කාලය ඉගිලෙන වේගය

 

ආර්නෝල්ඩ් ෂ්වෛසෙනගර්. ජනප්‍රිය ‘ටර්මිනේටර්’ ක්‍රියාදාම චිත්‍රපට මාලාවේ හොලිවුඩ් වීරයා. තවත් වීර වික්‍රම චිත්‍රපට ගොඩක අපේ කාලයේ ‘වැඩකාරයා’ එයා තමයි. ඉස්කෝලේ කට් කරලා එයා ඉන්න ෆිල්ම් බලන්න අපි ගිහිල්ල තියනවා.

මෑතක එයාගේ ෆොටෝ එකක් වයිරල් වෙනවා. ඒකෙ හැටියට කියවෙන්නේ එයා ඔහියෝ වල ආණ්ඩුකාරයා වෙලා ඉන්නකොට එයාගේ අතින් විවෘත කරපු හෝටලයකට එයා තනතුර නැති කාලේ ගියාට පස්සේ ඒ හෝටලේ කට්ටිය එයාට නවාතැන් දුන්නේ නැති නිසා එයා හෝටලේ ඉස්සරහා ස්ලීපින් බෑග් එකක් අස්සේ නිදා ගත්ත කියල. බලය නැති උනාම කට්ටියට මුල අමතක වෙනවා කියන එක තමයි අර වෛරල් වෙච්ච ෆොටෝ එකේ කැප්ෂන් එකට දාල තියෙන්නේ. නමුත් ඒක ඇත්තක් නොවෙයි. ප්‍රතිනිෂ්පාදනයක්.

ඇත්තටම වෙලා තියෙන්නේ මේ ප්‍රදේශයේ චිත්‍රපට රූපගත කිරීමක් අතරතුර ශ්‍රේෂ්ට කොලොම්බස් සම්මේලන මධ්‍යස්ථානේ ඉස්සරහා තියෙන එයාගේ ජනප්‍රිය ශරීර වර්ධන ප්‍රතිමාව ඉස්සරහා පොඩ්ඩක් මහන්සියට ඇලවෙලා චූටි නින්දක් ගහපු එක (nap). එහෙම ඉන්න ගමන් ඉස්සර තිබුණ ශක්ති සම්පන්න බව නැතුව, වයස්ගතව, ඉක්මනින් වෙහෙස දැනෙන තමන්ගේ ගත දිහා එයා ආපසු හැරිලා මෙනෙහි කරපු එක. එහෙම මෙනෙහි කරලා එයා ඉන්සටග්‍රෑම් එකේ ලියල තියනවා ‘කොයි තරම් ඉක්මනට කාලය ඉගිලිලා යනවද…’ (How times have changed) කියල. ඒ තමන් ගැනම අනිමිස ලෝචනයෙන්. පසු ආවර්තනයෙන්.

ඇත්ත දේට වඩා ඇත්ත නොවන දේ මේ යුගයේ ජනප්‍රිය වෙනවා. මොකද දෙකටම අනන්‍ය වූ අර්ථයන් දෙකක් මේ රූපය ෂෙයා කරන අය දකිනවා. තමන්ගේ ම ආත්මය තමන් ආර්නෝල්ඩ් හරහා දකිනවා. ඒ නිසා දෙකම එක විදියට සංසරණය වෙනවා. බලාගෙන යනකොට දෙකම හරි. කරුණු වශයෙන් නොවුනත් තේමාත්මක වශයෙන් හරි දෙකම සමාන අර්ථයන් නිෂ්පාදනය කරලා තියනවා.

දෙකෙන් ම කියවෙන්නේ එකම දෙයක්. ඇතිවීම සහ නැතිවීම අතර අපේ ජීවන ගමන. තරුණ බවෙන් වයස්ගත බවට කරන අපූරු චාරිකාව. ශක්තිය සහ දිරාපත් වීම අතර නියත සංක්‍රමණය.

අවසානයේ මේ සියල්ල අතහැරලා අපි කාලයේ අකාලය (timeless time) සමග එකතු වීමේ සදාතනික සත්‍යය. ටර්මිනේට් නොවන දෙය.
-මහේෂ්  හපුගොඩ

Leave A Reply

Your email address will not be published.

16 + thirteen =