මිනිස් ජීවිත ගැන ද නොසලකන ගුවන්තොටුපොළ රේඩාර් වංචාව

පසුගිය ආණ්ඩු සමයේ ගුවන් තොටුපොළ සහ ගුවන්සේවා (ශ්‍රී ලංකා) සමාගම විසින් පිදුරුතලාගල කඳු මුදුනේ ස්ථාපිත කර ඇති වසර 20ක් පමණ පැරණි රේඩාර් පද්ධතිය සවි කර ඇති ස්ථානයේම ද්විතියික පද්ධතියක් වශයෙන් තවත් රේඩාර් පද්ධතියක් ස්ථාපිත කිරීමට තීරණය කරනු ලැබීය. ඒ සඳහා අංක 027/ඔ/2018 යටතේ 2018 වර්ෂයේ ඔක්තෝබර් මස 15 දින අවසන් වන පරිදි ටෙන්ඩර් කැඳවීමක් සිදු කෙරිණ.

එම ටෙන්ඩර් කැඳවීමට අනුව රේඩාර් පද්ධතිය ඉදි කිරීම සඳහා ප්‍රංශයේ තලේස් සමාගම, ස්පාඤ්ඤයේ ඉන්ද්‍රා සමාගම සහ ඉතාලියේ ලෙනාඩෝ සමාගම යන ලෝක ප්‍රකට ගුවන් තාක්ෂණ සේවා සැපයුම් සමාගම් විසින් ඔවුන්ගේ ලංසු ඉදිරිපත් කරන ලදී. එම සමාගම් තුන අතුරින් අඩුම ලංසුව ඉදිරිපත් කරනු ලැබ ඇත්තේ ස්පාඤ්ඤයේ ඉන්ද්‍රා සමාගම විසිනි. එසේම ඔවුන් විසින් ඉදිරිපත් කර තිබු ලංසුව හා සෙසු සමාගම් දෙක විසින් ලබාදී තිබු ලංසු අතර විශාල වෙනසක් තිබූ බව පැහැදිලිවම දක්නට තිබිණි. එම වෙනස දළ වශයෙන් ශ්‍රී ලංකා මුදලින් රුපියල් මිලියන 125කට ආසන්නය.

ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවන් සිව් දෙනෙකුගෙන් යුතු තාක්ෂණික ඇගයීම් කමිටුවක් මගින් මෙම ටෙන්ඩරය අධීක්ෂණය කරනු ලැබූවද, පත්කළ තාක්ෂණික ඇගයීම් කමිටුවට සෘජුවම බලපෑම් කරමින් මෙම ටෙන්ඩරය සඳහා වැඩිම ලංසුව ඉදිරිපත් කර තිබූ ප්‍රංශයේ තලේස් සමාගමට ටෙන්ඩරය ලබාදීම සඳහා එවකට ගුවන්තොටුපොළ හා ගුවන් සංචලන අංශ ප්‍රධානියා විසින් කටයුතු කර තිබිණි. එසේම එහි නියෝජ්‍ය ප්‍රධානියාගේද නොමඳ අනුබලය ඊට ලැබී තිබේ.

මෙම ටෙන්ඩරය වැඩිම ලංසුව සඳහා ලබාදීමට තාක්ෂණ ඇගයීම් කමිටුව වෙත බලපෑම් එල්ල කළ විද්‍යුත් හා සංචලන සේවා අංශ ප්‍රධානියාට තවත් සේවා දිගුවක් ලබා දෙන්නේ නව ආණ්ඩුව බලයට පත්වීමෙන් අනතුරුවය. එපමණක් නොව ඔහු තමන්ගේ උපදේශක ධුරයට පත්කර ගැනීමට ද ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ නව සභාපතිවරයා කටයුතු කර තිබේ.

ඔවුන් දෙදෙනා ද මෙම තාක්ෂණ ඇගයීම් කමිටුවේ සාමාජිකයන් දෙදෙනෙකි. මෙහි ඇති අනෙක් සුවිශේෂී කරුණ වන්නේ මෙම ඇගයීම් කටයුතු සඳහා අදාළ තාක්ෂණ ඇගයීම් කමිටුව විසින් මාස 15ක පමණ කාලයක් ගනු ලැබ තිබීමය. එසේ සිදු වෙමින් තිබුණු මේ වංචාව පිළිබඳව තවත් තොරතුරු සහ සාක්ෂි ද සහිතව ‘ලංකා’ පුවත්පත මගින් මීට ඉහතදී අනාවරණය කෙරිණ.

