දුන්නයි පොරොවයි විකුණා ජීවිතය අයදින ආදි වාසීන්

මහියංගනයට පිවිසෙන ඕනෑම සංචාරකයෙක් දඹාන ආදිවාසී ගම්මානය නරඹනවා නිසැක ය. ඒ දඹාන යනු ලංකාවේ ආදීවාසීන් තවමත් මුල් සංස්කෘතීන් සංකේතීව රැකගන්නා හෙයිනි. තමා නොදත් තමාගේ ම අතීතයේ නටබුන් අනෙකා තුළින් දැකීමේ ලාලසාවෙන් සැරිසරන සංචාරකයා තමාගේ ම අතීතය මිල දී ගනී.

අතීත සංකේත අනෙකාගේ ලෙස තබාගෙන ඔවුහු ඉතිහාසය දෙස වියුක්ත ලෙස බලා සැනසෙති. නමුත්, ඒ අතීතය අපගේ ය. ඔවුහු අතීත සංකේත මිල දී ගෙන අතීතය අමතක කර වර්තමාන ආදිවාසී අපේ එකාගේ දුක, වේදනාව, පීඩනය අමතක කර දමති. එය ජනතාවක් ලෙස, රජයක් ලෙස, විටින්විට පත් වන ආණ්ඩු ලෙස යන ඕනෑ ම ආකාරයකින් සිදු කරනු ලබයි. අපට ඇස ගැටෙන ආදිවාසියා පිටස්තරයකු ලෙස සිතා ඔහු මිල කරයි. ජීවත් වීම උදෙසා පොරොව, දුන්න සහ තම ආහාර කොටස (මීපැණි) විකුණා දමන ආදිවාසී මිනිසා තවත් පීඩනයට පත් කරමින්, සංචාරකයා ඔහු හා මිලට හෙට්ටු කරයි. ආදිවාසියාගේ පාරම්පරික සංකේත වන පොරොව, දුන්න සෙල්ලම් බඩු ලෙසට වර්ග කෙරේ. නැතිනම්, සමච්චලයට ලක් කෙරේ. අපි අත්දකින යථාර්ථය තුළ ආදිවාසී භාෂාව සංචාරකයාගේ අවභාවිතයට ලක් වේ.

ප‍්‍රශ්නය වන්නේ, කප්පරක් ප‍්‍රශ්න තිබෙන රටක ආදිවාසී ජනතාව තමන්ගේ දුක, පීඩනය, අහේනිය, බඩගින්න තවමත් රාජ්‍ය නිලධාරීන් සහ මාධ්‍ය ඉදිරියේ ප‍්‍රදර්ශනය කරමින්, ඊළඟ වරිග සභාව දක්වාත් රැගෙන යාමයි. ඌරුවරිගේ වන්නියලැත්තන් ම ප‍්‍රකාශ කරන පරිදි ලංකාවේ නීති සම්පාදනය කරන පාර්ලිමේන්තුවේ ඉන්නේ මළකුණකට පොරකන කපුටන් රැළක් නම්, මේ ප‍්‍රශ්න කාට කියන්න ද?

දඹාන ආදිවාසී නායක වනස්පති ඌරුවරිගේ වන්නියලැත්තෝ කියන පරිදි වසර හැටදහස (60,000)ක් තරම් පැරැණි ලංකාවේ ආදිවාසී ජනතාවට අද උරුම වී ඇති ඉහත තත්ත්වය ඛේදජනක ය.

පොරොව, දුන්න රැගෙන යාමට සහ උඩුකය නිරුවත්ව ගමන් කිරීමට නීතියෙන් අවසර ලැබුණ ද, ජීවත් වීම උදෙසා ජීවනෝපාය කරගෙන යාමට ඔවුන්ට තවමත් පාලකයන් අයැදීමට සිදුව තිබේ. එතරම් පැරණි අතීත නෂ්ඨාවශේෂ මහපාරේ විකිණෙන්නට තබා (පොරොව, දුන්න, මීපැණි, වැදි සංකේත යෙදූ උපකරණ) ජීවත් වීමට නොහැකිව අව්වේ කරවෙන ජීවිත අදටත් රජයෙන් සහ පාලකයන්ගෙන් ඉල්ලා සිටින්නේ, අඩු ම තරමේ සමෘද්ධියවත් (ශ්‍රී ලංකාවේ දරිද්‍රතාවේ සංඛ්‍යාත්මක සංකේතය) ලබා දෙන ලෙසයි.

