කවුරුන් කොහේ හෝ ලියනවා නම් ඒක ඉතා හොඳයි

චමින්ද උඩවෙල

 

කවිවලට ආදරය, ප්‍රේමය, මනුෂ්‍යත්වය වගේ කාරණා දරාගෙන ඉන්න පුළුවන්. කාටවත් හිංසාවක් නැතුව හදවතක ඔහේ දියවෙලා යන්න පුළුවන් මහා ඝෝෂාවක් මැද්දේ දැහැන්ගත වෙන්නත්, දැහැන්ගත මොහොතක නින්නාද දෙන්නත් කවිවලට පුළුවන්.

  • සිනමාවේත්, ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේත් අත්දැකීම් ඔබේ ලිවීමට සමීප වෙන්නේ කොහොමද?

ඔය කියන ක්ෂේත්‍ර දෙකේම කාලයක සිට මම නියැළෙනවා. ඒ හින්දම බොහෝ ඇසූපිරු තැන් ඇති මිනිසුන් සමීපව ඇසුරු කරන්න, ඒ අයගේ ජීවිත කියවා ගන්න, ඔවුන් ආපු ගමන්මඟ අධ්‍යයනය කරන්න මට ලොකු අවස්ථාවක් ලැබිල තියෙනවා. ඒක මට මගේ අරමුණුවලට යන්න ලොකු උත්තේජනයක්. ඒ වගේම ලෝකයේ හොඳම සිනමා කෘති, සාහිත්‍යය කෘති, කලා කෘති කියවා ගන්න මේක හොඳ තෝතැන්නක්. ඒ විතරක් නෙවෙයි, නිර්මාණ කරද්දී, විවිධ ප්‍රදේශවල ඇවිදින්න, ඒ ඒ සංස්කෘතීන් සමඟ වැඩ කරන්න  අවස්ථාව ලැබෙනවා. ඉතින් එහෙම එකතු වෙන කාරණා දන්නෙම නැතුව ලියවෙනවා. මං හිතන්නේ, ඒ ලිවීම තුළ මනුෂ්‍යයෙක් විදිහට අත්දකින්න වෙන යම් යම් කාරණාවලට  අවශ්‍ය නිවීම ලැබෙනව කියල.

  • සාහිත්‍යකරණයේ යෙදෙන්න අතීත පොත පත කියවීම, ඒ ගැන අධ්‍යයනය කිරීම වැදගත් වෙන නිසාවෙන් ‘කේයස්ගේ සුදෝසුදු කවි විමසුම සමඟ සාගර පලන්සූරිය කවි ලකුණ’ වගේ වැඩක් කරන්න හිතුණේ ?

සාහිත්‍යකරණයේ දී විතරක් නෙවෙයි, ඕනෑ ම කාර්යයක දී එහි ගොඩනැඟීම සිදු වෙලා තියෙන්නේ කොයි ආකාරයෙන් ද? එහෙම ගොඩනංවලා තියෙන්නේ කවුද කියන කාරණා දැනගෙන තිබීම අතිශයින් වැදගත්. එහෙම අතීත කාරණා දැනගෙන තිබීමෙන් තමයි, වර්තමාන හා අනාගත කියන  කාරණා ගළපා ගන්න සහ දකින්න පුළුවන් වෙන්නේ. ඒ නිසාම විතරක් නෙවෙයි, ‘සුදෝසුදු’ කාව්‍යය ගැන ආයෙත් සැරයක් හැරිල බලන්න හිතුවේ. අපට අවශ්‍ය  වුණා වර්තමාන සමාජයට ආයෙත් සැරයක් ‘සුදෝසුදු’ කියවා ගන්න  අවස්ථාවක් හදල දෙන්න. ඒකට විශේෂ හේතුවක් තියෙනවා. ඒ තමයි, මම විශ්වාස කරන විදිහට ආදරය හා ප්‍රේමය කියන කාරණය සුදෝසුදුවේ තරම් සරලව, සුමටව අපූරුවට කතා කරපු  කාව්‍ය කෘතියක් වෙන නෑ කියල හිතෙන එක. වර්තමාන යෞවනය  ආදරය හා ප්‍රේමය කියන කාරණා අල්ලගෙන තියෙන සරල තැනට වඩා ගැඹුරින් එහි ඒ කාරණා අන්තර්ගත වෙලා තියෙනවා. අන්න ඒක හරියටම කියවා ගන්න වර්තමාන සමාජයට පුළුවන් නම්, ප්‍රේමයේ තියෙන ඉවසීම, පරාර්ථකාමීබව, ගැඹුර අත්විඳින්න පුළුවන් වෙනවා. ප්‍රේමයේ තියෙන අතිශය සියුම් කාරණා අහුවෙනවා දැනෙනවා. ඒ සඳහා දරපු උත්සාහයක්  හැටියට තමයි, ‘සුදෝසුදු කාව්‍ය විමසුම’ කියන කෘතිය මේ විදිහට සම්පාදනය කරන්නේ.

