භූ කම්පන වික්ටෝරියාට කුමක් නොකරයි ද?

දිනය අගෝස්තු 29 ය. වේලාව රාත්‍රී 8.00ට පමණ විය. මහනුවර දිස්ත්‍රික්කයේ හාරගම ප්‍රදේශයේ වික්ටෝරියා ජලාශයට යාබදව පිහිටි ගම්මාන කිහිපයකට විශාල ශබ්දයක් සමඟ දෙදරීමක් දැනෙන්නට විය. මෙම ප්‍රදේශය මහනුවර නගරයේ උප නගරයක් ලෙස ශීඝ්‍රයෙන් සංවර්ධනය වන්නකි. අභාවප්‍රාප්ත මහාචාර්ය පී.ඩබ්ලිව්. විතානගේ මහතාගේ නිවස ද මෙම ප්‍රදේශය ආසන්නයේ පිහිටා තිබේ.
මහාචාර්ය විතානගේ ගැන විශේෂයෙන් සඳහන් කළේ පොළොව දෙදරීම සහ භූ විද්‍යාව අතර ඇති සම්බන්ධය නිසා ය. ඔහු මෙරට සිටි කීර්තිමත්ම භූ විද්‍යාඥයෙකි. මහවැලි ව්‍යාපාරයේ භූ විද්‍යාව සම්බන්ධයෙන් උපදේශකයකු ලෙස ද ඔහු සේවය කළේ ය. මධ්‍යම කඳුකරය තුළ විශාල ජලාශ ඉදි කිරීම සම්බන්ධයෙන් මහාචාර්යවරයා විසින් විවිධ මත ඉදිරිපත් කර තිබේ. එයින් ප්‍රධාන වනුයේ, වික්ටෝරියා ජලාශ ප්‍රදේශයේ ඇති භූ පැළුම් පිළිබඳවත්, එම පැළුම් මත ඉදි කරන කොන්ක්‍රීට් වේල්ල පිළිබඳවත් පළ කර ඇති මත ය. මෙම පැළු‍ම් හේතුවෙන් මවු පාෂාණය කුට්ටිවලට වෙන් වී, ඒ මත ජලය පිරෙන විට සහ නියං කාලවල දී වතුර සිඳී යාම හේතුවෙන් ඒ මත යෙදෙන ජල පීඩනය උපරිම සහ අවම වේ. මේ හේතුවෙන් එම පස් කුට්ටි
ඉහළ-පහළ යා හැකි බවත්, එමඟින්
හටගන්නා කම්පන ජලාශයේ ස්ථායීතාවට යම් බලපෑමක් ඇති කළ හැකි බවත් මහාචාර්යවරයා පැවසී ය. මේ ආකාරයේ චලන හේතුවෙන් හට ගනු ලබන භූ කම්පන, ප්‍රේරණ භූ කම්පන ලෙස හඳුන්වනු ලැබේ.
මේ හේතුව නිසාම මධ්‍යම කඳුකරයේ ඉදි කරනු ලැබූ වික්ටෝරියා, කොත්මලේ, රන්දෙනිගල ආදී ජලාශ ආශ්‍රිතව මෙම භූ කම්පනවලින් ඇති වන බලපෑම් පිළිබඳව නිරීක්ෂණයට භූ කම්පන මාන සවි කරන ලදී. ජලාශ ඉදි කොට, වසර කිහිපයකට පසු මෙම කම්පන මාන ගලවා ඉවත් කර තිබේ. ලෝකයේ බොහෝ රටවල කඳුකරයේ හෝ භූ කම්පන බහුල ප්‍රදේශවල ජලාශ ඉදි කිරීමේ දී ඒවායේ ස්ථායීතාව නිරීක්ෂණය කිරීම සඳහා භූ කම්පන මාන සවි කිරීම අනිවාර්යයෙන්ම සිදු වේ. ඉන් පසු දිගටම ඒවා නිරීක්ෂණය කිරීම සහ පවත්වාගෙන යාම ද සිදු වේ. ඉහත කී ප්‍රේරණ භු කම්පන හේතුවෙන් ලෝකයේ විශාල ජලාශ විනාශ වී ගිය බවට ද සාක්ෂි තිබේ. උතුරු ඉන්දියාවේ පිහිටි මෙවැනි ජලාශවල පෙර කී භූ කම්පන මාන විශාල වශයෙන් සවි කර ඇත.
අගෝස්තු 29 වැනි දින සිදු වූ භූ කම්පනයෙන් පසු පසුගිය සැප්තැම්බර් 02 දින ද පෙරවරු 7.06ට පමණ පෙර කී ප්‍රදේශයේ තවත් භූ චලනයක් සිදු විය. ඒවාට විවිධ හේතු මාධ්‍ය මඟින් ප්‍රචාරය කෙරිණි. එහෙත් මාධ්‍ය ඒ හේතු දැක්වූයේ කිසිදු විධිමත් අධ්‍යයනයකින් තොරව ය. මේ පිළිබඳව අධ්‍යයනය කළ භූ විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ පල්ලෙකැලේ සවි කර ඇති භූ කම්පන මානයේ සිට කිලෝමීටර් තුනක් දුරින් පිහිටි හාරගම ප්‍රදේශයේ මෙම කම්පන සිදුව ඇති බවයි. එනම් වික්ටෝරියා වේල්ලේ බැම්මට ආසන්නව ය.
රට අභ්‍යන්තරයේ සහ රට ආසන්න මුහුදේ සිදු වන භූ කම්පන අධ්‍යයනය සඳහා දැනට මහකනදරාව, බුද්ධංගල සහ හක්මන යන ප්‍රදේශවල භූ කම්පන මාන සවි කර ඇත. පල්ලෙකැලේ භූ කම්පන මානයෙන් විශේෂයෙන්ම රට තුළ සිදු වන භූ කම්පන පිළිබඳ දත්ත
රැස් කෙරේ.
මේ කාලය යනු වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් අඩු වන කාලයකි. එවිට පෙර කී පාෂාණ කුට්ටි මත යෙදෙන ජල තෙරපුම අඩු වීම හේතුවෙන් ඒවා සුළු වශයෙන් චලනය විය හැකි බවත්, මේ නිසා කුඩා භූ කම්පන සිදු විය හැකි බවත් භූ විද්‍යාඥයන්ගේ අදහසයි. මේ කම්පන දෙකම වික්ටෝරියා වේල්ලට තරමක් ආසන්නව, කිලෝමීටර් හයක පමණ දුරකින් සිදුව ඇත. පසුගිය ආණ්ඩු සියල්ල පෙර කී භූ කම්පන මාන
නැවත සවි කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කර නැත. එම නිසා මේ භූකම්පන පිළිබඳ අධ්‍යයනය කොට භූ කම්පන මාන කඩිනමින් සවි කිරීමට කටයුතු කළ යුතු ය. ඒවා නිරීක්ෂණයට සුදුසු නිලධාරීන් පත් කළ යුතු ය. අගෝස්තු 29 දා සහ සැප්තැම්බර් 02 දා ලැබුණු සංඥා තේරුම් ගත යුතු ය.
-අසංක කරුණාරත්න

Leave A Reply

Your email address will not be published.

three + seventeen =