එක්සත් ජනපද බැඳුම්කර නිකුතුවෙන් තවත් බලගැන්වෙන කොල්ලකෑමේ ආර්ථික ප්‍රතිපත්තිය

කොවිඩ් 19 වසංගතය පැතිර යාමත් සමඟ ලෝකය පුරා මූල්‍ය වෙළෙඳපොළවල් විශාල ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණ දෙන්නට විය. ඇමෙරිකා එක්සත් ජනපදය ද එම අර්බුදයට දැඩි ලෙස මුහුණ දෙමින් සිටින අතර, මේ වන විට ඊට මුහුණ දීම සඳහා එක්සත් ජනපද මහ බැංකුව බැඳුම්කර මිල දී ගැනීම ඇතුළුව ඩොලර් ට්‍රිලියන 3ක පමණ දැවැන්ත වත්කම් මිල දී ගැනීමේ වැඩසටහනක් දියත් කර තිබේ. මෙසේ එක්සත් ජනපද මහ බැංකුව පෙර නොවූවිරූ පරිදි මෙවැනි මැදිහත් වීමක් සිදු කිරීම හරහා බලාපොරොත්තු වන්නේ කොවිඩ් 19 වසංගතය හේතුවෙන් බංකොළොත් වීමේ තර්ජනයට ලක්ව තිබුණු මුදල් හිඟයෙන් පෙළුණු සමාගම් නඟාසිටුවීම ය.

එහෙත්, ගනු ලැබූ එම ක්‍රියාමාර්ගවල ප්‍රතිඵලය වූයේ විශාල ප්‍රාග්ධනයක හිමිකාරීත්වය දරන සමාගම් වෙත මුදල් ගලා යද්දී, තව දුරටත් සුළු පරිමාණ ව්‍යවසායකයන් අර්බුදයට පත් වීමත්, සේවක අයිතීන් කප්පාදු වීමත් ය.

ඇපල් සමාගම මේ සඳහා හොඳම උදාහරණයකි. කොවඩ් 19 වසංගතයත් සමඟ ඇති වූ තත්ත්වය මෙම සමාගමට විශාල බලපෑමක් සිදු නොකළේ ය. ඒ අනුව වසරේ දෙවැනි කාර්තුව සඳහා ඩොලර් බිලියන 59.7ක ආදායමක් ඔවුන් ප්‍රකාශයට පත් කර ඇති අතර, එහි ලාභය ඩොලර් බිලියන 11.25කි. එහෙත්, එක්සත් ජනපද මහ බැංකුව විසින් නිර්මාණය කරන ලද නව කොන්දේසිවලින් ප්‍රයෝජන ගත් ප්‍රධාන පෙළේ සමාගමක් ලෙස ඇපල් සමාගම පත් වී තිබේ. ඔවුන් නව බැඳුම්කර නිකුතුවක් හරහා ඩොලර් බිලියන 8ක් රැස් කළ අතර, ඉන් පසුව දෙවැනි වරටත් තවත් ඩොලර් බිලියන 5.5ක් රැස් කළේ ය.

2008 අර්බුදයෙන් පසු එක්සත් ජනපද මහ බැංකුවේ මැදිහත් වීමෙන් ගනු ලැබූ ක්‍රියාමාර්ග හරහා ද මෙම ක්‍රියාවලියට විශාල ශක්තියක් ලැබුණු අතර, පොලී අනුපාත ඉතා පහත් මට්ටමක පවත්වාගෙන ගිය ප්‍රමාණාත්මක ලිහිල් කිරීමේ වැඩසටහන තුළින් ද ඇපල් සමාගම පූර්ණ වාසි ලැබී ය.

ඇපල් සමාගමේ නවතම බැඳුම්කර නිකුතුව කොටස් හතරකින් යුක්ත වන අතර, වසර 40ක දීර්ඝ කල්පිරීමක් සහිත බැඳුම්කර එක්සත් ජනපද භාණ්ඩාගාරයේ අනුපාතයට වඩා සියයට 1.18ක් පමණක් වැඩි විය. ඒ අනුව සිය දිගුකාලීන ණය සඳහා ඇපල් සමාගම ගෙවනු ලබන්නේ 2.5%කට මඳක් වැඩි පොලියක් පමණි. කෙටිකාලීන ණය සඳහා ගෙවීම් ඊටත් වඩා අඩු ය.

මෙතැන ඇති ගැටලුව එය පමණක් නොවේ. ඔවුන් මෙසේ උපයන මුදල් කිසිවක් නව රැකියා නිර්මාණය කිරීම සඳහා හෝ නිෂ්පාදන හා ආයෝජන පුළුල් කිරීමට හෝ යොදවන්නේ නැත. ඒ වෙනුවට එම මුදල් යොදවා ඇත්තේ, කොටස් යළි මිලට ගැනීමටත්, ප්‍රතිලාභ හා වෙනත් ව්‍යාපාරික අරමුණුත් සඳහා ය. ඒ අනුව ඔවුන් විසින් මූල්‍ය ඉංජිනේරු ක්‍රියාමාර්ග වැඩිදියුණු කිරීමට අදාළ බදු මඟහැරීමේ නව ක්‍රමවේදයන් සැකසීම සඳහා ගණකාධිකාරීන්ට සහ නීතිඥයන්ට ගෙවීමට ඉන් කොටසක් වැය කර තිබේ. එහි ප්‍රතිඵලය වන්නේ කොටස් හිමියන් සහ සමාගම් විධායකයන් අතට තව දුරටත් මුදල් ඒකරාශී වීම ය. කොටස්වල හිමිකාරීත්වය තව දුරටත් ඔවුන් අතට පත් වීම ය. මෙසේ ඉතා අඩු මිලට ලබාගන්නා ණය මගින් කොටස් යළි මිලට ගැනීම් සහ ලාභාංශ වැඩි කිරීම් මඟින් වෙළෙඳපොළෙන් කොටස් ඉවත්ව යන අතර, රැඳී සිටින කොටස් හිමියන් මීට පෙර ලබා ගත් ප්‍රමාණයට වඩා වැඩි ලාභයක් ලබා ගැනීම සිදු වේ.

