වැළඳගැනීම වෙනුවට අත්හැරීමේ ආදරය ‘‘පාංශු’’

 

ඕනෑම යුදමය හෝ කැරලිකෝලාහලමය වාතාවරණයකදී රජයන අරාජිකත්වය විසින් මතු කෙරෙන සංකූලතා, ව්‍යාකූලතා අපමණය. සුප‍්‍රසිද්ධ කියමනක් ලෙස බොහෝ දෙනා සිහිපත් කරන ‘‘යුද්ධයකදී පළමු වෙඩි උණ්ඩය එල්ල වන්නේ සත්‍යයට’’ යයි කීම පැරණිය. අතිශය සම්ප‍්‍රදායිකය. ඒ වෙනුවට ජාත්‍යාලය, දේශාභිමානය, රට රැකීම, රණවිරුවා ආදී කුමන සරුව පිත්තල වචන ගොන්නකින් වසා දැමුවද, ‘කෙතරම් ම්ලේච්ඡ නිහීන, අමන යුද්ධයක හෝ සිවිල් කැරලිකාරි භීම යුගයක වුව මනුෂ්‍යත්වය හමුවිය හැකිය’’ යන්න අලූත්ය. එය කුනු කානු ගැට්ටේත් ආදරය හමුවිය හැකිය යන සුන්දර බලාපොරොත්තුව තීව‍්‍ර කරන්නකි. 88-89 භීෂණ යුගයේ අදුරු සෙවනැලි මතින් තවමත් නොසන්සිෙදන මනුෂ්‍යත්වයකට ඉව අල්ලන විසාකේස චන්ද්‍රසේකරම්ගේ ‘‘පාංශු’’ චිත‍්‍රපටය 2019 නොවැම්බර් 16ට පසු අලූත් ශ‍්‍රී ලංකාව තුළ කියවා ගැනීම අතිශය වැදගත්ය. ‘‘සිනමාකරුවන් එල්ලා මැරිය යුතු යයි පම්පෝරි ගැසූවන් මහජන නියෝජිතයින් ලෙස අග නගරයේ මනාප ලැයිස්තුවේ අංක 1ට තේරී පත්වී ඇති රටක, තවමත් ලේ සුව`දට ඉව අල්ලන ලේ මාපිලූන් තමන්ගේ පම්පෝරිය තමන්ට රිසි සේ කීම පමණක් සිනමාව යයි ඒත්තු ගන්වමින් සිටින මොහොතක පේ‍්‍රක්ෂාගාරය මේ අයුරින් සලිත කරවීම සැබෑ ආශ්චර්යයකි.

පීඩිතයාට පීඩිතයා හමුවීම
විසාකේසගේ චිත‍්‍රපටයට පාදක වන්නේ 88-89 භීෂණ යුගයයි. විමුක්ති දේශපාලනයට මාර්ගය වැටී ඇත්තේ ආයුධ සන්නද්ධ විප්ලවීය ක‍්‍රියාදාමයකින් යයි අර්ථයක් ඉතිරිව තිබූ යුගයක දකුණේ තරුණ නැ`ගිටීම් නියෝජනය කරන තරුණයෙකු පැහැරගෙන ගොස් ඝාතනය කරනු ලබන්නේ රජයේ ආරක්ෂක අංශ විසිනි. තරුණයාගේ මව ස්වකීය පුතු සොයමින් හා පුතුට සාධාරණය ඉටුකරනු පිණිස පොලිසි, උසාවි, රෝහල්, බන්ධනගාර ආදියේ රස්තියාදු ගහන අතරම පන්සල්, පල්ලි, දේවස්ථාන වල ‘නොපෙනන’ ද්ව්‍ය අණක් කෙරෙහිද එකසේ විශ්වාසය තබමින් සැරිසරනු පෙනෙයි. ප‍්‍රතිවිරෝධයන් සමූහයක සංකීර්ණ ප‍්‍රපංචයක් වන සමකාලීන ලාංකිකයාගේ දෘෂ්ඨිවාදී පැවැත්ම මෙහි මැනවින් නිරූපනය වෙයි.
පහල පාන්තික, ග‍්‍රාම්‍ය මෙන්ම බොහෝ විට කුල පීඩිත ස්ථරය නියෝජනය කරන වැඩිදුර අධ්‍යාපනයක් ලැබීමට නොහැකිවූ තරුණයින්ට එකල හිමි එකම රැකියාව වූයේ හමුදාවට බැඳීමයි. මෙකල එය ඇඟලූම් ක්ෂේත‍්‍රය, ත‍්‍රී රෝද රථ රියදුරු ආදී ලෙස තරමක් ප‍්‍රසාරණය වී තිබේ. කෙසේ නමුත් මෙවන් පහල පාන්තික තරුණයින්ගේ හීනමානය යම් තාක් දුරට හෝ සමනය කරදෙනු ලැබුවේ ඊනියා ‘‘රණවිරු’’ සංකල්පයයි. ‘‘රණවිරු’’ යන වචනය අද පවත්නා අර්ථයෙන් එකල නොතිබුණද, ඊනියා ‘‘රට රකින්නා’’ යන අභිමානවත් සර්ව පිත්තල වචන කැටයමින් පුම්බා උඩ ඇරීම ඒ අයුරින්ම පැවතිණි. එහි පරිසමාප්තිය සලකුණු වන්නේ 2019 නොවැම්බර් 16 දාය. තම පැවැත්ම උදෙසා සොල්දාදුවන් ට ලණු දී කඬේ යවා ගැනීම, තමන්ගේ බිලි බෝයිලා ලෙස නඩත්තු කිරීම කොයි රටෙත් කුමන පාලකයාත් රිසි සේ සිදුකර තිබේ. එය තවදුරටත් සිදුකරනු ලැබේ. එයට රාජපක්ෂලා හෝ පේ‍්‍රමදාසලා යයි නමින් වෙනසක් තිබිය නොහැකිය.

