රාජපක්ෂවරුන්ගේ අභිලාෂය හා ජනතා අභිලාෂය

අලුත් ආණ්ඩුවේ පළමු කටයුත්ත ව්‍යවස්ථාව වෙනස් කිරීම ය. විසිවැනි සංශෝධනය ලෙස එය නම් කර ඇත. මොන අංකය යෙදුවත්, එහි අරමුණ පැහැදිලි ය. එනම්, එය තනි පුද්ගලයකු මත බලය කේන්ද්‍රගත වන ක්‍රමයකි. ජේ.ආර්. ජයවර්ධන එදා එවැනි ව්‍යවස්ථාවක් හැදුවේ තමන්ට ඕනෑ ඕනෑ දේවල් කර ගන්නට ය. තමන්ගේ ම පක්ෂයේ මන්ත්‍රීවරුන් රූකඩ බවට පත් වූයේ ඊට අනුව ය. හයෙන් පහක බලයක් පාර්ලිමේන්තුවේ තිබුණත්, සියලු දෙනා ම රූකඩ විය. එකිනෙකාගේ ඉල්ලා අස් වීමේ ලියුම් පවා තිබුණේ, ජේ.ආර්. ළඟ ය. පොඞ්ඩක් හරි සද්දයක් දැම්මොත්, පහුවදා ම එළියට වැටෙන්නේ ය.

එදා ලැබුණු ජනවරම නිසා ම හැමෝ ම අකමැත්තෙන් වුවත්, සද්ද නැතිව සිටියහ. 1983දී පවත්වන්නට තිබුණු මහා මැතිවරණය කල් දැමුවේ එකී බලය යොදා ගනිමින් ය. දකුණේත්, උතුරේත් තරුණයන්ගේ තිබූ සියලු අයිතිවාසිකම් යටපත් කරවූයේ එකී බලහත්කාරය විසින් ය. අවසානයේ රට තුළ දිග්ගැස්සුණු ජාතිවාදී යුද්ධයක් ද, සිවිල් යුද්ධයක් ද නිර්මාණය විය. ජේ.ආර්. ගේ ඒකාධිපති ව්‍යවස්ථාවෙන් දහස් ගණනකගේ ජීවිත විනාශ විය. අවුරුදු ගණනාවකට ගොඩනැඟිය නොහැකි ලෙස දේපළ විනාශයට පත් විය. මුළු රට ම ඇවිදින කැරකෝප්පුවක් වූයේ ය. ආපසු හැරවිය නොහැකි විනාශයකට රට තල්ලු කළේ ය.

දහනවය භාවිතාවට නැඟිය යුතුව තිබුණේ, මෛත්‍රී – රනිල් හවුලට ය. දෙදෙනාගේ ම වූ දේශපාලන බලපොරය විසින් එහි තිබූ බොහෝ සාධනීය දේවල් යටපත් විය. මොවුන් දෙදෙනාගේ තිබූ දුර්වලතා සියල්ල දහනවය පිටින් ගියේ ය. ඇත්තට ම අවුල තිබුණේ, දහනවයේ නොවේ ය. දෙන්නාගේ කුළල් කා ගැනීම්, පක්ෂ දෙකේ කුළල් කා ගැනීම් සියල්ල දහනවය පිටින් ගියේ ය. ජනතාවට ඒත්තුගැන්වුණේ ද අවුල ඇත්තේ, දහනවයේ බව ය. පහුගිය මෛත්‍රී – රනිල් පාලනයේ වූ සියලු අරාජිකත්වයන්, දුර්වලතාවන්, අස්ථාවරත්වයන් දහනවය පිටින් යැව්වේ ය. ජනතාවත් යම් තරමකට එය එසේ යැයි සිතූහ.