මෙම නිලධාරීන් දෙදෙනා පක්ෂපාතීව කටයුතු කරන ප්‍රංශයේ තලේස් සමාගම විසින් මීට ප්‍රථම පිදුරුතලාගල කඳු මුදුනේ සවිකර තිබෙන ද්විත්ව කාර්ය රේඩාර් පද්ධතියේ ඇතිවූ කාර්මික දෝෂ හේතුකොට අක්‍රීය වීම නිසා අසාර්ථක සැපයුම්කරුවෙකු ලෙස ලේඛන ගතවී ඇත. එසේම මීට සමාන ටෙන්ඩරයක් වූ 026/T/2018 දරන ගුවන් යානා තොරතුරු පද්ධතිය සැපයීම සහ ස්ථාපනය කිරීම සඳහා වන ටෙන්ඩරය ඉතා සූක්ෂම ලෙස මෙකී ප්‍රංශයේ තලේස් සමාගමට ලබා දී තිබේ.

එහෙත් මේ වන තෙක් එම ව්‍යාපෘතියේ කටයුතු ආරම්භ කිරීමට එම සමාගම අපොහොසත් වී ඇති අතර සමාගම විසින් සපයා ඇති Approach ATM සහ AIMS උපකරණ ද අද වනතුරුත් අනෙකුත් උපකරණ සමග පද්ධතිගත කිරීමට නොහැකිව ඉංජිනේරු කාර්ය මණ්ඩලය මහත් අපහසුතාවයන්ට ද මුහුණ දෙමින් සිටිති. ප්‍රංශයේ තලේස් සමාගම වෙතම ටෙන්ඩරය ලබාදීම සඳහා ගුවන් සේවා සමාගමේ විද්‍යුත් හා ගුවන් සංචලන සේවා අංශ ප්‍රධානියා හා නියෝජ්‍ය ප්‍රධානියා විසින් කටයුතු කර ඇත්තේ එවැනි තත්ත්වයක් තිබියදීය. විශේෂයෙන් ඔවුන්ගේ බලපෑම මත ටෙන්ඩර් ක්‍රියාවලියට කිසිසේත්ම අදාළ නොවන කරුණු මතු කරමින් ටෙන්ඩරය තලේස් සමාගම වෙතම ලබාදීමට අදාළ තාක්ෂණ ඇගයීම් කමිටුව කටයුතු කර තිබීම ද පුදුම සහගතය.

එසේම ජාතික ප්‍රසම්පාදන මාර්ගෝපදේශයන්ට අනුව ටෙන්ඩර් කමිටුවල නිලධාරීන්, තාක්ෂණ ඇගයීම් කමිටු නිලධාරීන් සහ ප්‍රසම්පාදනයට අදාළ අංශවල ඉහළ නිලධාරීන් අදාළ ටෙන්ඩරය විවෘත කරන දින සිට අදාළ ටෙන්ඩරය ප්‍රදානය කරන දින තෙක් වන කාලසීමාවේදී ලංසු කරුවන් සහ පහසුකම් සපයන්නන් සමග සන්නිවේදන ගනුදෙනු කිරීම, සම්මන්ත්‍රණ සහ සුහද හමුවීම්වල සම්බන්ධ වීම, රැස්වීම් වලට සහභාගිවීම, කර්මාන්තශාලා නිරීක්ෂණ කිරීම නොකළ යුතු බව සඳහන්ව ඇත.

එහෙත් මෙම කරුණු සම්පූර්ණයෙන්ම නොසලකා හරිමින් ඉලෙක්ට්‍රෝනික සහ ගුවන් සංචලන අංශයේ අංශ ප්‍රධානියා සහ එහි නියෝජ්‍ය අංශ ප්‍රධානියා තලේස් සමාගමේ සාකච්ඡා, සම්මන්ත්‍රණ පමණක් නොව අවස්ථා කිහිපයකදීම කර්මාන්ත ශාලා නිරීක්ෂණ සඳහා ද සහභාගී වී ඇති අතර, ඔවුන් ඒ කිසිදු අවස්ථාවකදී ීක්‍්ඡක්‍ නිර්දේශ මත විදෙස්ගත වීම සිදු කර නැති බවද මේ වන විට අනාවරණය වී තිබේ.

මෙම සිදුවීම පිළිබඳව මාධ්‍ය වාර්තා කිරීමෙන් පසු එවකට විෂය භාර අමාත්‍යවරයා විසින් ඒ පිළිබඳ සොයා බැලීමට කමිටුවක් පත් කරනු ලැබූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගමේ සභාපතිවරයා විසින් එම කමිටුවේ කටයුතු තාවකාලිකව අත්හිටවනු ලැබීය.

පසුගිය දිනවල ඇති වූ කොරෝනා වසංගත තත්ත්වය හා මැතිවරණ කටයුතු හේතුවෙන් විමර්ශන කමිටුවේ කටයුතු මන්දගාමීව සිදු වෙමින් තිබියදී ටෙන්ඩර් ප්‍රදානය සැලසුම් සහගත ලෙස ප්‍රමාද කිරීම හේතුකොට ගෙන ‘ලියනාඩෝ’ සමාගම මෙම ටෙන්ඩර් ක්‍රියාවලියෙන් ඉවත් වන්නේ ජාත්‍යන්තරව ආයතනික කීර්ති නාමයට ද අතිශයෙන්ම හානිදායක තත්ත්වයක් ඇති කරමිනි.

