ලංකාගම පාරේ නොපෙන්වන / නොකියන පැත්තක් !

අවශ්‍යම  මොහොතේ අවශ්‍යම දේ නොකරන්නේ නම්, ඊට සුදුසු වෙලාවක් නැවත ලැබෙන්නේ නැත. ඊට හොඳම උදාහරණයකි, උමා ඔය ව්‍යාපෘතිය. උමා ඔය ව්‍යාපෘතිය ආරම්භ කරන අවස්ථාවේ මෙමගින් සිදු වන පරිසර හානි, ජලයට සිදුවන බලපෑම පිළිබඳ පැහැදිලි කරන්නට උත්සාහ කළ විට, ලංකාගම වගේම එහි ජනතාව ද මෙසේ කීය.
‘සංවර්ධනයට අකුල් හෙළන්න එපා. ගමේ වැඩක් කළාම දවසට හම්බෙන්නෙ රුපියල් දාහයි. ඉරාන කොම්පැනියෙන් අපිට දෙදාහක් ගෙවනවා. අපි කාලා – ඇඳලා ඉන්නවට ඉරිසියා කරන්න එපා.’
ඉන් වසර ගණනාවකට පසු ඒ ජනතාව පෙර කී පීඩා අත්වින්දේය. නිවෙස් ඇතුළත ආවාට ඇති විය. ළිං සිඳිණි. ඔයවල් පවා හිඳීගියේය. එහෙත් ඒ වන විට එය ආපසු හැරවිය නොහැකි තරමට ඉදිරියට‌ ගොස් අවසන් ය. ඒ වෙලාවේ ජනතාව වැරදි නැත. අගහිඟකම්වලින් මිරිකී සිටින, තමන්ගේ එළවළුවලට නිශ්චිත මිලක් නැති ඔවුන්ට රුපියල් දෙදාහ වැදගත් ය.
මේ වෙලාවේ ලංකාගමට පාර වැදගත් වන්නේත් හරියටම ඒ වගේ යැයි තවත් වසර ගණනාවකින් කියන්නට සිදුවන්නට ද ඉඩ තිබේ.
එහෙම කියන්නේ මේ නිසා ය.
ගිං ගඟේ සහ නිල්වලා ගඟේ වතුර උමගක් යොදාගනිමින් හම්බන්තොට වරාය දක්වා ගෙන යෑමට අපේක්ෂිත ය. එම ව්‍යපෘතියේ සාර්ථක-අසාර්ථකභාවය සහ එයින් පීඩාවට පත්වන පාර්ශ්ව සම්බන්ධයෙන් වෙනම කතා කළ යුතුය.
මේ ව්‍යපෘති සැලසුමට අනුව ලංකාගම – මාදුගැට ප්‍රාදේශයේ ජලාශයක් ඉදි කෙරේ. අම්පනාගල සහ ගල්දොළ ද ජලාශ ඉදි කෙරේ. ගාල්ල දිස්ත්‍රික්කයේ, නෙළුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ලංකාගමින් ආරම්භ කෙරෙන උමග අවසන් වන්නේ, මාතර දිස්ත්‍රීක්කයේ, දෙනියාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගල්දොළ ප්‍රදේශයෙන් ය. මේ වන විටත් ලංකාගම – මාදුගැට ප්‍රදේශයේ අදාළ ව්‍යපෘතිය ලබාගන්නා ඉඩම් සහ විශේෂිත ස්ථාන සලකුණු කොට ඇත. ගල්දොළ ද එසේම ය. ඒ කියන්නේ උමග මුලින් ඒමට නියමිත ය. උමගේ මුල සහ අගට අදාළ කටයුතු කඩිනම් වී ඇත්තේ එම නිසා ය. ඊට අදාළ දැවැන්ත යන්ත්‍ර-සුත්‍ර  ලංකාගමට ගෙන ආ යුතුය. එම යන්ත්‍රරය කොටස් වශයෙන් ගෙනැවිත්, එකලස් කළ යුතුය. ඒ සඳහා වෙනම විශාල භූමි ප්‍රදේශයක් අවශ්‍ය බව උමා ඔයේ උදාහරණ මගින් පැහැදිලි කරගත හැකිය.
මේ මාර්ගයේ උඩින් ලංකාගම ජනතාව සිටියද, යටින් මේවා ද ඇති බව පමණක් දැනට මතකයේ තබාගැනීම වටී. කාලයක් තිස්සේ වින්ද දුක් අවසන් කරන්නට පාර හැදෙන විට, ලංකාගම ජනතාව ඒ වෙනුවෙන් පෙනීසිටීම සාධාරණ ය. උමා ඔය වගේම ය. අනාගතය ඉදිරියට ය.
-ශාලික විමලසේන 

Leave A Reply

Your email address will not be published.

four + nineteen =