LP ගෑස් භාවිතය පුළුල් කිරීමේ වැඩසටහනක්

ශ්‍රී ලංකාව තුළ LP ගෑස් ආනයනය හා බෙදාහැරීම සිදු කරන ප්‍රමුඛතම සමාගම සහ මෙරට LP ගෑස් වෙළෙඳපොළ ප්‍රමුඛයා වන ලිට්රෝ ගෑස් ලංකා සමාගම පසුගිය දා ශ්‍රී ලංකා සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව සමඟ විශේෂ ක්‍රමෝපායික හවුල්කාරීත්වයකට එළඹිණි. ඒ අනුව මින් ඉදිරියට තෝරා ගත් සමුපාකාර අලෙවි සල්වල ලිට්රෝ ගෑස් අලෙවි ස්ථාන විවෘත කෙරෙනු ඇත. සමුපකාර අලෙවි සල් ජාලය විශේෂයෙන්ම ග්‍රාමීය ප්‍රදේශවල ව්‍යාප්ත වී ඇති බැවින්, මෙය ලිට්රෝ ගෑස් සමාගමට තම වෙළෙඳපොළ අවකාශය තව තවත් පුළුල් කර ගැනීමට ලැබෙන අවස්ථාවක් වනු නිසැක ය.

සාමාන්‍යයෙන් ලංකාවේ දෛනික LP ගෑස් ඉල්ලු‍ම සිලින්ඩර 80,000ක් පමණ වන බවට ඇස්තමේන්තු කර තිබුණ ද, තවමත් ග්‍රාමීය ප්‍රදේශවල ඉවුම් පිහුම් සඳහා දර වැනි විකල්ප ඉන්ධන භාවිත වේ. එම තත්ත්වය වෙනස් කර LP ගෑස් යනු තව දුරටත් ‘සුඛෝපභෝගී’ භාණ්ඩයක් නොවන බව ජනතාවට පෙන්වා දීම සඳහා ලිට්රෝ ගෑස් සමාගමේ නව සභාපති/ප්‍රධාන විධායක නිලධාරී අනිල් කොස්වත්ත මහතාගේ දැක්ම හා නායකත්වය යටතේ එම සමාගම සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව සමඟ මෙම නව හවුල්කාරීත්වය ගොඩනංවාගෙන ඇත.

මෙම නව වැඩපිළිවෙළ යටතේ, ලිට්රෝ සමාගම අනුගමනය කරන දැඩි සෞඛ්‍ය, සුරක්ෂිතතා සහ පාරිසරික විධිවිධානවලට යටත්ව, තෝරා ගත් සමුපකාර අලෙවි සල්වල පූර්ණ පහසුකම් සහිත අලෙවි ස්ථාන ඉදි කිරීම සඳහා ලිට්රෝ ගෑස් සමාගම මඟින් ආයෝජන සිදු කරනු ඇත. මෙය රට පුරා විසිරී ඇති සමුපකාර අලෙවිසල් රාශියකට නව ආකර්ෂණීය පෙනුමක් ලැබීමට ද හේතුවක්වනු නිසැක ය.

මූලික අදියරේ දී මෙම වැඩසටහන යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කය තුළ බහුකාර්ය සමුපකාර සේවා ලිට්රෝ ගෑස් අලෙවිසල් 40ක් ඉදි කර ඒවා කළමනාකරණය සඳහා ශ්‍රී ලංකා සමුපකාර දෙපාර්තමේන්තුව වෙත පවරා දීම සිදු කෙරිණි. එමෙන් ම කොළොන්නාව ප්‍රදේශයේ ද මේ ආකාරයේ අලෙවිසලක් විවෘත කිරීමත් සමඟ කොළඹ දිස්ත්‍රික්කය තුළ ද මෙම වැඩසටහන නිල වශයෙන් ආරම්භ කෙරුණු අතර, අනිල් කොස්වත්ත මහතා විසින් මෑතක දී එම අලෙවිසල විවෘත කරන ලදී●

Leave A Reply

Your email address will not be published.

one × 3 =