මෙම චිත‍්‍රපටය තුළ ද චිත‍්‍රණය කර ඇති පරිද්දෙන් ම කැරලිකරුවන් පැහැරගැනීමට හා ඝාතනය කිරීමට අදාළව පැවැත්වෙන නඩු විභාගයේදී විත්තිකරුවන් ලෙස කුඩූවට නැගීමට සිදුවන්නේ පීඩිත පංතියේ සොල්දාදුවාට මිස අදාළ ඝාතනයන්ට අණ දුන් හා ඒවා සැලසුම් කළ ඉහළ පාන්තික ආරක්ෂක නිලධාරී පැළැන්තියට නොවේ. තරුණ නැඟිටීම් නියෝජනය කරනු ලැබුවේද පීඩිත පංතියේම තරුණයින්මය. තරුණ සන්නද්ධ ව්‍යාපාරය පිළිබඳ විවේචන දහසක් තිබියදී වුවද, ඔවුන් නැගී සිටියේ පුද්ගලික ලාභ ප‍්‍රයෝජන සඳහා නොවන බවද අප සිහිපත් කළ යුතුය. ඒ අනුව චිත‍්‍රපටයේ අධිකරණය යනු ධනපති නීතියේ පිළිඹිබුවවක්ව තිබියදීම පීඩිතයාට පීඩිතයා අභිමුඛ කළ මොහොතකි. දේශපාලනයට ‘‘දේශපාලනිකය’’ මුණගැස්වූ නිමේෂයකි. මන්දයත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී අර්ථ සහිත නීතිය, අධිකරණය, සමානාත්මතාවය, යුක්තිය, මානව හිමිකම් ආදී වූ සකලවිධ සංකල්පවල දේශපාලන අර්ථගත මතුපිට ව්‍යුහය ඉරිතලා එහි පදනමේ අශ්ලී්ල රහස් එකඟතාව සංකේතවත් කිරීමකි. එය ‘‘මට මගේ පුතා නැතිවුණා. ඉපදෙන්න ඉන්න පුතෙකුට තාත්තා කෙනෙක් නැති කරන්න මට බෑ’’ හෝ ‘‘ ගිය දේ ගියාවේ’’ කියා සුසුමක් හැර හිත සැහැල්ලූ කරගැනීමට බබා නෝනා නමැති මවට ඉඩහසර ලබාදීමට වඩා වැඩි යමකි. එහෙත් චිත‍්‍රපටයේ අධ්‍යක්ෂවරයා විසින් බාබා නෝනා ලවා ‘‘ඉබා ගාතේ සැරිසරන මගේ පුතාගේ ආත්මයට ප‍්‍රතිසන්ධියක් ලබාදිය යුතු නිසා මං එයාට සමාව දෙන්න තීරණය කළා’’ යයි නොකියා සිටියේ නම් වඩා හොඳය. ඒ එය කෙතරම් විඥානවාදී ආස්ථානයකට තල්ලූ කරන්නේද, යන්න නිසා නොව මහ පොළොවේ දෙපයින් සිටගත් පීඩිත පංතියේ ගැහැනියකට නොපෙනන භූතාත්ම වෙනුවට පෙනෙන යථාර්ථයක මනුෂ්‍යත්ව උද්දීපනය කරන්නට, එය ස්වයං සිද්ධව සිදුකෙරෙන්නට තවදුරටත් අවකාශය සලසා දිය යුතුව තිබුණු නිසාය. පළාත් සභාවට තරග කිරීම නිසා අසල්වැසි කාන්තාවක ඝාතනය කිරීමෙන් පසු අදාළ ගිනි අවිය (සාක්ෂි) විනාශ කිරීම වෙනුවෙන් මධ්‍යම රාත‍්‍රීයේ ගිනි අවිය ඇඳුමේ රුවාගෙන, උඩුබැලිව ගඟේ ඉමට පිහිනා රොන් මඩ අතර ගිනි අවිය රුවා ඒමට තරම් දිරියක් තිබූ ගැහැනියකගෙන් එවන් කරුණු සාක්ෂාත් කර තීන්දු ගැනීමක් මිස බොළඳ ආගමික සිහිනයක දැපනේ වැටී සිටීමක් අපේක්ෂා කිරීමට මසිත් නොදෙන නිසාය. කෙසේ වෙතත් එය අධ්‍යක්ෂවරයාගේ තෝරා ගැනීමකි.
පීඩිතයාට පීඩිතයා මුණ ගස්වන අතරේම ඉතිහාසය මුළුල්ලේම පීඩිත පංතිය තුළම තවත් පීඩිත ස්ථරයක තබා ඇති ස්ත‍්‍රීයට, ස්ත‍්‍රීය අභිමුඛ කිරීමත්, එම බැඳීම විසින් සමස්ත චිත‍්‍රපටයේම ආඛ්‍යානය වෙනස් කිරීමත් විසාකේසගේ සිනමා ඇසෙහි, වඩා නිර්මාණාත්මක හා දේශපාලනික ආස්ථානය නිවරදිව ස්ඵුට කරන්නකි.
‘‘නැන්දෙ එයාගෙ තරු ඔක්කොම ගැලෙව්වා. එයාට නින්ද යන්නෙ නැති ලෙඩක් තියෙනවා. එයාට ඇඳුමේ මුත‍්‍රා යනවා’’ සොල්දාදුවාගේ ගැබ්බර බිරිඳ ගේ ප‍්‍රකාශයත්, ඇයගේ හැඟුම්බර මුහුණත් ශිෂ්ටාචාරය පුරාවට ඇය විසින් ස්ත‍්‍රීයක ලෙස දරාගත් වේදනාව එක් මිටකට පිඩුකොට දක්වයි. සැබවින්ම නීටා ප‍්‍රනාන්දුගේත්, නදී කම්මැල්ලවීරගේත් රංගනය අතිවිශිෂ්ටය. දෙදෙනාගේ රංගනයන්හි එක් අවස්ථානෝචිත බැල්මක් වචන දහස් ගණනක ඉතිහාස පාඩමක් වැනිය.

