“ ‘චොකා මල්ලි’ ට මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම දෙන්න බෑ”

පසුගිය මැතිවරණයෙන් ජයගෙන මන්ත්‍රීවරයෙකු වූ මරණ දඬුවම නියමව සිටින ප්‍රේමලාල් ජයසේකර (චොකා මල්ලි) ට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම්දීම සඳහා නීත්‍යානුකූල අයිතියක් නොමැති බව නීතිපතිවරයා විසින් අධිකරණ අමාත්‍යංශය වෙත දැනුම් දී ඇතැයි වාර්තා වේ.

රත්නපුර දිස්ත්‍රික්කයෙන් තේරී පත්වූ ප්‍රේමලාල් ජයසේකර බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් කර තිබූ ඉල්ලීමට අනුව අධිකරණය අමාත්‍යංශය කල විමසීමට පිළිතුරු දක්වමින් නීතිපතිවරයා මේ බව දැනුම් දී තිබේ.

මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම්දීම සඳහා අවස්ථාව සලසා දෙන ලෙස ප්‍රේමලාල් ජයසේකර බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කර තිබිණි.

එම ඉල්ලීම බන්ධනාගාර දෙපාර්තමේන්තුව අධිකරණ අමාතයංශය වෙත යොමු කර තිබූ අතර ඒ අනුවයි අධිකරණ අමාත්‍යංශය නීතිපතිවරයාගෙන් උපදෙස් ඉල්ලා සිටියේය.

ඡන්ද දායකයෙකු සහ මන්ත්‍රීවරයෙකු වීමට ඇති නුසුදුසුකම් සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් විධිවිධාන උපුටා දක්වමින් නීතිපතිවරයා ඊට පිළිතුරු ලිපියක් යොමුකර ඇති බව වාර්තා වේ.

ප්‍රේමලාල් ජයසේකරට මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම්දීම සඳහා හැකියාවක් නොමැති බව නීතිපතිවරයා එමගින් පෙන්වා දී ඇතැයිද බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කියා සිටී.

මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම්දීම සඳහා ප්‍රේමලාල් ජයසේකරට පාර්ලිමේන්තුව වෙත කැඳවාගෙන එන ලෙස බන්ධනාගාර දෙපාර්තමේන්තුවට දැනුම් දුන් බව කථානායක මහින්ද යාපා අබේවර්ධන පෙරේදා (28) පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

එහෙත් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය පවසන්නේ ඒ සම්බන්ධයෙන් ලිඛිත දැනුම්දීමක් පාර්ලිමේන්තුවෙන් මේ දක්වා තමන් වෙත ලැබී නොමැති බවයි.

2015 ජනාධිපතිවරණය සමයේදී විපක්ෂ ක්‍රියාකාරියෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනාවට අදාලව ප්‍රේමලාල් ජයසේකර ඇතුලු චූදිතයන් 03 දෙනෙකුට පසුගිය මැතිවරණයට දින කිහිපයකට පෙර රත්නපුර මහාධිකරණයෙන් මරණ දඩුවම නියම කළේය.

Leave A Reply

Your email address will not be published.

20 + 18 =