“සියලු බලය යළි ගෝත්‍ර නායකයෙකු අතට පත්වීමක් දැකිය හැකියි”

“ආණ්ඩුවේ 20වැනි සංශෝධනය රට ශිෂ්ටත්වයෙන් අශිෂ්ටත්වයට ගෙනයන්නක්. සියලු බලය යළි ගෝත්‍ර නායකයෙකු අතට පත්වීමක් දැකිය හැකි” යැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක අද පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේ දී පැවති මාධ්‍ය හමුවකට සහබාගි වෙමින් මේ අදහස් පල කළේය.

“ආණ්ඩුවේ 20වැනි සංශෝධනය දැන් ගැසට් කොට තිබෙනවා. අප රට මුහුණ දෙන මූලික ගැටලුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යැයි අප විශ්වාස කරන්නේ නැහැ. ඒ නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සංශෝධනය කිරීමෙන් හෝ නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමෙන් රටේ ජනතාව මුහුණදී තිබෙන ජීවත්වීමේ ගැටලුව, නීතියේ විධානය නොමැති වීමේ ගැටලුව, ඔවුන්ගේ දෛනික ජීවිතයේ ගැටලු ආදී මූලික ගැටලු විසඳිය හැකියැයි අපි විශ්වාස කරන්නේ නැහැ. එහෙත් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව රටේ මූලික නීතියයි. කැමති වුවත් අකමැති වුවත් අප පුරවැසියන් ලෙස යටත් නීතිය වන්නේ එයයි. ඒ නිසා මෙම මූලික නීතියේ සිදුකරනු ලබන වෙනස් කිරීමක්, එකතු කිරීමක්, ඉවත්කිරීමක් මගින් රටේ නීතියට විශාල ලෙස බලපානු ලබන වෙනස්කම්වලට හේතුවෙනවා.”

“ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව, නීති පද්ධති, ආයතන ව්‍යුහයන් ගොඩනැගුණේ හුදු පුද්ගල මනඃකල්පිත ලෙස නෙමෙයි; මානව ශිෂ්ටාචාරය තුළ සිදුකරන ලද අරගල, සටන්, සාකච්ඡා මගිනුයි. ඉතිහාසය තුළ ගෝත්‍ර යුගයේ සියල්ල ගෝත්‍ර නායකයා විසින් තීරණය කළා. අද පවතින අර්ථයෙන්ම නොවුණත් විධායක, ව්‍යවස්ථාදායක හා අධිකරණ බලය ගෝත්‍ර නායකයා විසින් ක්‍රියාත්මක කළා. එහෙත් මිනිස් ඉතිහාසය තුළ මේ අත්තනෝමතිකත්වයට එරෙහි අරගල හා දාර්ශනික අදහස් නිසා ලෝකය නිදහස් තැනක් බවට පෙරළුණා. ලෝකය අශිෂ්ටත්වයේ සිට ශිෂ්ටත්වය කරා ආවා.”

“නමුත් ආණ්ඩුව විසින් මේ යෝජනා කර තිබෙන 20වැනි සංශෝධනය මගින් මානව සමාජය ශිෂ්ටත්වයේ සිට අශිෂ්ටත්වය කරා යනවා. සියලු බලය යළි ගෝත්‍ර නායකයෙකු අතට පත්වීමක් දැකිය හැකියි. ඊට නිදසුන් ගණනාවක් මෙම 20වැනි සංශෝධනය තුළ අඩංගු වෙනවා. පාර්ලිමේන්තුව වෙනම ජන වරමක් මගින් පත්කරනු ලබනවා. එහෙත් නව සංශෝධනය අනුව පාර්ලිමේන්තුව පත්වී වසරක් ගතවූ පසුව විසුරුවා හැරීමේ බලය ජනාධිපතිවරයා අතට පත්වෙනවා.”

“පවතින ව්‍යස්ථාව අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ අගවිනිසුරු ඇතුළු විනිසුරුවරුන්, අභියාචනාධිකරණයේ සභාපති ඇතුළු විනිසුරුවරුන්, නීතිපතිවරයා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාවට පැවරී තිබූ බලය මෙම සංශෝධනය මගින් එම සමස්ත පත්කිරීමේ බලය ජනාධිපතිවරයා විසින් පවරා ගනු ලැබ තිබෙනවා. අධිකරණ සේවා කොමිෂන් සභාවේ සභාපති හැර සෙසු සාමාජිකයින් පත්කිරීමේ බලයද ඔහු විසින් පවරා ගනු ලැබ තිබෙනවා. සැබැවින්ම එහි නිල බලයෙන් සභාපති වන්නේ අගවිනිසුරුවරයායි. 19වැනි සංශෝධනයට පෙර ජනාධිපතිවරයාට මේ බලය තිබුණා. සේලාන් බැංකුවේ වැඩකරමින් සිටි සභාපතිවරයා අගවිනිසුරුවරයා බවට පත් කරනු ලැබුවේ ඒ කාලයේයි. මෙය අධිකරණයේ බලය මුළුමනින්ම ජනාධිපතිවරයා අතට ගැනීමක්.”

Leave A Reply

Your email address will not be published.

5 × 3 =