2019 නොවැම්බර් 16ට පසු
නූතන සිංහල බෞද්ධ රාජ්‍යයේත්, වීරාභිවාදන දේශපාලන ආගමනයේත් අවසානයේ ආරම්භය සනිටුහන් වූයේ 2029 නොවැම්බර් 16 දාය. ඒ එදින පැවති ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග‍්‍රහණය කිරීමෙනි. එහි පරිසමාප්තිය ඉකුත් මහ මැතිවරණයේදී පොහොට්ටු පක්ෂයේ විජයග‍්‍රහණය සමගින් සනිටුහන් විය. චිත‍්‍රපටය විසින් මේ මොහොත පිළිබඳ කෙරෙන ඉඟි කිසිසේත්ම අත්හළ නොහැකිය. චිත‍්‍රපටයේ පසුබිම් කතාව තුළ 80 දශකයේ අග භාගයේදී තරුණ නැඟිටීම් නියෝජනය කළ තරුණයින්ට ආගමික සංස්ථාවෙන් (බුදුන්ගේ නොව) පවා කිසිදු හව් හරණක් නොලැබිණි.
‘‘චේ ගුවේරාකාරයින්ට මොකටද ඕවා’’ වේලාපත්කඩය බලා ගැනීමට පැමිණි බබානෝනාට පන්සලේ හාමුදුරුවන්ගෙන් ලැබෙන්නේ නොපනත් ක‍්‍රියාවන් හා නොතකා හැරීම් පමණක් නොවේ. නීතිය ඉදිරියට සොල්දාදුවන් ගෙන ඒම පවා හාමුදුරුවන්ගේ දැඩි දෝෂ දර්ශනයට ලක්වෙයි.
‘‘එහේ යුද්ධ කර කර හිටපු එවුන් මෙහේ නිකරුනේ උසාවි ගානේ රස්තියාදු කරවනවා’’ ඒ උන්නාන්සේගේ උදාන වැකියයි.
ඉකුත් ජනාධිපතරවරණයේදී පොහොට්ටු පාක්ෂිකයින්ගේ ප‍්‍රධානතම සටන් පාඨයක් වූයේ ඊනියා ‘‘රණවිරු දඩයමයි’’. එයට වලංගු භාවයක් ලැබී තිබුණේ පැවති යුදමය වාතාවරණය හමුවේ යුද අපරාධ සිදුකළ මෙන්ම ‘යුද්ධාභිවන්දනා’ දෘෂ්ටිවාදයට මුවාවී කප්පම් ගැනීම්, මනුෂ්‍ය ඝාතන, පැහැර ගැනීම් මෙන්ම හොරකම් දුෂණ සිදුකළ කුලී හේවායන් බොහෝ දෙනෙකුට එරෙහිව නීතිමය ක‍්‍රියාමාර්ග ආරම්භවී තිබීම හේතුවෙනි. එහෙත් ඒ සියලූදෙනාටම නීතිය ඉදිරියේ නිදොස් කොට නිදහස්වීමේ වරප‍්‍රසාදය දැන් හිමිව තිබේ. ඒ ‘‘දේශපාලන පලිගැනීම් සඳහා වූ ජනාධිපති කොමිසම’’යි. උතුරේ යුද්ධය තිබියදී දකුණේ කප්පම් ගත්තවුන් පවා තමාට සිදුවූයේ ‘‘දේශපාලන පලිගැනීමක්’’ යයි