දුරක_ඉඳ_සිඹිමි – ළඟට ගෙන සිම්ඹෙමි

 

අශෝක කුලතුංග ; ඔහු අන් අයව නිර්ලෝභීව අගයන්නෙක්. ඒ වගේම ඔහු කවියෙක්. “ඉගිල්ලෙන කරදහි කුරුල්ලා” නිසා මෙන්ම “දුරක ඉඳ සිඹිමි” ඔහුගේ අලුත්ම කවි එකතුව නිසා.

කවි පොත ගැන රසවින්දනයක් ලෙස නොව, මෙය රස විඳිය යුතු කවි පොතක් හෙයින් මේ සටහන තියන්නෙ එය ඔබත් රස විඳිය යුතු නිසා..

කවියක් පංචේන්ද්‍රියන් තුළින්ම රස විඳින්න පුළුවන්. එහෙම කවියක තියෙන රස එකින් එක තෝරාගෙන විටින් විට විඳින්න පුළුවන්. ඒ වගේම අපි පෙර විඳි අද්දැකීම් මත සිට ඔබට මට විවිධ ප්‍රමාණයෙන් ඒ රස විඳින්න පුළුවන්.
මේ අශෝකගේ පන්හිඳෙන් ලියැවුණු එවැනි රස කවක්..

‘දුම් දාන සුදු හාලේ බතට
බැදපු කරවල සැර
කොච්චි සම්බල් එක්ක
ඔයා ආස ම ගෝව මැල්ලුමක්
රහට අනලා කන්න
එකම එක සැරයක්
ඇවිත් යන්න එන්න..’
-එකම එක දවසක් ඇවිත් යන්න එන්න-

අම්මලා යනු කුමන තරා තිරමක වුවද අම්මලාමය. ඒ ආදරය සෙනෙහස සියල්ල සතු ඔවුන් පිළිබඳව ලියූ “අම්මා” කවිය සංවේදී රසයක් මතු කරනායුරු අපූරුය.මේ ඉන් උපුටාගත් කොටසකි.

‘…දූලි සුළඟට කඩමල්ල ගෙන
කිරි සිනා තුරුල්ලෙන් වසා
නැළවියන් පුත නෙතු පියා විඳ
හෝන් හඬ වස්දඩු තමා’
-අම්මා-

කවියා විවිධ සංකේත ඇසුරින් සමාජයේ විශම තැන් අප වෙත සමීප කිරීමට ගන්නා උත්සාහය කවි කිහිපයකම දැකිය හැක. ඔහු ඒ සඳහා යොදාගන්නා ආයුධය ධ්වනියයි.

‘…සියලු පිරිපත අබියස නොසැලී හිනැහුණු
රෙදි බෝනික්කා දෙඅතින් ම ගෙන
මවෙත පා මුව සිප
සිනාසී සුපුරුදුව ඇලවෙන

“වැසි සුළං මඳකට අහවර ය
කැණිමඬල නඟයි හීං ඉකිබිඳුම” ‘
-යෝද හෙවනැල්ල-

මීට අමතරව විවිධ ආකෘතිමය අත්හදා බැලීම් දැකිය හැකි මෙහි විවිධ මානයන් වෙත අප රැගෙන යන අපව එහි අතරමං කරන කවිවලින් යුත්තය. මොහුගේ කියැවීමෙ ගුණය ප්‍රකට කරවන කවි බොහෝ ඇත. මෙය ළඟට ගෙන සිප ගත යුතුය. ඒ කවි රස විඳිය යුතුය. අශෝක කුලතුංග ඔබට සුබ පතනක

-ශානක දිල්ශාන්

 

Leave A Reply

Your email address will not be published.

5 × 5 =