ආර්ථිකය සෘණ තත්ත්වයට වැටෙයි

මෙරට ආර්ථික වර්ධන වේගය මෙම වසරේ සෘණ අගයක් ගනු ඇති බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඉදිරිපත් කර තිබූ පුරෝකතනයට විරුද්ධ ස්ථාවරයක සිටි ශ්‍රී ලංකා මහ බැංකුවේ පුරෝකතන වැරැදි බව සනාථ වී මුළු කාර්තුවේ ආර්ථික වර්ධන වේගය සෘණ 1.6ක් වී ඇත.
ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවයෙන් විකාශනය කෙරෙන ‘සුභාරතී’ වැඩසටහනට පසුගිය 02 වැනිදා එක් වූ මහ බැංකුවේ අධිපති, මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්‍ෂ්මන් මහතා මේ බව සනාථ කළේ ය. නව රජයක් බලයට පත් වී රට ගොඩනැඟීමේ ආර්ථික ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කර තිබෙන පසුබිමක් තුළ ආර්ථික වර්ධන වේගය යහපත් වනු ඇති බව කල්පනා කළ ද, අනපේක්‍ෂිත ලෙස ගෙවී ගිය මුල් කාර්තුවේ පවා ආර්ථික වර්ධන වේගය සෘණ අගයක් ගත් බව ඔහු පිළිගත්තේ ය. කොරෝනා බලපෑම හමුවේ රට සම්පූර්ණයෙන් ම වසා තිබූ දෙවැනි කාර්තුවේ සෘණ අගයක් ලැබීම අපේක්‍ෂා කළ බව ද එහි දී කියා සිටියේ ය.
මේ අතර ආර්ථික විශ්ලේෂකයන් විසින් සඳහන් කර තිබුණේ, විදේශ ණය වාරික සහ පොලී ගෙවීමට නොහැකි තත්ත්වයක් පිළිබඳව අගමැතිවරයා ඉන්දියාවේ දී ලෝකයට ම ප්‍රකාශ කිරීම සහ කොළඹ කොටස් වෙළෙඳපොළ දෙදිනක් තුළ… දෙවරක් අසීමිතව කඩාවැටී වසා දැමීමට සිදු වීම වැනි කරුණුවලින් කොරෝනාවට පෙර ආර්ථිකය සෘණ අගයක් ගනු ඇති බවට තහවුරු වී තිබුණේ යැයි සඳහන් කර ඇත. එසේ ම වත්මන් ආණ්ඩුවේ පාලනයට මුලපුරමින්, 2019 නොවැම්බර් මස අවිද්‍යාත්මකව අසීමිත ලෙස බදු සහන ලබා දී තිබීම ද ආර්ථිකය සෘණ අගයක් ගැනීමට වක්‍රාකාරව බලපා ඇති බව සඳහන් කර ඇත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මුල සිට ම මෙරට ආර්ථික වර්ධන වේගය සෘණ අගයක් ගනු ඇති බවට කරුණු සහිතව දක්වා තිබුණත්, ශ්‍රී ලංකා මහ බැංකුව එය නොසලකා හැර තිබුණේ, පැවැති මැතිවරණයේ දී ආණ්ඩුවට බලපෑමක් ඇති වීමේ අවාසිදායක තත්ත්වය වසන් කිරීමට දැයි බරපතළ සැකයක් මතු වන බව ආර්ථික විශේෂඥයෝ පෙන්වා දී ඇත. මෙරට ආර්ථිකයේ සත්‍ය පුරෝකතන මුල් කරගෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකා මහ බැංකුව අතර මතගැටීමක් නිර්මාණය වී තිබිණි.
මහ බැංකු අධිපතිවරයා සහභාගී වූ එම වැඩසටහනේ දී පෙන්වා දෙන ලද්දේ වසරේ මුල් කාර්තු දෙකට ම අදාළ සෘණ අගයක් ගත්ත ද, වසර අවසාන වන විට ආර්ථික වර්ධන වේගය අඩු තරමින් බින්දුවේ (0) මට්ටමේ හෝ රඳවා ගැනීමට අපේක්‍ෂා කරන බව ය.

Leave A Reply

Your email address will not be published.

15 + 17 =