අපරාධ සල්ලි හුවමාරු කළ බැංකු නිලධාරියෝ

බන්ධනාගාරයේ සිට සමාජයේ නොයෙක් අකටයුතුකම් කළ පාතාල නායකයන් හා මත්කුඩු ජාවාරම්කරුවන් ආරක්ෂක අංශවලට කොටුවන පුවත් දිගටම වාර්තා වෙමින් තිබේ. මේ වන විට ක්‍රියාත්මක කර ඇති අපරාධ මර්දන සැලසුම ප්‍රකාරව මෙලෙස බන්ධනාගාරයේ සිට වැඩ පෙන්වූ අපරාධකරුවන්ගේ ගෝලයන් පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ විසින් අල්ලා ගනිමින් සිටිනු ලැබේ.

  • පිළිගත් පුද්ගලයන් රැසක් අපරාධකරුවන්ගේ මුදල් තමන්ගේ ගිණුම් හරහා සංසරණය කරලා
  • සියයට 5 බැගින් කොමිසුත් අරගෙන

අපරාධ සාමාජිකයන්ගේ ක්‍රියාකාරකම් හා අපරාධ වර්ධනය වීමට හේතුවක් වූයේ ඔවුන්ට බන්ධනාගාරය තුළින් හා පිටත සිටින පොලිස් නිලධාරින්ගේ මෙන්ම දේශපාලනඥයන්ගේ ද සහාය ලැබීම නිසාවෙනි. පාතාලයට අවශ්‍ය පහසුකම් හා සහාය සැපයුවේ මේ පිරිස ය. ඒ සියලු දෙනා කවුරුන් දැයි බුද්ධි අංශය, ආරක්ෂක අංශ හා දේශපාලඥයන් නොදන්නවා නොවේ.

නමුත්, දැන් ඔවුන් අත්අඩංගුවට ගන්නේ ඉහළින් ලැබෙන පීඩනය මත ය. කෙසේ නමුත්, පසුගිය මහ මැතිවරණය සමයේ දේශපාලනඥයන්ට උදවු උපකාර කළ පාතාල කල්ලි සාමාජිකයකු හෝ ඔවුන්ගේ ගෝලයකු හෝ අත්අඩංගුවට ගැනීමක් නම් දැක ගැනීමට නොහැකි විය.

‘කිඹුලා ඇළ ගුණා’, ‘දෙමටගොඩ චමින්ද’, ‘දෙමටගොඩ රුවන්’, ‘වෙලේ සුදා’ වැනි අයගේ ගෝලබාලයන් ඉකුත් මහ මැතිවරණයේ දී ඇතැම් අපේක්ෂකයන්ට උදවු උපකාර කළ අතර, ඒ ගැන බුද්ධි අංශ ද ඉහළට වාර්තා කර තිබිණි. පාතාලය මර්දනය කිරීමට වත්මන් ජනාධිපතිවරයා ගෙන ඇති පියවර තුළ ඉහත කී අපරාධකරුවන්ගේ ගෝලබාලයන් හසු නොවන්නේ මන් දැයි ගැටලුවක් පැන නැගේ.

‘කිඹුලා ඇළ ගුණා’, ‘දෙමටගොඩ චමින්ද’, ‘දෙමටගොඩ රුවන්’, ‘වෙලේ සුදා’ වැනි අයගේ ගෝලබාලයන් ඉකුත් මහ මැතිවරණයේ දී ඇතැම් අපේක්ෂකයන්ට උදවු උපකාර කළ අතර, ඒ ගැන බුද්ධි අංශ ද ඉහළට වාර්තා කර තිබිණි. පාතාලය මර්දනය කිරීමට වත්මන් ජනාධිපතිවරයා ගෙන ඇති පියවර තුළ ඉහත කී අපරාධකරුවන්ගේ ගෝලබාලයන් හසු නොවන්නේ මන් දැයි ගැටලුවක් පැන නැගේ.

ඉහත කී ගෝලබාලයන් වර්තමානයේ පාර්ලිමේන්තුවට ආණ්ඩු පක්ෂයෙන් මෙන්ම විපක්ෂයෙන් තරග කොට පත්ව සිටින අපේක්ෂකයන්ගේ රැස්වීම් සංවිධානය කිරීමට, කටවුට්, බැනර් ගැසීමට සෘජුව සම්බන්ධ වී සිටි අය වුවත්, ඔවුන් පිටුපස නීතිය එළවනු තවමත් දැක ගත නොහැකි ය. ඒ නිසා ‘එක නීතියක්’ යන ආණ්ඩුවේ සංකල්පය එක් පාර්ශ්වයකට පමණක් ද යන ප්‍රශ්නය මතු වෙමින් තිබේ.

