මේක ලෝ බජට් රටක් 

-කෞශල්‍ය කුමාරසිංහ

නිම්නාගේ ඉතිහාසය ගැන කතා කරන්න කලින් කව්වාගේ ඉතිහාසය කතා කරමු ද? කෞශල්‍ය කුමාරසිංහ සාහිත්‍ය කලාව පැත්තට ආවෙ කොහොම ද?

මං සාහිත්‍යයට ප්‍රවේශ වීම කියන එක අහඹු බවකට වඩා කිසියම් ආකාරයක සමාජයීය දෛවයක් වගේ බෝරිං දෙයක් කියලයි මට හිතෙන්නෙ. මං උපදින කොටම අපේ ගෙදර පොත් විශාල ප්‍රමාණයක් තිබුණා සහ තාත්තා විසින් මං ගොඩක් පොඩි කාලෙම කියවීමට ඇති ආශාව හදනවා. වචනවලට ඇති ආශාව හරියට ඇති වුණාම කියවීමෙන් විතරක් නවතින්නෙ නැහැ නෙ, ඊට පස්සෙ ලියන්නත් ඕන වෙනවා. මං වැඩි කාලයක් ඉගෙන ගත්ත නාලන්දා, ආනන්ද වගේ ඉස්කෝලවලත් සාහිත්‍ය කලාවන්ට ඉඩ දෙන පරිසරයක් තිබුණෙ. මතවාදීව ඒ ඒ අවකාශයන්ගේ සීමාවන් තිබුණා වුණත් කලාව ප්‍රැක්ටිස් කරන්න ලොකු ඉඩක් තිබුණා. අනිත් වැදගත්ම දේ පාසල් කාලෙ පටන් මට මුණගැහෙන සාහිත්‍යයට හා කලාවට අනුරාගීව බැඳුණු මිතුරන් මිතුරියන්. ඔවුන් තමයි තාත්තගෙන් පසු මගේ විවේචකයන් හා විචාරකයන් වෙන්නෙ. ඒක මාව නිර්මාණය කර ගන්න ගොඩක් බලපානවා. ඉන්පසුව ‘එක්ස්’ කණ්ඩායමේ සමාජ, දේශපාලන මැදිහත්වීම් නිසා මං හිටපු කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයෙන් මට නොලැබුණු දැනුම හා හැදෑරීම පිළිබඳ උනන්දුවක් ඇති වෙනවා. ඒ ඔස්සේ ලෝකය හා ජීවිතය දෙස වෙනස් ආකාරයෙන් බැලිය හැකි විවිධ කවුළු හමුවෙනවා. එක්ස් කණ්ඩායමට මොන තරං විවේචන තිබුණත්, කලාව, සාහිත්‍යය දෙස බරපතළ ලෙස බලන්න ඒක ගොඩක් බලපෑවා. ඉන් පසුව සමාජ මානව විද්‍යාව ඔස්සේ පශ්චාත් උපාධිය සඳහා ඉගෙන ගන්න යන එංගලන්තය හා ඉන්දියාව තුළ මට හමු වන දියුණු සංස්කෘතික පරිසරය හා මිතුරු මිතුරියන් නැවතත් මට දැඩිව බලපානවා. ඉතිං මගෙ ඉතිහාසයත් ඔය විදිහට දිගටම සිද්ධ වෙනවා.

‘මේ රහස් කවුළුවෙන් එබෙන්න’ උත්සාහ කරන්නෙ යම් විදිහකට පශ්චාත් යුද ලංකාවේ කොළඹ කියන අවකාශය දිහා තරමක් ඉක්මන් බැල්මක් හෙළන්න. ඒ අවකාශය තුළ විවිධ සමාජ ස්ථර අතර සම්බන්ධය හා විසම්බන්ධය නව මධ්‍යම පන්තිය කේන්ද්‍ර කරගෙන දකින්න. ඒ වගේම මේ යුගය තුළ විවාහය, ප්‍රේමය හා ආශාව වැනි කලාපවල ඇති වන චලනයන් වටහා ගන්න. ‘නිම්නාගේ ඉතිහාසය’ තුළ උත්සාහ කෙරිලා තියෙන්නෙ, මේ යුගය තුළ අපි අත්විඳින ආත්මීයත්වයේ වෙනස්කම් ඓතිහාසික ප්‍රවාහයක් තුළට ඇතුළු කරලා වටහා ගන්න. මේ නිසා නිම්නාගේ උපතේ සිට අවුරුදු 25ක් වෙනකම් ගත වෙන කාලය ඇතුළේ සියවසක පමණ කතාවක් කැටි වෙලා තියෙනවා.