මේ නිසාම එයට එරෙහිව දැවැන්ත ජනතා මතයක් නිර්මාණය විය. ජේ.ආර්. ගේ ව්‍යවස්ථාව ගේන්න මුල් වුණු යූඑන්පීය ම එය වැරැදි යැයි කිව්වේ ය. පක්ෂ, විපක්ෂ හැම දෙනාගේ ම පොදු මතය වූයේ ඒකාධිපති පාලනයකට ඉඩ හදන එම ව්‍යවස්ථාව වෙනස් කළ යුතු බව ය. ඒ නිසා ම 1994දී බලයට පත් වූ චන්ද්‍රිකාගේ ප්‍රධාන පොරොන්දුව වූයේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ය. ඉන් පසු බලයට පත් වූ සෑම නායකයකුගේ ම ප්‍රධාන පොරොන්දුව එය වූයේ ය. එහෙත්, ඒ පුටුවේ වාඩි වුණු හැම කෙනාම එම පොරොන්දුව කැඩුවේය. ව්‍යවස්ථාවේ යම් හෝ සාධනීය වෙනස්කමක් වූයේ ඇති වුණු දේශපාලන අර්බුද තුළින් ය. පළමුවැන්න විධායක බලය අඩු කරන දහහත් වන සංශෝධනයයි. එදා පැවැති පොදු පෙරමුණු ආණ්ඩුවේ බිඳවැටීම පාවිච්චි කරමින්, ජනතා විමුක්ති පෙරමුණේ මැදිහත් වීමෙන් එය සිදු විය. ලංකාවේ ඉතිහාසයේ පළමු වතාවට ස්වාධීන කොමිෂන් සභා පිහිටු වූයේ එයට අනුව ය. පහුගිය කාලයේ ක්‍රියාත්මක වුණු මැතිවරණ කොමිෂන් සභාව එහි ම දිගුවකි. සාමකාමී, නිදහස් මැතිවරණයක් පවත්වා ගත හැකි වූයේ ඒ මඟිනි. ජනතාවගේ පැත්තෙන් එකී පියවර විශාල ජයග්‍රහණයකි.

එනමුත්, රාජපක්ෂ පාලනය දහහත වෙනුවට දහඅට ගෙන එමින්, එකී ජනතා ජයග්‍රහණය ආපස්සට හැරවූයේ ය. තනි පුද්ගලයකු සියල්ල මෙහෙයවන තත්ත්වය නැවත ඇති කළේ ය. එය කෙළවර වූයේ මුළු රටේ ම ආර්ථිකය තනි පවුලක පාලනයට යටත් වීමෙන් ය; දූෂිත පවුල් පාලනයකට පාර කැපීමෙන් ය. නැවත ජනතාවට එය එපා වූයේ අත්දැකීම් ගණනාවක් සමඟින් ය.

කවුරු හෝ පුද්ගලයකු සංකේතය ලෙස යොදා ගනිමින්, ඒකාධිපති වියරුව පරාජය කළ යුතු බවට ජනතාව පෙළගැසුණහ. මෛත්‍රීපාල සිරිසේන නමැත්තා ආදේශ වුණේ ඒකට ය. එහි සැබෑ ජනතා අරමුණ වූයේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ය. එනමුත්, පාර්ලිමේන්තුවේ පැවති බලතුලනයේ තත්ත්වය විසින් අහෝසි කිරීම වෙනුවට එහි බලතල කප්පාදු කරන තත්ත්වයට පසුබැස්සේ ය. දහනවය ආවේ ඊට අනුරූපීව ය. දහහතේ තිබූ අඩුපාඩු දුරලමින්, වඩාත් සාධනීය පියවරක් ලෙස එක් මන්ත්‍රීවරයකුගේ හැර අනෙක් බහුතරයේ කැමැත්ත එයට ලැබිණි. ප්‍රජාතන්ත්‍රවාදයේ තවත් සාධනීය ජයග්‍රහණයක් ඉන් ජනතාවට ලබා ගත හැකි විය.

අවාසනාවකට දහනවය භාවිතාවට නැඟිය යුතුව තිබුණේ, මෛත්‍රී – රනිල් හවුලට ය. දෙදෙනාගේ ම වූ දේශපාලන බලපොරය විසින් එහි තිබූ බොහෝ සාධනීය දේවල් යටපත් විය. මොවුන් දෙදෙනාගේ තිබූ දුර්වලතා සියල්ල දහනවය පිටින් ගියේ ය. ඇත්තට ම අවුල තිබුණේ, දහනවයේ නොවේ ය. දෙන්නාගේ කුළල් කා ගැනීම්, පක්ෂ දෙකේ කුළල් කා ගැනීම් සියල්ල දහනවය පිටින් ගියේ ය. ජනතාවට ඒත්තුගැන්වුණේ ද අවුල ඇත්තේ, දහනවයේ බව ය. පහුගිය මෛත්‍රී – රනිල් පාලනයේ වූ සියලු අරාජිකත්වයන්, දුර්වලතාවන්, අස්ථාවරත්වයන් දහනවය පිටින් යැව්වේ ය. ජනතාවත් යම් තරමකට එය එසේ යැයි සිතූහ. එසේම සිතුවේ නැති වුණත්, අර දුර්වල පාලනය එපා වී තිබිණි. එය පෙරළා දැමුවේ දහනවය ගැන තිබූ අවබෝධයකට වඩා එය එපා වි තිබුණු නිසාවෙනි. ආර්ථිකය මුළුමනින් ම කඩාවැටෙමින් තිබිණි. ඒ නිසා ම සියලු ජනතාව පීඩාවට පත් වූහ. සියල්ලට ම වඩා ජනතාවගේ ආරක්ෂාව බිඳවැටී ගියේ ය. ‘කන්න නැතත්, රටක් තියෙන්න ඕනෑ’ යන තැනට ජනතාව පත් වුණේ ඒ අනුව ය.

