝ කාලයකට සිටම බැහැර කර තිබූ ඒවා වීමය.‘‘
ප්‍රගතිශීලීත්වය නියෝජනය කරමින් පාලකයන් බවට පත් වූවන් ම මෙසේ කිරීම ගැන ය, ජෝර්ජ් ඕවල් වඩාත් කතා කරන්නේ. සෝවියට් සමාජවාදය යටතේද මෙසේ සිදු නොවූයේ ද? සමකාලීන රතු පැහැ තවරාගත් චීනය යටතේද පූර්වෝක්ත ඡේදයේ පරිදි කටයුතු සිදු නොවෙන්නේද?
මේ කෘතියේ පැනෙන අදහස සහ කදිමට සමපාත වන රූපවාහිනී කතා මාලාවක් ලෙස පසුගිය කාලයේ ලොව පුරා මහත් කථාබහට ලක් වූ Chernobil රූපවාහිනී කතාංග මාලාව හැඳින්විය හැකිය.
යුක්රේනයේ චර්නොබිල් ප්‍රදේශයේ (එවකට සෝවියට් සමූහාණ්ඩුවට අයත්) න්‍යෂ්ටික බලාගාරයේ වූ පිපිරුම පිටුපස කතාව මෙම නිර්මාණයට පාදක වී තිබේ. 1980 දශකයේ අගභාගය යනු සෝවියට් සමාජවාදයේ ද ජරපත් යුගයයි. ඉනුදු දශකයකට පසුව එය සහමුලින්ම බිඳ වැටුණි. කෙසේ වෙතත් chernobil නිර්මාණය තුළින් අප 1984 උපුටා පෙර කියූ අත්තනෝමතික අධිකාරවාදයන් මුළු මහත් ලෝකයම භීෂණයට පත් කරන අයුරුත් තමන්ගේ ම වූ යථාර්ථයක් වෙනුවෙන් මොන තරම් වුව මිලක් ගෙවන්නට සූදානම්ව සිටින අයුරුත් දක්නට හැකිය. 1984 සිටින වින්ස්ටන් වෙනුවට චර්නොබිල්හි සිටින්නේ ලොගසොව් නම් මහාචාර්යවරයෙකි. චර්නොබිල්හි යථාර්ථය ගැන පක්ෂයේ නිෂ්පාදිත යථාර්ථය වියානාහිදී ලොවට කියන ඔහු පසුව සැබෑ යථාර්ථය හෙළිදරව් කර දිවි නසා ගනියි. යථාර්ථය වසන් කර සෝවියට් සම්මානය ගෙලවට පළඳවා ගනු වෙනුවට ලොගසොව් පැළඳගන්නේ තොණ්ඩුවකි. සොක්‍රටීස් වස බඳුන තෝරාගන්නේ කුමක් නිසාද? අසත්‍යයට වඩා වසබඳුනෙහි ඇති හළාහල විස රසවත් නිසා නොවේද? මිනිසත් බවේ සිට නොමිනිසත් බව දක්වා වන ඉර ඇඳී ඇත්තේ වසබඳුන් සහ මළපුඩු අතරිනි. නිලධරවාදයක් බවට ඌණනය වූ සමාජවාදී අධිකාරවාදය එතරම් බියකරු නම් ෆැසිස්ට්වාදී අධිකාරවාදය කෙතරම් බියකරු වනු ඇද්ද?
-සඳුන් ප්‍රියංකර විතානගේ
The truth doesn’t care about our needs or wants.

Leave A Reply

Your email address will not be published.

5 × 4 =