හෙරොයින් ජාවාරම හා පාතාල සාමාජිකයන් සියයට 100ක් පාලනය කළ නොහැකි වුව ද, එය සාධනීය ලෙස මර්දනය කරනු ඇතැයි ජනතාව නව ආණ්ඩුවෙන් බලාපොරොත්තු වන ප්‍රධාන කාරණයකි.

ආරක්ෂක අංශ විසින් මේ දිනවල කරගෙන යන වැටලීම්වල දී විශේෂයෙන්ම අපරාධකරුවන් හා හෙරොයින් ජාවාරම්කරුවන්ගේ මුදල් පරිපාලනය කළ අය ද අත්අඩංගුවට ගනු ලබන්නේ ය. ඒ අතර බැංකුවලට සම්බන්ධ නිලධාරීන් මෙන්ම පිළිගත් රැකියා කරන පිරිසක් ද අත්අඩංගුවට පත්ව තිබේ. සමාජයේ පිළිගත් කොටසක් මෙලෙස අත්අඩංගුවට පත් වන්නේ අපරාධකරුවන්ගේ කෝටි ගණනක මුදල් තමන්ගේ ගිණුම් හරහා සංසරණය වීමට ඉඩ සැලසීම තුළ ය.

ඔවුන් කෝටි ගණන් මුදල් හුවමාරු කළ ද, අවසානයේ ඔවුන්ගේ ගිණුම්වල ඉතිරි කොටගෙන ඇත්තේ, රුපියල් 50,000.00ක් වැනි ඉතා අඩු මුදල් ප්‍රමාණයකි. කෙසේ නමුත්, මෙලෙස මුදල් සංසරණය වෙද්දී සියයට 5ක කොමිස් මුදලක් ගිණුම් හිමිකරුට ලැබෙයි. සිය ගිණුම් හරහා මුදල් සංසරණය කරන පුද්ගලයාගේ ගිණුමේ මුදල් නොමැති නිසා ඔවුන් සතු දේපොළ රාජසන්තක කිරීමට පොලිසිය කටයුතු කළ යුතු ය. පොලිසිය මෙය මාධ්‍ය සංදර්ශනයකට පමණක් සීමා නොකොට මෙවැනි දේ කිරීමෙන් අපරාධකරුවන්ට උදවු කරන පිරිස් අධෛර්ය කළ හැකි වේ.

මේ අතර තවත් ප්‍රධාන පෙළේ අපරාධකරුවකු වන ජනිත් මධුසංඛ සිල්වා නොහොත් පොඩි ලැසී නමැත්තාගේ මව හා ගෝලයකු පසුගිය දින හෙරොයින් හා ගිනි අවි සමඟ අත්අඩංගුවට පත් විය. නමුත්, පොඩි ලැසීගේ මවගේ ගිණුමේ තිබී ඇත්තේ, රුපියල් 5,000.00ක මුදලක් පමණකි. ඇය වෙනත් පුද්ගලයන් උපයෝගී කර ගනිමින් මුදල් සංසරණය ජයටම කරගෙන ගොස් ඇත. එය තහවුරු කර ගැනීමට උසාවි නියෝග ලබාගෙන තවත් තැනැත්තන් රැසකගේ බැංකු ගිණුම් පරීක්ෂා කිරීමට පොලිසියට සිදුවිය.

පාතාල මර්දන ක්‍රියාවලිය හේතුවෙන් පිරිසක් මේ වන විට නොයෙක් මාර්ග ඔස්සේ රටින් පලා යාම ආරම්භ කර ඇත. පසුගිය 23 වැනි දින ඩුබායි බලා යාමට කටුනායක ගුවන්තොටුපොළට පැමිණි ‘වැල්ලේ සාරංග’ ඇතුළු අපරාධකරුවන් හතර දෙනකු පොලිස් අත්අඩංගුවට පත් වන්නේ අපරාධ කොට්ඨාසය ලද තොරතුරක් මත ය.