එක්සත් ජනපදය තුළ මෙවැනි තත්ත්වයක් නිර්මාණය වූ පළමු අවස්ථාව මෙය නොවේ. 2008 අර්බුදයෙන් පසු එක්සත් ජනපද මහ බැංකුවේ මැදිහත් වීමෙන් ගනු ලැබූ ක්‍රියාමාර්ග හරහා ද මෙම ක්‍රියාවලියට විශාල ශක්තියක් ලැබුණු අතර, පොලී අනුපාත ඉතා පහත් මට්ටමක පවත්වාගෙන ගිය ප්‍රමාණාත්මක ලිහිල් කිරීමේ වැඩසටහන තුළින් ද ඇපල් සමාගම පූර්ණ වාසි ලැබී ය. ඒ අනුව කොටස් යළි මිල දී ගැනීමේ සිය වැඩසටහන හරහා 2018 අගෝස්තු මාසයේ දී ඩොලර් ට්‍රිලියන 1ක තක්සේරු වටිනාකමක් කරා ළඟා වූ ලොව පළමු සමාගම බවට ඔවුන් පත් විය.

මේ වන විට ඇපල් සමාගමේ වෙළෙඳපොළ ප්‍රාග්ධනය ඩොලර් ට්‍රිලියන 1.9ක් පමණ වන අතර, එය ඉතා ඉක්මනින් ඩොලර් ට්‍රිලියන 2ක් කරා ළඟා වනු ඇතැයි අපේක්ෂා කෙරේ. ඒ අනුව 2018 සිට 2020 දක්වා වූ වසර දෙකක් තුළ එහි වටිනාකම දෙගුණයකින් වැඩි වීමකි. එවිට ඔවුන්ගේ වෙළෙඳපොළ තක්සේරුව ලෝකයේ දස වන විශාලතම ආර්ථිකය වන කැනඩාවේ දළ දේශීය නිෂ්පාදිතයට මෙන් ම රුසියාවේ සහ ස්පාඤ්ඤ ආර්ථිකයන්ට වඩා විශාල එකකි.

මෙසේ ඔවුන්ගේ වෙළෙඳපොළ තක්සේරුවේ ඉහළ යාම තව දුරටත් පාරිභෝගිකයා සහ සේවකයා යන දෙපාර්ශ්වයම සූරාකෑමට මං පෙත් විවර කරනු ලබන්නකි. ඉහත කී පරිදි සමාගම් වෙත මූල්‍ය ප්‍රතිලාභ ලැබෙමින් තිබිය දී, නිෂ්පාදනයන්ගේ වෙළෙඳපොළ වටිනාකම තව දුරටත් ඉහළ යමින් තිබේ. නවතම ගණනය කිරීම්වලින් පෙනී යන්නේ, ඩොලර් 1,100ත් 1,450ත් අතර සිල්ලර මිලකට අලෙවි කරන වඩාත්ම මිල අධික අයිෆෝන්වල උපාංග පිරිවැය, ඩොලර් 500ටත් වඩා අඩු බව ය. එහි සේවකයකු මසකට ලබන්නේ ඩොලර් 300ක පමණ වැටුපකි. ඒ අනුව එකලස් කිරීමේ ශ්‍රම පිරිවැය නොසැලකිය හැකි තරම් ය.

මෙම මිල ඉහළ යාම සම්බන්ධයෙන් ඇපල් සහ අනෙකුත් අධි තාක්ෂණ සමාගම් හේතු ලෙස දක්වන්නේ, එය පර්යේෂණ හා නවීකරණ කටයුතු හා සම්බන්ධ පිරිවැයේ ප්‍රතිඵලයක් බව ය. නව ‘ඇල්ගොරිදම්’ ආදිය සංවර්ධනය කිරීම හා සම්බන්ධ පිරිවැයක් දැරිය යුතු බව පිළිගත හැකි කාරණයක් වුව ද, මූලික විද්‍යාත්මක පර්යේෂණවල ප්‍රතිඵල වශයෙන් අධි තාක්ෂණික සමාගම් නොමිලේ ලබා ගන්නා දෙය හමුවේ එය ඉතා සුළු පිරිවැයකි.

ඇපල් සමාගම මේ සඳහා එක් උදාහරණයක් පමණි. පොදුවේ ඇපල් සහ අනෙකුත් ව්‍යාපාරික දැවැන්තයන් වසංගතය නිසා ඇතිව තිබෙන මරණ හා ආර්ථික විනාශය මධ්‍යයේ, එක්සත් ජනපද මහ බැංකුව විසින් ලබා දී ඇති අතිශය ලාභ මුදල් ප්‍රයෝජනයට ගෙන සිදු කරමින් සිටින්නේ ‘කොල්ල කෑමේ ආර්ථික ප්‍රතිපත්තිය’ තව දුරටත් ශක්තිමත් කිරීම ය●

සුධීර ඉද්දමල්ගොඩ

Leave A Reply

Your email address will not be published.

12 − eleven =