මේ බව ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ වූයේ පසුගිය 15 වැනි දින රාත්‍රියේ දඹාන ආදිවාසී ගම්මානය වන කොටබකිනිය ගම්මානයේ කෞතුකාගාරය අසල දී ලංකාවේ සියලු ම ආදිවාසී ජනතාව නියෝජනය කරමින්, වසරක් පාසා සිදු කරන වරිග සභාවට සමගාමීව පැවැත්වුණු සංවාද මණ්ඩපයේ දී ය. ඒ සඳහා ලංකාවේ දැනට විසිරී සිටින සියලු ආදිවාසී ජනතාව නියෝජනය කරමින්, එහි නායකයෝ සහ පිරිස් සහභාගී වූහ. වාකරේ මුහුදු ආදිවාසීන් නියෝජනය කරමින්, එහි නායක අම්මලවරිගේ නල්ලතම්බි වේලායුදන් ඇතුළු පිරිස ද, රතුගල ආදිවාසී නායක තලාබංඩාරගේ සුදාවන්නියා ඇතුළු පිරිස ද, හේනානිගල නායක ඌරුවරිගේ ගුණබණ්ඩියා ඇතුළු පිරිස ද, දළුකාන නායක, ඌරුවරිගේ ප්‍රියන්ත ඇතුළු පිරිස ද, පොල්ලෙබැද්දේ නායක තලාබංඩාරගේ ගුණවර්ධන ඇතුළු පිරිස ද, ලංකාවේ සියලු ආදිවාසී නායක සහ දඹාන ආදිවාසී නායක, ඌරුවරිගේ වන්නියලැත්තෝ ඇතුළු පිරිස ද මෙම සංවාද මණ්ඩපය සඳහා සහභාගී වී සිටියහ. අනෙක් පසින් සංවාද මණ්ඩපයේ රාජ්‍ය අංශය නියෝජනය කරමින්, අමාත්‍යාංශ අතිරේක ලේකම්වරයෙක්, ප‍්‍රාදේශීය ලේකම්වරු, බදුල්ල දිස්ත්‍රික් ලේකම්, වනජීවී සහ වන සංරක්‍ෂණ නිලධාරීහු බොහෝ පිරිසක් ද පැමිණ සිටියහ. මාධ්‍ය ආවරණය සඳහා පෞද්ගලික මාධ්‍ය ජාලයක්ද, ප‍්‍රදේශයේ බොහෝ නරඹන්නෝ ද වූහ.

එහි දී මාධ්‍ය ඉදිරියේ සහ රාජ්‍ය නිලධාරීන් හමුවේ ලංකාවේ අභිමානවත් ජාතියේ වර්තමාන තත්ත්වය සංවාදයට ලක් විය. සියලු ම වර්ගවල ආදිවාසී නායකයෝ තමාගේ වරිගේ – ගම්මානයේ – ප‍්‍රශ්න ඉදිරිපත් කළහ. එම ප‍්‍රශ්න හමුවේ බලාපොරොත්තු විය හැකි තත්ත්වය නම්, රටේ සංවර්ධනය දිශාවට ආදිවාසී දායකත්වය, වසංගත හමුවේ ආදිවාසී සහජීවනය, ඒවාට ඔරොත්තු දෙන ආදිවාසී උපායඋපක්‍රම, රටේ අධ්‍යාපනයට, ඉතිහාසයට ආදිවාසී උරුමයන්හි දායකත්වය ලබා දීම, ලෝක ආදිවාසී ජනතාව ලොවට ලබා දුන් දායාද අගැයීම, සංචාරක ව්‍යාපාරයට දායකත්වය දෙමින්, තම අභිමානය නොවිකිණී රැකගැනීම වැනි ඉමහත් වටිනාකමකින් යුත් කාරණා සංවාදයට ලක් කිරීමයි. එහෙත්, සිදු වූයේ අනෙකකි.

ඉහත කාරණා අහලකටවත් නොපැමිණ, තවමත් නොවිසඳී පවතින, විසැඳේ යැයි අනුමාන කළ නොහැකි දරිද්‍රතාවේ ම, පරිපාලන විකෘතියේ ම දිගේලි කරන ලද ප‍්‍රශ්න ආදිවාසී නායකයන්ගෙන් මතු විය.