මීට අමතරව තවත් පාතාල අපරාධකරුවන් පිරිසක් මන්නාරමේ සිට ධීවර බෝට්ටු මඟින් ඉන්දියාවට පලා ගොස් ඇති බවට ද බුද්ධි අංශ වෙත තොරතුරු වාර්තා වී ඇත. ඔවුහු මේ වන විට ඊට අදාළ පරීක්ෂණ පවත්වමින් සිටිති.

අල්ලා ගන්නා ලද හෙරොයින් යළි ජාවාරම්කරුවන්ට අලෙවි කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් හෙරොයින් අලෙවි කරන ලද බව කියන බඩෝවිට හෙරොයින් ජාවාරම්කරුවකු ද රුපියල් ලක්ෂ 50ක මුදලක් වැය කර ධීවර බෝට්ටුවකින් ඉන්දියාවට පලා ගොස් ඇති බවට මේ වන විට තොරතුරු තහවුරු කරගෙන තිබේ.  මෙලෙස පසුගිය ආණ්ඩුව යටතේ විදෙස්ගත වූ අපරාධකරුවෝ පිරිසක් ද සිටිති. ඒ අතර මුලින්ම නම කියවෙන්නේ ‘අංගොඩ ලොක්කා’ හා ‘ලඩියා’ යන දෙදෙනා ය. මෙම අංගොඩ ලොක්කා ඉන්දියාවේ දී ඝාතනය වී ඇති බවට පසුගිය දා වාර්තා පළ විය. මීට අමතරව පොලිස් පරීක්ෂක රංගජීවට වෙඩි තැබූ බවට සැක කෙරෙන ‘අසිත’ නමැත්තා ද, ඔහුට සහාය දුන් බව කියන ‘නවාස්’ ඇතුළු පිරිස ද බෝට්ටු මඟින් ඉන්දියාවට පලා ගිය අපරාධකරුවන් ය.

නාකොටික් නිලධාරීන්ගේ හෙරොයින් ජාවාරම ගැන තොරතුරු රැසක් මේ වන විට හෙළිදරවු වෙමින් පවතියි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරන ප්‍රශ්න කිරීම් හමුවේ හෙළි වන තොරතුරු මත සී.අයි.ඩී.ය ඉකුත් දා රත්ගම ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කළ අතර, එහි තිබී රුපියල් කෝටි 11ක් පමණ වටිනා හෙරොයින් කිලෝග්‍රෑම් 11ක්, ටී. 56 ගිනි අවි 2ක්, මි.මී. 9 වර්ගයේ ගිනි අවි 2ක් හා පතොරම් රැසක් අත්අඩංගුවට ගනු ලැබී ය.

‘පොඩි ලැසී’ මේ වන විට බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින අතර, පසුගිය වසරේ අගෝස්තු මාසයේ දී වෙඩි තබා බන්ධනාගාර ජේලර් වීරසිංහ ඝාතනය කරන අතර, එය එහිම නිල ඇඳුම් අඳින නිලධාරියකුගේ අවශ්‍යතාවට කළ බවට ප්‍රචාරය වුව ද, එහි පරීක්ෂණ ද ඉන් ඉදිරියට ගොස් නැත. ‘පොඩි ලැසී’ හෙරොයින් අලෙවියෙන් හා අපරාධවලින් සොයා ගන්නා මුදල් අත දිගහැර වියදම් කරමින්, පරීක්ෂණ යට ගසා ඇති බවට මේ වන විට අනෙකුත් බන්ධනාගාර නිලධාරීන් අතර පවතින කසුකුසුවකි.

ජේලර්වරයාගේ ඝාතනයට අදාළ සත්‍ය තොරතුරු හෙළිදරවු කර ගැනීමට නම්, මෙම පරීක්ෂණය ගාල්ලෙන් ඉවත් කොට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැනි විශේෂ ඒකකයකට භාර දිය යුතු බව බන්ධනාගාර නිලධාරීන්ගේ අදහසයි.

ජනිත් මධුශංඛ සිල්වා නොහොත් පොඩි ලැසී අපරාධකාරයකු වන්නේ සිය මවගේ මඟපෙන්වීම යටතේ ය. සිය පියාගේ ඝාතකයන්ගෙන් පළිගැනීම සඳහා ඔහුගේ මව පොඩි ලැසී අපරාධකරුවකු බවට පත් කරන්නේ ය. පොඩි ලැසී මෙපමණ කලක් කරගෙන පැමිණි සියලු අපරාධ කටයුතු සම්බන්ධීකරණය කරනු ලැබුවේ ඔහුගේ මව විසිනි.