තම තමන්ගේ පෞද්ගලික ජීවිතවල ආරක්ෂාව සඳහා උත්තරයක් අවශ්‍ය විය. යාන්තම් හෝ කාලා, ඇඳලා ඉන්න පුළුවන් ආදායමක් ලැබෙන ආර්ථිකයක් අවශ්‍ය විය. ජනතාවගේ සැබෑ අරමුණ වූයේ පැවති අරාජික ආණ්ඩුව වෙනුවට තමන්ගේ ජීවත් වීමේ ප්‍රශ්නයට උත්තරයකි. එනම්, බඩගින්න, විරැකියාව, සෞඛ්‍යය, අධ්‍යාපනය, ආරක්ෂාව වැනි දැවෙන ප්‍රශ්නවලට සැබෑ උත්තරයකි. කොටින් ම ගතහොත්, සැබෑ අභිලාෂය වූයේ වඩාත් හොඳ සුරක්ෂිත ආර්ථිකයක් තුළ ජීවත් වීම ය. ඒ අභිලාෂය වෙනුවෙන් තුනෙන් දෙකේ බලයක් සහිතව ම ඡන්දය ලබා දිණි. එනම්, ආයෙ බැහැ කියන්න බැරි වෙන විදියේ බලයක් ලබා දිණි.

ජනතාවගේ අභිලාෂය එය වූවාට රාජපක්ෂ පවුලේ අභිලාෂය එය නොවේ ය. ඔවුන්ගේ අභිලාෂය චිරාත් කාලයක් වැඩවසම් පවුලක් ලෙස පාලනය හෙබවීම ය. අපේ රටේ වන පසුගාමීත්වය පාවිච්චි කර ගනිමින්, තනි පවුලකට බලය ලබා ගැනීම හා පවත්වාගෙන යාම ය. සියල්ලට කලින් විස්ස ගෙන එන්නට හදිසි වන්නේ ඒකට ය. එදා 2010 ඡන්දෙ දිනපු ගමන් මහින්ද කළෙත් ඔය ටික ම ය. එනම්, 17 ඉවත් කරලා 18 ගෙන ඒම ය. උණු උණුවේ, අලුත් පිට, පළමුවැනි වතාවට පාර්ලිමේන්තුවට ආපු මන්ත්‍රීවරුන් හයක් හතරක් නොතේරී ඡන්දය දෙන්නේ එකී අරමුණට ය. දහඅටට අත උස්සපු බොහෝ අය පස්සේ කනගාටු වූහ. ජාතියෙන් සමාව ද ගත්හ. එහෙත්, එතකොට අස්සයා ඉස්තාලයෙන් පැනලා ගිහින් ය. දැන් මේ කරන්නෙත් ඒක ම ය. ව්‍යවස්ථා සභා, ස්වාධීන කොමිෂන් සභා සියල්ල ඩෝසර් කිරීම ය. නැවත පරණ තත්ත්වයට යාම ය. චිරාත් කාලයක්, පරම්පරා ගණනාවක් රාජපක්ෂ පවුලට බලය එන ලෙස ව්‍යවස්ථාව වෙනස් කර ගැනීමය.

ජාතිවාදය හා ආගමික අන්තවාදය පාවිච්චි කර ගනිමින්, ජනතාව නොමඟ යැව්වේ මේකට ය. ඒ සියල්ල පාවිච්චි කර ගත්තේ, ජනතාව වෙනුවෙන් නොව තමන් වෙනුවෙන් ය. මේ වෙලාවේ ජනතාවට මෙය බරපතළව දැනෙන්නේ, තේරෙන්නේ නැත. ඔටුන්න පැළඳ වූයේ තමන්ගේ ම හිස ගසා දමා ගනිමින් ය යන්න තේරෙන්නේ තව කල් ගිය විට ය●

ජගදාක්ෂි

Leave A Reply

Your email address will not be published.

four − two =