කොළඹ වරාය නගරයේ මූර්ති හා පවුරු සැලසුම් කිරීමට සිසුන්ට අවස්ථාව

කොළඹ වරාය නගරය (Port City Colombo) සිය ඉදිරි ගමනේ තවත් සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ‘අනාගතයක දැක්ම’ නමින් වෙරළ මූර්ති නිර්මාණ තරගයක් ආරම්භ කිරීමට පසුගිය දා කටයුතු කළේ ය. මෙරට නවක නිර්මාණ ශිල්පීන් ඉලක්ක කරගෙන දියත් කර ඇති මෙම වැඩසටහන මඟින් සුවිශේෂී වෙරළ මූර්ති  Beach Sculpture සහ සන්නිවේදන පවුරක් (Interactive Wall) නිර්මාණය කිරීමට එම ශිල්පීන්ට අවස්ථාව හිමි වනු ඇත.

මෙම තරගය කොළඹ වරාය නගරයේ සමාරම්භක වැඩසටහන් මාලාවේ එක් අංගයක් වන අතර, මෙම ව්‍යාපෘතියේ සුවිශේෂී අංග ලෙස ලොව පුරා ජනතාවගේ ආකර්ෂණය දිනාගන්නා, ශ්‍රී ලාංකික අනන්‍යතාව කැටි කර ගත් ස්මාරක එකතුවක් නිර්මාණය කිරීම මෙහි මූලික අරමුණ වී තිබේ. මේ වන විට කොළඹ වරාය නගරය තුළ මූලික අදියර කිහිපයක් යටතේ පොදු වෙරළතීර හා උද්‍යාන වැනි අංග ඉදි කෙරෙමින් පවතින අතර, ඊළඟ අදියර ලෙස මෙම මූර්ති එකතුව සහ සන්නිවේදන පවුර ඉදි වනු ඇත. COVID-19 වසංගත තත්ත්වය හමුවේ පැනවීමට සිදු වී ඇති සීමාවන්ට අනුගත වෙමින්, මෙම තරගාවලිය මුළුමනින්ම www.envisionthefuture.lk වෙබ් අඩවිය ඔස්සේ පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

නිර්මාණ සැලසුම් සම්බන්ධයෙන් මඟපෙන්වීම සඳහා Academy of Design සමඟ එක්වෙමින් සහ කලා ක්ෂේත්‍රයේ නිල සහකරු ලෙස ARTRA සඟරාව සමඟ අත්වැල් බැඳගනිමින් ක්‍රියාත්මක කරනු ලබන මෙම තරගයට එක් වී තම හැකියාවන් උරගා බලන මෙන් කොළඹ වරාය නගර ව්‍යාපෘතිය මෙරට නවක නිර්මාණ ශිල්පීන්ට හා ශිල්පිනියන්ට ආරාධනා කර සිටී. මෙරට හෝ විදේශ විශ්වවිද්‍යාලයක ලියාපදිංචි වී කලා, ගෘහ නිර්මාණ, නිර්මාණ සැලසුම්, ඉංජිනේරු සහ/හෝ වෙනත් නිර්මාණාත්මක විෂය ක්ෂේත්‍රයක් යටතේ ප්‍රථම හෝ පශ්චාත් උපාධි හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මෙම තරග සඳහා සහභාගි විය හැක. 2019/2020 අධ්‍යයන වර්ෂය තුළ තම උපාධි පාඨමාලා සම්පූර්ණ කළ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ද මේ සඳහා අයැදුම් කළ හැකිවේ. තරගකරුවන්ට තනි තනිව හෝ කණ්ඩායම් වශයෙන් ඉදිරිපත් විය හැකි අතර (ඉදිරිපත් කළ හැකි උපරිම සැලසුම් සංඛ්‍යාව 2කි), කණ්ඩායමක් වශයෙන් ඉදිරිපත් වන්නේ නම් සාමාජිකයන් සංඛ්‍යාව 3කට සීමා විය යුතු ය.

ජයග්‍රාහී සැලසුම් සඳහා රුපියල් 7,00,000.00කට වැඩි වටිනාකමකින් යුත් මුදල් ත්‍යාග හිමි වනු ඇති අතර, එම සැලසුම් කොළඹ වරාය නගර පරිශ්‍රයේ වෙරළ තීරයේ ඉදි කෙරෙනු ඇත. එමෙන්ම අදාළ කාණ්ඩවල ජයග්‍රහණය ලබා ගන්නා පුද්ගලයන්ට හෝ කණ්ඩායම්වලට, අදාළ නිර්මාණය ඉදි කිරීම සඳහා සී.එච්.ඊ.සී. පෝර්ට් සිටි කලම්බු (පෞද්.) සමාගම [CHEC Port City Colombo (Pvt) Limited] විසින් තෝරා ගනු ලබන ජාත්‍යන්තර ඉදි කිරීම් සමාගම් සමඟ එක්ව කටයුතු කිරීමට අවස්ථාව හිමි වේ●

 පුෂ්ප එපිටකඩුව

Leave A Reply

Your email address will not be published.

one × one =