බන්ධනාගාරගතව සිටින පොඩි ලැසී සිය මවට හා බිරිඳ ඇතුළු දරුවන්ට ජීවත් වීමට පන්නිපිටිය මායා මාවතෙන් දෙමහල් නිවසක් මිල දී ගන්නේ ඉකුත් වසරේ දී ය. ඔහු එය මිල දී ගන්නේ ‘වට්ස්ඇප්’ තාක්ෂණය ඔස්සේ බන්ධනාගාරයේ සිට වීඩියෝ කෝල් පහසුකම භාවිත කරමිනි. මව එහි සිට ව්‍යාපාර කටයුතු මෙහෙයවා ඇති අතර, සමාජයට පෙන්වා දී ඇත්තේ විදේශගත වූ උසස් රැකියාවක් කරන්නකුගේ බිරිඳක් ලෙසිනි.

බිරිඳ හා දරුවන් එහි ස්ථිර පදිංචිකරුවන් නොවූ අතර, මවගේ හා දරුවන්ගේ ප්‍රයෝජනය වෙනුවෙන් සුඛෝපභෝගී වාහන දෙකක් ද ඔහු බන්ධනාගාරයේ සිට මිල දී ගෙන ලබා දී තිබේ. ඇයගෙන් හා නීල් නමැති ලැසීගේ ගෝලයාගෙන් මේ වන විට පොලිසිය ප්‍රශ්න කරමින් සිටියි.

ඉකුත් කාලය පුරාම පොලිසිය පාතාල ගිනි අවි සොයා ගත්තේ සෙල්ලම් භාණ්ඩ සොයා ගන්නාක් මෙනි. ඉකුත් මාස 06ක කාලය තුළ දී පොලිස් විශේෂ කාර්ය බළකාය මෙන්ම පොලිසිය ද ගිනි අවි 200කට අධික සංඛ්‍යාවක් සොයාගෙන ඇත. මෙතරම් ආයුධ තබා ගැනීමෙන් පෙනී යන්නේ යුද්ධයක් කිරීමට තරම් ආයුධ පාතාලය සතුව තිබූ බවකි. මන්ද, පොලිස් අත්අඩංගුවට පත් ගිනි අවි අතර සෑම වර්ගයකට ම අයත් ගිනි අවි තිබූ බැවිනි.

පසුගිය දා නීති විරෝධී ගිනි අවි භාර දීමට පොදු සමා කාලයක් ලබා දුන්න ද, එම කාලය තුළ දීවත් මෙතරම් ගිනි අවි තොගයක් ලැබුණේ නැත. නමුත්, මෑතක දී සිට මෙලෙස ගිනි අවි හමු වන්නේ හමුදා නිලධාරීන් ගිනි අවි පාතාලයට මුදලට විකිණීමේ කාර්යයේ නිරතව සිටින බැවිනි. එහි දී වැඩිම ගිනි අවි තොගයක් සොයා ගනු ලැබුවේ, කොස්ගොඩ තාරකගේ ගෝලයකු වන ‘පොට්ට කපිල’ ළඟ තිබිය දී ය. හමුදා සාමාජිකයෝ ගිනි අවි විකුණා ඇති අතර, මාධ්‍යවේදියකු මැදිහත්ව ඒවා ප්‍රවාහණය කළ අතර, පොලිසියේ කිහිප දෙනෙක් ඒවා සඟවා තබා ගත්හ. ඉතිහාසයේ පළමුවරට මාධ්‍යවේදීන් පාතාල ගිනි අවි ප්‍රවාහණය කළ බවට වාර්තා වන්නේ මෙම සිද්ධියෙනි.

එම පරීක්ෂණයේ දිගුවක් ලෙස තවත් මාධ්‍යවේදීන් දෙදෙනකු ගැන ද රහස් පොලිසියට තොරතුරු වාර්තා වූ අතර, ඉන් එක් මාධ්‍යවේදියකු රැකගැනීමට එම මාධ්‍ය ආයතනය දැඩි පරිශ්‍රමයක් දරමින් සිටියි. ඔහුට ඇති දේශපාලන හයිය මත එය කළ හැකි වෙතැයි මේ වන විට තොරතුරු වාර්තා වෙමින් පවතියි●

ලසන්ත වීරකුලසූරිය

Leave A Reply

Your email address will not be published.

10 − six =