ඒත්තු ගන්වා දෑත් පිරිසිදු කර ගැනීමේ ව්‍යායාමයක නිරතවී සිටියි. උතුරේත්-දකුණේත් අතුරුදහන් කෙරුණු තම පුතුන් වෙනුවෙන් යුක්තිය ඉල්ලා හඬ නැඟූ බබා නෝනලා තම අඩිය පියවර කිහිපයක් පසු පසට ගනිමින් තිබේ. මෙම ක‍්‍රියාදාමයේ අවසාන අර්ථය වන්නේ ඊනියා ‘‘රණවිරු උත්කර්ෂයේ’’ක්ෂණික මෝචනය සිදුවීමයි. එනම් තවදුරටත් රණවිරු දඩයමට කිසිදු අර්ථයක් ඉතිරි නොවීමයි. ඒ අනුව පැහැදිලිවම එක් සටන්පාඨයක්, එක් යුගයක් නිමාවෙමින් තිබේ. ‘‘පාංශු’’ විසින් 80 දශකයේ අගභාගයේ සලකුණු කළ යථාර්ථයක් 2020 දි යළි ප‍්‍රාදුර්භූතව එහි පරිසමාප්තියක් කරා රැගෙන යමින් තිබේ. පළාත් සභා අහෝසි කළ යුතු යයි මැතිවරණයේදී හඬ නැඟූ එවන් හිටපු ඊනියා රණවිරුවෙකු මේවන විට ‘‘පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය’’ ධූරයෙන් පිදුම් ලබා එහි ආරක්ෂකයා බවට පත්ව තිබීම විසින් එය නිර්ලජ්ජිතව පසක් කරවයි.
හෙන්රි ජයසේනගේ ‘‘හුණුවටයේ කතාව’’ තුළ ගෘෂා සීමාවේ තර්කනය අභියෝගයට ලක්කරමින් බදා වැළඳ ගැනීම වෙනුවට ආදරය වෙනුවෙන් අත්හැරීම තෝරා ගනියි. එනම් ඇය එකී තීන්දුව ගනු ලැබවේ ‘නව උපතක්’ වෙනුවෙනි. නටාලියා ජීව විද්‍යාත්මක මව වුවද, ඇයට දරුවා අවශ්‍ය වූයේ අනන්‍යතාවක් (බල දේශපාලනය) වෙනුවෙනි. නටාලියා පොළොව සමග සැබෑ ලෙස අනන්‍යවී නොසිටීමේ ප‍්‍රමෝදයේ හිඩැස තුළ ගෘෂා සැබෑ මවගේ භූමිකාව ඉටු කරනු ලැබුවේ යම් සේක්ද, ඒ අයුරින්ම මෙම චිත‍්‍රපටය තුළ බබා නෝනා රාජ්‍ය අධිකාරිය තුළ මනුෂ්‍යත්වය හෝ ආදරය ඉතිරි නොකිරීමේ හිඩැස තුළ තමාගේ ආදරයේ අනන්‍යතාව සනිටුහන් කරයි. වෙනස වන්නේ නටාලියා මෙන් සොල්දාදුවාගේ බිරිඳ මහ පොළව සමග හොඳින්ම අනන්‍යව සිටීම පමණයි. එබැවින් මෙය ගැහැනුන් දෙදෙනකුගේ මනුෂ්‍යත්වය හා ආදරය පිළිබ`ද කතාවකි.