දළුකාන, පොල්ලෙබැද්ද, රතුගල ආදිවාසී නායකයන් සමෘද්ධිය නොලැබීමේ ප‍්‍රශ්නය ඉදිරිපත් කළ අතර, රාජ්‍ය අංශයේ බලධාරීන් එය පසුව විමර්ශනයට කල් තබන ලදී. තවද, ඔවුන් ඉඩම් ප‍්‍රශ්නය සහ වන සංරක්‍ෂණ සහ වනජීවී නිලධාරීන්ගේ ඇතැම් මැදිහත්වීම්වල ගැටලුව ද ඉදිරිපත් කරන ලදී. වන සංරක්‍ෂණ නීතිවලට හසු වී හැකිළී යන තමාගේ පාරම්පරික භුක්ති ඉඩම් (බලපත‍්‍ර නැති) අහිමි වීමේ දුක සහ එයින් අනාගත පරපුරට සිදු වන අයහපත ප‍්‍රශ්න ලෙස ඉදිරිපත් විය.

ඌරුවරිගේ වන්නියලැත්තන්ගේ අදහස වූයේ, තමා දන්න ඉතිහාසයේ පටන් එම ප‍්‍රශ්න රජයන් වෙත යොමු කළත්, තවමත් විසඳුම් නැති බවයි. පරිපාලනය සහ ආණ්ඩු තම ජනතාවට බොරු පොරොන්දු දී නොමඟ යැවූ බවයි. සියලු ප‍්‍රශ්න අතර, ජීවත් වීමේ අරගලය, බඩගින්න, ඉඩම් ප‍්‍රශ්න, නිවාස ප‍්‍රශ්න, රැකියා ප‍්‍රශ්න, වන සංරක්‍ෂණ මායිම් ප‍්‍රශ්න, භුක්තියේ සහ උරුමයේ ප‍්‍රශ්න යන සියලු කාරණා ඉදිරියේ රාජ්‍ය නිලධාරීන්ට සිදු වූයේ, උත්තර වෙනුවට ඉදිරියේ දී සාකච්ඡා, ඉදිරියේ දී විසඳුම්, ඉදිරියේ දී රජයට යොමු කිරීම්, ඉදිරියේ දී නීති සම්පාදනය කිරීම් ආදියට ඉඩ තබා සංවාද මණ්ඩපය අවසන් කිරීමටයි. සංවාද මණ්ඩපය අතරතුර උත්තර නැති රාජ්‍ය නිලධාරීන්ගේ ආතතිය දුරලීම සඳහා ආදිවාසි නර්තන කීපයක් ද ඉදිරිපත් කරන ලදී.

ප‍්‍රශ්නය වන්නේ, කප්පරක් ප‍්‍රශ්න තිබෙන රටක ආදිවාසී ජනතාව තමන්ගේ දුක, පීඩනය, අහේනිය, බඩගින්න තවමත් රාජ්‍ය නිලධාරීන් සහ මාධ්‍ය ඉදිරියේ ප‍්‍රදර්ශනය කරමින්, ඊළඟ වරිග සභාව දක්වාත් රැගෙන යාමයි. ඌරුවරිගේ වන්නියලැත්තන් ම ප‍්‍රකාශ කරන පරිදි ලංකාවේ නීති සම්පාදනය කරන පාර්ලිමේන්තුවේ ඉන්නේ මළකුණකට පොරකන කපුටන් රැළක් නම්, මේ ප‍්‍රශ්න කාට කියන්න ද? වසර 72ක් දේශීය පාලනයෙන් ආදිවාසීන් ඇතුළු ලංකාවේ සියලු ජනතාව නොමඟ යැවූ බව දන්නා ඔවුන් මෙවර මහා මැතිවරණයේ දී ද තෝරා යවා ඇත්තේ, මළකුණට පොරකන කපුටන් රැළක් ය. දැන දැන වළේ වැටීම නැති නම්, තකතිරුකමට වැටීම තමාගේ කැමැත්තකි. නමුත්, අභිමානවත් ඉතිහාසයකට උරුමකම් කියන ගම්මාන 62ක් පුරා විසිරී සිටින ආදීවාසී ජනතාව තවමත් දුන්න, පොරොව විකිණෙන්නට තබා ජීවිතය අයැදීම නම් ඛේදජනක ය●

සටහන/සේයා: දොන් ජයකොඩි

Leave A Reply

Your email address will not be published.

2 × 2 =