කරුණු එසේ පෙළගැසෙන අතරතුර සියල්ලන් මවිත කරමින් මෙම ටෙන්ඩරය වැඩිම ලංසුව සඳහා ලබාදීමට තාක්ෂණ ඇගයීම් කමිටුව වෙත බලපෑම් එල්ල කළ විද්‍යුත් හා සංචලන සේවා අංශ ප්‍රධානියාට තවත් සේවා දිගුවක් ලබා දෙන්නේ නව ආණ්ඩුව බලයට පත්වීමෙන් අනතුරුවය. එපමණක් නොව ඔහු තමන්ගේ උපදේශක ධුරයට පත්කර ගැනීමට ද ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ නව සභාපතිවරයා කටයුතු කර තිබේ.

ක්‍රියාවලිය එතනින් නතර වන්නේ නැත. මේ වන විට ඉහත සඳහන් ද්විතියික රේඩාර් පද්ධතිය ස්ථාපිත කිරීමේ ටෙන්ඩරය පිළිබඳ නැවතත් සලකා බැලීම සඳහා නව තාක්ෂණ ඇගයීම් කමිටුවක් පත් කර ඇති බව ගුවන් තොටුපොළ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. එසේ පත්කර ඇති නව කමිටුවට ද මෙම දූෂිත නිලධාරීන් දෙදෙනා නැවතත් පත් කර ඇත්තේ ‘හොරකමට තවත් ඉඩ නැත’ යයි කියමින් දූෂණයෙන් තොර රාජ්‍ය සේවයක් ගැන සිය ප්‍රතිපත්ති ප්‍රකාශයේම සඳහන් කර තිබූ වත්මන් ජනාධිපතිවරයගේ ‘ඇත්ත ප්‍රතිපත්ති’ මොනවාදැයි නැවත සිතා බැලිය යුතු තත්ත්වයක් නිර්මාණය කරමිනි.

මෙසේ සේවා දිගුවක් ලබා දෙමින් නැවතත් තාක්ෂණ ඇගයීම් කමිටුවට ද පත්කර සභාපතිවරයාගේ උපදේශකවරයෙකු වශයෙන් ද පත්කරගෙන ඇති ඉහත කී පුද්ගලයා මේ වන විට වයස අවුරුදු 60 ඉක්මවා සිටින අයෙකි. එවැන්නෙකුට තවත් සේවා දිගුවක් ලබා දීමෙන් සහ ආයතනික ප්‍රසම්පාදන රෙගුලාසීන්ට එකඟ නොවන පරිදි නව තාක්ෂණ ඇගයීම් කමිටුවක් පත් කිරීමෙන් මෙම වංචා සහගත කටයුතු සඳහා වත්මන් සභාපතිවරයාගේ ද සම්බන්ධයක් ඇති බවට කෙනෙකුට සැකයක් මතු වීම අසාධාරණ නැත. එසේම මෙවැනි දූෂිත නිලධාරියෙකුට සේවා දිගුවක් දෙවන වරටත් ලබා දීම, පරීක්ෂණ කමිටුවක විමර්ශන ක්‍රියාවලිය හමුවේ දූෂිතයන් ආරක්ෂා වන බවට තවත් සාක්ෂියක් එක් කිරීමකි.

රටක රේඩාර් පද්ධතියක් යනු එක් පැත්තකින් රටේ ආරක්ෂක ක්‍රියාවලියටත් අනෙක් පැත්තෙන් ගුවන් යානා ගමනාගමනය පාලනය කිරීමටත් සෘජුව සම්බන්ධ වන්නකි. ඒ නිසා රේඩාර් පද්ධතියේ ක්‍රියාකාරීත්වය නිසි පරිදි සිදු වීම බැඳී පවතින්නේ මිනිස් ජීවිත සමගය. ඒ නිසා රේඩාර් පද්ධතියක් ස්ථාපිත කිරීමේදී පද්ධතියේ නිවැරදි ක්‍රියාකාරීත්වය විශාල මිනිස් ජීවිත ප්‍රමාණයක ඉරණම තීන්දු කිරීමට හේතුවන ප්‍රධාන සාධකයක් වන බව වගකිව යුත්තන් මූලිකවම අවධානය යොමු කළ යුතු කරුණකි. එහෙත් මේ සිදුවීම් දෙස බලන විට පෙනී යන්නේ රුපියල් මිලියන 125ක් හෝ වෙනත් වරදාන, වරප්‍රසාද වෙනුවෙන් මොවුන් මේ අවදානමේ හෙළමින් සිටින්නේ රටේ ආරක්ෂාව සහ මිනිස් ජීවිත පිළිබඳ වගකීම නොවේද?●

 

ලසන්ත වීරකුලසූරිය

Leave A Reply

Your email address will not be published.

3 × four =