ලංකාවේ සංස්කෘතික වැඩ, කලාව සහ මිත්‍රත්ව සංසද අතර පුදුම සම්බන්ධයක් තියෙනවා නේ ද? කෞශල්‍ය කොහොමද ඒක කියවන්නේ ?

ඔව් එහෙම දෙයක් තියෙනවා. එක පැත්තකින් ලංකාව කියන්නෙ භූගෝලීයව ගොඩක් පොඩි ඒ වගේම කුඩා ජනගහනයක් ඉන්න දූපතක්. ඉතින් එකම ඉතිහාසයන් පහු කරපු ගොඩක් අය එකම තැන්වල නතර වෙලා තියෙනවා. ඒ නිසා වැඩ කරද්දී යාළුවොත් එක්ක වැඩ කරන, එකිනෙකාට උදවු කරන සංස්කෘතියක් හැදිලා තියෙනවා. සමහර වෙලාවට මේ මිත්‍රත්ව කුලකයන්ට හරියට ඇතුළු වෙලා ඒවා හොඳට නඩත්තු කරන අයට ඉතා පහසුවෙන් කලාකරුවන් හැටියට සමාජගත වෙන්නත් පුළුවන්. මේක මෙහෙම වෙන්න කලාව තුළ විධිමත් ව්‍යුහයන් හරියට ගොඩනැඟිල නැති එකත් බලපානවා. ඒ වගේම දුප්පත්කමත් බලපානවා. අපි ලෝ බජට් රටක්. සංගීතයට, සාහිත්‍යයට, සිනමාවට, වේදිකාවට මේ හැම දේකටම ප්‍රවේශ වෙන කෙනකුට යන්න වෙන්නෙ වෘත්තීයමය පාරක නෙමේ මේ හිතමිත්‍ර සංස්කෘතියේ පාරේ. අපි සමහර වෙලාවට අලුත් දක්ෂයො වෙනුවට පරණ යාළුවොත් එක්කම වැඩ කරනවා. පරණ යාළුවන්ටම තැන දෙනවා. විධිමත් ව්‍යුහයන් ගොඩනැඟිච්ච රටක මේ හිතමිත්‍ර සංස්කෘතියට කලාවේ ගුණාත්මක බවට කරන්න පුළුවන් බලපෑම අවමයි කියලයි මං හිතන්නෙ. මේ කොහොම වුණත්, මිත්‍රත්වයන්ගේ තියෙන සුන්දරත්වය අපේ ජීවිතවලට ගැලවෙන්න බැරි සෞන්දර්යයක් අරං එනවා. සමහර වෙලාවට ඒ සෞන්දර්යයම අපේ කලා භාවිතයන්ගේ සීමාවත් සලකුණු කරනවා. සමහර වෙලාවට වඩා දියුණු නිෂ්පාදනීය මිනිස් සම්බන්ධකම් බවට මේ මිත්‍රත්වයන් පත්වෙන්නත් මේක බලපානවා.

‘මේ රහස් කවුළුවෙන් එබෙන්න’ සිට ‘නිම්නාගේ ඉතිහාසය’ දක්වා එනකොට ඔබට මුණගැහුණු ජීවිතය ගැන යමක් කියන්න.

‘මේ රහස් කවුළුවෙන් එබෙන්න’ උත්සාහ කරන්නෙ යම් විදිහකට පශ්චාත් යුද ලංකාවේ කොළඹ කියන අවකාශය දිහා තරමක් ඉක්මන් බැල්මක් හෙළන්න. ඒ අවකාශය තුළ විවිධ සමාජ ස්ථර අතර සම්බන්ධය හා විසම්බන්ධය නව මධ්‍යම පන්තිය කේන්ද්‍ර කරගෙන දකින්න. ඒ වගේම මේ යුගය තුළ විවාහය, ප්‍රේමය හා ආශාව වැනි කලාපවල ඇති වන චලනයන් වටහා ගන්න. ‘නිම්නාගේ ඉතිහාසය’ තුළ උත්සාහ කෙරිලා තියෙන්නෙ, මේ යුගය තුළ අපි අත්විඳින ආත්මීයත්වයේ වෙනස්කම් ඓතිහාසික ප්‍රවාහයක් තුළට ඇතුළු කරලා වටහා ගන්න. මේ නිසා නිම්නාගේ උපතේ සිට අවුරුදු 25ක් වෙනකම් ගත වෙන කාලය ඇතුළේ සියවසක පමණ කතාවක් කැටි වෙලා තියෙනවා.