  • පත්තර කවි පිටු අතර ඔබේ නම, ඔබේ කවි අපිට දකින්න, කියවන්න ලැබෙනවා. ඇත්තට ඇයි කවි ලියන්නේ ?

මම උපේක්ෂාවෙන් බලාගෙන ඉන්නවා, මම ලියලා තියෙන්නේ කවි ද කියලා. හැබැයි මම ගොඩක් කවි කියවනවා. එතකොට මට දැනෙන දෙයක් තමයි, කවිවලට හරි අපූරු දේවල් කරන්න පුළුවන් කියන කාරණය. කවිවලට ආදරය, ප්‍රේමය, මනුෂ්‍යත්වය වගේ කාරණා දරාගෙන ඉන්න පුළුවන්. කාටවත් හිංසාවක් නැතුව හදවතක ඔහේ දියවෙලා යන්න පුළුවන් මහා ඝෝෂාවක් මැද්දේ දැහැන්ගත වෙන්නත්, දැහැන්ගත මොහොතක නින්නාද දෙන්නත් කවිවලට පුළුවන්. ඉතින් ඒ හින්දා කවි ලියවෙනවා ඇති.

  • සමාජ මාධ්‍ය හරහා ලිපි ලියන, කවි ලියන, විචාරාත්මක අදහස් දක්වන පිරිසේ වැඩිවීම ගැන ඔබට තියෙන්නෙ කොහොම අදහසක්ද?

සරලම උත්තරය එහෙම මොනයම් හෝ මාධ්‍යක කවුරුන් හෝ ලියනවා නම්, ඒක ඉතා හොඳ දෙයක් බවයි. මේ මොහොතේ සොබාදහම අපෙන් ඒක ඉල්ලා සිටිනවා. එහෙම ලොකු රැල්ලක් අවශ්‍ය මොහොතක අපි ඉන්නේ. රටක් විදිහට ආපහු හැරිල බැලු‍වොත්, අපි ආපු ගමන් මඟ ගැන සතුටු වෙන්න  පුළුවන් කාරණා හරිම අල්පයි. සාහිත්‍යය හෝ කලාව හෝ අපි සලකන්නේ සමාජයක පෙර ගමන්කරුවන් විදිහට. ඉතින්, එහෙම පිරිසක් බිහිවෙන එක සතුටට කාරණයක්. ඒ හැම නිර්මාණ කටයුත්තකම කෙළවර  ඉතුරු වෙන්නේ ආදරය විතරක් නම්, ඒක තවත් සතුටට කාරණයක්.

  • ඔබේ කුළුඳුල් කාව්‍ය සංග්‍රහය ‘සඳ එළිය දඟ දවස්’ ගැන ඔබට තියෙන්නේ කොහොම තක්සේරුවක්ද?

පුංචි දරුවෙක් ඉපදුණු ගමන් ම කොහොම ද දන්නේ එයා හිනාවෙන හැටි, කතා කරන හැටි, හුරතල් වෙන හැටි සහ වටාපිටාව අඳුරගන්න හැටි. ඉතින් හීනෙන් හිනාවෙන, අඬන හැටි දිහා ඉවසීමෙන් මං බලන් ඉන්නවා. එයාට හිනාවෙන්න, කතා කරන්න, ඇවිදින්න පුළුවන් වෙයි ද කියල මං තාම දන්නේ නැ. ‘සඳ එළිය දඟ දවස්’ මගේ පළමුවැනි කවි පොත. මට තාම මොකුත් කියන්න බැ. ඒත් මං විශ්වාසයෙන් බලාගෙන ඉන්නවා. ආදරණීයයන්ට කියනවා, එයාව හුරතල් කරන්න, හිනාගස්සවන්න, අඩිය තියල ඇවිදින විදිහ, අත්පුඩි ගහන විදිහ එයාට කියල දෙන්න කියලා. ■

■ සංවාදය – පසන් සංජය සමරතුංග

Leave A Reply

Your email address will not be published.

9 + twelve =