අලේන්බදුයු සිය The meaning of SARKOZY කෘතියේ දේශපාලනිකව අල්වා ගත හැකි ලක්ෂ්‍යයන් 8ක් ගැන පැහැදිලි කරයි. එහි සිව් වැන්න දැක්වෙන්නේ ‘ආදරය’ ලෙසයි. ‘‘සාකෝසි යනු කුමක්ද’’ යන මැයෙන් වංගීස සුමනසේකර විසින් කළ පරිවර්තනයේ එක් තැනක මෙසේ දැක්වෙයි.
‘‘ආදරය ප‍්‍රචණ්ඩය. වගකීම් විරහිතය. නිර්මාණශීලිය. එහි කාල පැවැත්ම පෞද්ගලික සංතෘප්තියට ඌනණය කළ හැකි නොවේ. එමගින් නව චින්තනයක් නිපද වෙන අතර එහි ඒකමතික අන්තර්ගතය තුළ අඩංගුවන්නේ වියෝජනය (disjunction) සහ එහි ප‍්‍රතිවිපාකයන්ය. (පිටුව-73)
එක් පසෙකින් පුතුගේ ඝාතනය දායක වූ අපරාධකරුවාට සමාව දෙන අතරේ අනෙක් පසින් පුතුගේ දේශපාලනය ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රවාහය තුළ ඉදිරියට ගෙනියන මුණුබුරාට ආදරය කැටිවූ වදනින් ආශිර්වාද කරයි. පුතුගේ ඇඳුම් ඔහුට ලබාදෙන්නේ,
‘‘ඕවායේ යන කොට හොඳට ඇඳගෙන යන්න එපායැ’’ කියාය. එම ඇඳුම් අතර ඇති කොටු වැටුණු කමිසය, අතීතයේ දිනක බබා නෝනාගේ පුතු බස් රථයේ අත් පත‍්‍රිකා බෙදූ අවස්ථාවේ ඇඳ සිටි කමිසය බැව් පේ‍්‍රක්ෂකයාට සිහිපත් කිරීමට තරම් සියුම් තැන් පවා අධ්‍යක්ෂවරයා විසින් අත් නොහරියි.
රුසියානු විප්ලවය අසාර්ථක වූයේ මන්දැයි ස්ලෙවා්ජ් ශිෂෙක් ගෙන් විමසූ විට ඔහුගේ ප‍්‍රතිචාරය වූයේ ‘‘ඒ තුළ මට පැහැදිලි කරන්න බැරි ගුප්ත අන්තර්ගතයක් පවතිනවා’’ කියාය. ‘‘පාංශු’’ තුළද කෙතරම් ලියා තැබුවද, පැහැදිලි කළ නොහැකි, අවසන් කළ නොහැකි ගුප්ත ඉතිරියක් හිස තුළ නිරන්තරයෙන් හොල්මන් කරයි.
-ප‍්‍රියාන් ආර් විජේබණ්ඩාර

 

Leave A Reply

Your email address will not be published.

3 × four =