නිම්නා කියන්නෙ 1989දී සමානාත්මතාව කේන්ද්‍ර කර ගත් සමාජවාදී කඳවුරේ සංකේතීය බිඳවැටීමෙන් පස්සෙ පුද්ගල නිදහස කොන්දේසි විරහිතව අධිනිශ්චය වෙන අලුත් සියවසකට ඉපදෙන කෙනෙක්. එයා ජීවිතය අත්විඳින විදිහ වටහා ගන්න එයාට කලින් පරම්පරාවල අය අත්වින්ද විදිහ කැඩපතක් විදිහට පාවිච්චි කරන්නයි මේකෙදි මං උත්සාහ කරල ඇත්තෙ. අපි ස්වාභාවිකයි, සාමාන්‍යයි කියල හිතන දේවල් ඓතිහාසිකත්වයක ප්‍රවාහයකට ඇතුළු කළහම අපිට ඒවා වෙනස් විදිහට පේන්න ගන්නවා.

සාහිත්‍යකරණය, දේශපාලනය සහ මානව විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රීය අධ්‍යයනයන් අතර සීමා මායිම් සලකුණු කර ගන්නේ කොහොම ද? ඒවා එකිනෙකට අතිපිහිත වෙන තැන් තියෙනව ද?

සාහිත්‍යයේ දී අපි කරන්නෙ ලෝකය තුළ පැවැත්ම සෞන්දර්යාත්මකව රාමුගත කරන්න හදන එකනෙ. අපි ලෝකය අත්විඳින ආකාරය අනුව අපේ පරිකල්පනය විසින් සමාන්තර ප්‍රබන්ධ යථාර්ථයක් ගොඩනඟන එක තමයි, නවකතාවෙ හෝ කෙටිකතාවෙ සිද්ධ වෙන්නෙ. ඒ ප්‍රබන්ධ යථාර්ථයන් කියවීමෙන් අපිට ලෝකය හා ජීවිතය පිළිබඳ අවබෝධයක් ලබන්න පුළුවන් සෞන්දර්යාත්මක රසවිඳීමකුත් එක්ක. මානව විද්‍යාව කරන්නෙ නිශ්චිත කාල අවකාශයක තියෙන සමාජ ප්‍රපංචයන් ඉතා සමීපව නිරීක්ෂණය කරමින්, න්‍යායික රාමු භාවිත කරමින් එය වටහා ගන්න උත්සාහ කරන එක. උදාහරණයක් හැටියට මේ යුගයේ නිර්වාණය ගැන ඇති වී ඇති උනන්දුව වටහා ගන්න නං මානව විද්‍යාඥයෙක් වලස්මුල්ලේ අභය වැනි භික්ෂුන් වහන්සේ නමක් කේන්ද්‍ර කරගෙන ඇති වන කුඩා භික්ෂු සමාජ මුණගැහිල ඔවුන් සමඟ ඉතා සමීපව සාකච්ඡා කරමින් කරුණු එකතු කරන්න වෙනවා. ඒ වගේම ඒ කරුණු ඔස්සේ න්‍යායික ප්‍රවර්ග ගොඩනඟන ගමන් දැනටමත් ගොඩනැඟුණු න්‍යායික ප්‍රවර්ග එක්ක සංවාදයකට යන්න වෙනවා. සාහිත්‍යකරුවෙක් මේ උනන්දුවෙන් ලෝකය අත්විඳිනවා නං ඒක විසින් ඔහුගේ පරිකල්පනය තියුණු කරනවා. කොහොම වුණත්, සාහිත්‍යකරුවෙක් කියන්නෙම යම් ආකාරයකට සමාජ මානව විද්‍යාඥයෙක්. ඒ නිසා මානව විද්‍යාවත් සාහිත්‍යය තුළ ලෝකය නිරූපණය වී ඇති ආකාරය ගැන උනන්දු වෙනවා. දේශපාලනය කියන්නෙ සමාජයේ පවතින සීමාවකට දක්වන ප්‍රතිචාරයක්. දේශපාලනය ගැන උනන්දුව පදනම් වෙන්නෙම කිසියම් සමාජ අයුක්තියක් ගැන ඇති වන සංවේදනයක් මත. දේශපාලනයේ දී හිට ගන්න ස්ථානය මත ලෝකය දකින විදිහ වෙනස් වෙනවා. නමුත්, සමහර සමාජයීය ගැටලු යථාම ස්වරූපයෙන් දැකගන්න දේශපාලනය තුළ අපි ස්ථානගත වෙන තැන හරිම වැදගත්. සමහර වෙලාවට එහෙම ස්ථානගත වුණාම දර්ශනයට හෝ සමාජ මානව විද්‍යාවට වඩා යථාවාදීව ගැටලු තේරුම් ගන්න දේශපාලනයට පුළුවන්. ඒ නිසා සාහිත්‍යයට දේශපාලනය අතිශය වැදගත්. ඒ වගේම ගැටලුවල සියුම්තා දැකගන්න සාහිත්‍යය හා සමාජ මානව විද්‍යාව වැදගත් වෙනවා දේශපාලනයට. මේ තුනම එකිනෙකා අන්‍යොනව පෝෂණය කරනවා.

