ආයුබොවන්ඩ අමරවීර,

තමුන්නැහැ පරිසරය සුරැකීමේ දැවැන්ත වියාපුරුතියකට අත ගහලා තියෙන බව දැනගන්ඩ ලැබුණා. කාලෙ බෝතල් එකතු කිරීමේ ඒ යෝද වැඩසටහන සිරි ලංකාවේ එතෙක් -මෙතෙක් දියත් කෙරුණු අයිතිහාසික පරිසර විප්ලවය බවට පත් වෙනවා නොඅනුමානයි. ඔහේගේ ඔය මසුරන් අයිඩියා එකට පින්සිද්ද වෙන්ඩ මෙච්චර කාලයක් කවුරුවත් තුට්ටුවකටවත් මායිම් නොකරපු බෝතල් – පත්තර එකතු කිරීමේ රස්සාවට හොඳ කාලයක් උදා වෙනවා ඒකාන්තයි.

ඇත්තටම ඇමතිතුමෝ අතිබහුතරයකගේ කැමැත්ත දිනාගෙන පිහිටවපු මුන්නැහැලගෙ බලගතු ආණ්ඩුවෙ විද්දියාත්මක කරමෙට පත් කොළා ය කියන කැබිනෙට්ටුවෙ තමුන්නැහැටත් පැවරිල තියෙන්නෙ ලේසිපහසු වගකීමක් නෙවේ. බෝතල් කුප්පියේ හිටන් සොපින් බෑග් දක්වා වූ සකලමනා කුණු කන්දල් සුද්ද පවිත්තර කොරලා සිරිලංකා බූමිය ලෝකෙන්ම උතුම් රට බවට පත් කිරීමේ බාරදූර රාජකාරිය ඔහේට පවරන්න ඇත්තේ මෛත්‍රිත් එක්ක එකතු වෙලා සිරිලංකා නිදහස් පක්සෙට ඔහේ බොක්කෙන්ම දීපු සුද්දෙට ගරු කිරීමක් හැටියට වෙන්ඩ ඕනා නේ ද?

ඇත්තටම ඇමතිතුමෝ, මේ අලුත් විද්දියාත්මක ඇමති පට්ටන් කොරමය යටතේ මුන්නැහැගෙ ඇමතිකොමට අයිති වපසරිය එහෙම කොහොම ද කියල මෙලහකට ගැසට් පත්තරේ කාරිය කියවල හොඳට තේරුන් – බේරුන් කොරගෙන ඇති මයෙ හිතේ. මොකද ඔහේගේ අමාත්තියාංසෙ හතර මායිං ගැන හරිහමං විදිහට දැනකියාගෙන නොහිටියොත්, අහක යන නයි ඇවිත් ඇඟේ දැවටෙන්න පුළුවන්.

නිකමට කල්පනා කොරල බලන්ඩ අමරවීර මැතිතුමෝ… දැන් අර ආනවිලුන්දාව ඉස්සන් කොටුව එහෙමත් නැත්තං සිංහරාජෙ මැදින් කැපෙනවා ය කියන පාර වගේ සංවර්ධන වියාපුරුතිවලින් පරිසරයට හානියක් වෙනවද නැද්ද කියන එක ගැන අවසන් තීරණේ ගැනීමේ අයිතිය මුන්නැහැට තියෙනව ද කියලා. ඒ වගේම විල්පත්තු කැලේ කැපිල්ලට හරි මනංපිටියෙ වැලි ගොඩ දැමිල්ලට හරි ඔහේගේ හෙන්චයියලා දෙතුන් දෙනෙකුට පෝමිට් කඩදාසි කෑල්ලක්වත් නිකුත් කිරීමේ ඇහැක්කොමක් තියේ ද කියලා. ඒ විතරක් නෙමේ ආයිබොවන්ඩ, මහා බලගතු බහුජාතික සමාගමක් ඇවිත් අක්කර දහස් ගාණක් ඩෝසර් කොරලා වැට මායිම් දාන කොට නිකමටවත් ඒ දිහාට ඇහැක් පොවන්න අයිතියක් ගරු ඇමතිතුමාගේ විසයපතයට ඇතුළත් වෙලා තියෙනව ද කියලා.

මනුස්සයන්ට හුස්ම ගන්ඩ ඔක්සිජන් නැතුවට කමක් නැත ය, පොඩි පාරක් කපා ගත්තට සිංහරාජෙට හෙන ගහනව ද, සාගරයක් වගේ තියෙන ගඟකින් වැලි ටිකක් හාරා ගත්තම පොළොව ගිලා බහිනව ද, පරිසරකාරයො ගහන පදේට අපි නටන්නෙ මක්කට ද? වගේ කරුණු – කාරණා ගැන මනා දැනුමක් සහිත සකල සරීරය පුරා මොළේ පැතිරුණ විද්වත් මැති – ඇමති ගාලක් එක්ක වැඩ රාජකාරි කොරනකොට අමරවීර මොන පොරක් ද කියලා තමුන්නැහැටම හිතෙනවා ඇති නේද ආයිබොවන්ඩ. මක්ක වුණත් දැන් ඉතිං අනං මනං ටෝක්ස් දාන්ඩ ගිහින් ලොකු තැන්වලින් කැපිල්ලක් ආවොත් එහෙම මයිත්තිරි උතුමාණන්ට අත් වෙච්ච ඉරණමටත් අන්ත එකකට තමා නේද මුන්නැහැටත් මූණ දෙන්ඩ සිද්ද වෙන්නෙ.

ඒවා කොයි හැටි වුණත් අමරවීර මහත්තයෝ, පරිසර බාරකාරයා හැටියට මුන්නැහැ මේ දවස්වල ටිකක් පරිස්සන් වෙන එක නං නුවණටහුරුයි. මොකද? අර කන්ද උඩරට පැත්තෙන් ඇරඹිල තියෙන පොළොව හෙල්ලුන් කෑම බැරිවෙලාවත් මැදමුලන පැත්තටත් පැතිරුණොත් හෙම ඒකෙ වගකීමත් ඔහේගේ කරපිට පැටවෙන්න හොඳටම ඉඩ තියෙන හන්දයි●

විශ්ව මිත්‍ර

Leave A Reply

Your email address will not be published.

10 + 16 =