2020න් ඉක්බිති ලංකාව ගැන ඔබේ කියැවීම මොකක් ද?

ලෝකය තුළ ගත්තත් අපිට පේන දෙයක් තමයි, මේ යුගය තුළ ධනවාදය තව දුරටත් ප්‍රජාතාන්ත්‍රික අගයන්ට ගරු කරන්නෙ නැහැ කියන එක. බ්‍රසීලයේ බොල්සොනාරෝ, ඉන්දියාවෙ මෝදි හෝ ඇමෙරිකාවෙ ට්‍රම්ප්, රුසියාවෙ පූටින් මේ ආදී වශයෙන් බැලූ බැලූ අත තියෙන්නෙ මීට පෙර ධනවාදය තුළ කිසියම් මට්ටමක තිබුණු ලිබරල් ප්‍රජාතාන්ත්‍රික අගයන් තුට්ටුවකට මායිම් නොකරන පාලනයන්. අපිට ලංකාවෙත් ඉදිරියේ දී බලාපොරොත්තු වෙන්න වෙන්නෙ මේකම තමයි. අපේම වූ අගයන් සහිත අක්‍රමවත් ධනවාදී පාලනයක්. මේකෙදි අපි කලින් සමාජය සුරකින අගයන් හැටියට දැකපු දේවල් සමාජ විරෝධී දේවල් බවට පත් වෙනවා. උදාහරණයකට පරිසරය රැකගැනීම කියන එක පරිසර ත්‍රස්තවාදය වෙනවා. මානව හිමිකම් රටට එරෙහි කුමන්ත්‍රණ වෙනවා. ඉදිරියේ දී නිදහස් අධ්‍යාපනය හෝ නිදහස් සෞඛ්‍යය රැකගැනීම වැනි දේ පවා බහුතරය විසින්ම සමාජ විරෝධී දේ හැටියට නම් කරන්න පුළුවන්. නමුත්, මේ ක්‍රියාවලිය තුළ යම් කාලයක් ගත වෙද් දී තමන් අසාධාරණයට ලක් වුණා කියල හිතන ප්‍රජාවන් බිහි වෙනවා. එතැන දී ඒ විවිධාකාර අසහනයන් දේශපාලන ව්‍යාපෘතියක් තුළට සුසම්බන්ධ කළ හැකි දේශපාලන ව්‍යාපාරයක් තිබුණොත් ඒක විසින් පවතින පාලනය අභියෝගයට ලක් කරාවි. දැනට එවැන්නක් නැහැ. මේ නිසා මේ තත්ත්වය සැලකිය යුතු කාලයක් පවතියි. කොහොම වුණත් දේශපාලනය කියන්නෙ අනිශ්චය දෙයක්.

 

සංවාදය නිසල් ජයතිලක

Leave A Reply

Your email address will not be published.

eighteen + eleven =