සිංහරාජ වැඩපොළ ගැන පෙත්සමක් !

අත්‍යවශ්‍ය පාරක්
ලංකාගම ජනතාවට ඒ පාර අත්‍යවශ්‍ය ය. වැල් පාලම්, ඒදඬු ගැන කතා, කතන්දර පමණක් වුවද, ඔවුන්ට සමාන අයිතිවාසිකම් භුක්ති විඳීමේ අයිතියක් ඇත. දෙනියායෙන් ගියත්, නෙළුවෙන් ගියත් ලංකාගමට යන එක කතන්දරයකි. ගම ඇතුළේ මිනිස්සු දුක් විඳිති. පත්වූ සහ පත්වන හැම ආණ්ඩුවක් යටතේ ම ඔවුහු දුක් විඳිති. හැම ආණ්ඩුවකටම අයත් නියෝජිතයෝ ඔවුන්ට පොරොන්දු දෙති. එහෙත් ඉහත නගර දෙකෙන්ම දුරස්ව, හුදෙකලාව පිහිටි ලංකාගම ඉන්පසු ඔවුන් අමතක කර දමති. මේ හුදෙකලාව යනු කිලෝමීටර් සිය ගණනක් නොවේ. ලංකාගම සිට නෙළුවටත්, එහි සිට දෙනියායටත් ඇත්තේ කිලෝමීටර් පහළොව – විස්ස අතර දුරකි. සිංහරාජය මේ දුරස්කම නිර්මාණය කර තිබේ.
ලංකාගම යනු අලුතින් හැදුණු ගමක් ද නොවේ. වලගම්බා රජු සැඟවී සිටින කාලයේදී දළදාව රැගෙන මේ හරහා ගිය බව ජනප්‍රවාදයේ ඇත. එහෙත් මේ දුරස් බව පිළිබඳ තවත් කතාවක් ද ඇත. එනම් මේ හුදෙකලාවට හේතුව බෝවන රෝගයක් ව්‍යාප්ත වූ කාලයක, ඒ වෙනුවෙන් මෙහි රෝහලක් ඉදිකිරීම බවයි. කෙසේ වෙතත් ශ්‍රී ලංකාව නම් රාජ්‍යය තම ස්ථිර සේවකයෙකු වන ග්‍රාම නිලධාරිවරයෙකු පරිපාලනය සඳහා නිල වශයෙන් පත්කර ඇති පන්සීයකට වැඩි ජනගහනයක් සහිත ගම්මානයකි, මේ.
මාධ්‍යයට තහනම්
ලංකාගමට මාධ්‍යයට ඇතුළු වීම තහනම් ය. සාමාන්‍යයෙන් මේ මාධ්‍ය වාරණ වැඩේ කරන්නේ පොලිසිය හෝ හමුදාව මගින් ය. ඒ ආණ්ඩුවේ නියෝජිතයන්ගේ උපදෙස් මත ය. එහෙත් මෙහිදී තත්ත්වය වෙනස් ය.
‘මාධ්‍යයෙන් කැමරා දික්කරගෙන ආවොත් ගහනවා. අපෙන් වචනයක් අහන්නෙ නැතුව, ඒගොල්ලොන්ට ඔ්නෙ ඒවා පිටු ගණන් දැම්මා.’
ඔවුන් පොදුවේ ගමක් ලෙස ඒ තීරණයට පැමිණ ඇත. කඩේ මුදලාලිගේ සිට, පාසලේ ගුරුවරයාගේ සිට, වයරින් වැඩ කරන, තේ දළු කඩන, තේ දළු රැගෙන නගරයට යන සියල්ලන් ඒ තීරණයට පැමිණ ඇත.
‘ලංකා’ අප ලංකාගමට ගියේ හොරෙන් ය. මාධ්‍යවේදීන් ලෙස නොවේය. ඒ නිසා ම සිදු වූ වාසි මෙන්ම අවාසි ද ඇත. ඥාතිකම් සියල්ල අතර වුවද, ඔවුහු තවදුරටත් අප ව සැක කළහ. ඥාතියෙකු බලන්නට මේ වෙලාවේ පැමිණීම පවා ඔවුන්ට සැකයක් විය.
‘කොහෙන්ද ආවෙ… ඇයි මේ දවස්වලම ආවෙ… මොනවද කරන්නෙ… අතේ තියෙන්නෙ මොනවද…’
ඒ ප්‍රශ්න සියල්ලට පිළිතුරු දිය යුතු විය. ඒ ඔවුන්ගේ බලාපොරොත්තුව වෙනුවෙන් කරන සටනකි. ඒ සටන මෙහෙයවන හෝ ඊට උපදෙස් ලබා දෙන පාර්ශ්ව සිටිය හැකිය. ඔවුන් දේශපාලන අරමුණු වෙනුවෙන් ඒ උපදෙස් ලබාදෙනවා විය හැකිය. සියල්ල එසේ විය හැකි වුවද, ගමට පොදුවේ පාර හැදෙයි යන බලාපොරොත්තුවක් ඇත.
වසර ගණනාවක් රැවටුණා වෙනුවට, මේ පාර අඩු තරමේ පාර හැදීමේ වැඩ පටන්ගෙන තිබේ. ඒ ප්‍රාදේශීය සභාවෙන් හෝ මාර්ග සංවර්ධන අධිකාරියෙන් හෝ කොන්ත්‍රාත්කරුවන් හෝ නොවේ, හමුදාවෙන් ය. කොහොමත් ඔවුන්ට අවශ්‍ය වැඩේ ය. කරන්නේ කවුද, කොහොමද යන්න ඔවුන්ට අදාළ නැත.
හමුදාව යෙදවීම
කෙසේ වෙතත් රටේ තවත් මාර්ග හදන්නට තිබියදී, මාර්ග හදන ආයතන තවත් තිබියදී හමුදාවට මේ පාර දීම ගැටළුවකි. මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් චන්දන වික්‍රමසිංහ පැවසුවේ මෙවැනි මාර්ග කිහිපයක් සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට ඉල්ලීම් ඉදිරිපත් වී තිබූ බවත්, ඒ අතරින් මාර්ග සංවර්ධන ආයතනවලට ඉදිකිරීම් කළ නොහැකි, ඊට අදාළ සැපයුම් සපයාගත නොහැකි මාර්ග තෝරාගෙන ඒවා ඉදිකිරීමේ වගකීම හමුදාවට භාරදුන් බවත් ය. එම මාර්ග ඉදිකිරීමට අදාළ පරිසර ඇගයීම් වාර්තා සකස් කර ඇද්ද, ඒ සම්බන්ධයෙන් හමුදාවට වගකීමක් තිබේද යනුවෙන් කළ විමසීමේදී බ්‍රිගේඩියර්වරයා සඳහන් කළේ හමුදාව යොදවා ඇත්තේ ඉදිකිරීම් සඳහා පමණක් බවත්, ඊට අදාළ වාර්තා සකස් කිරීම ඇතුළු මූලික කටයුතු මාර්ග සංවර්ධනයට අදාළ රාජ්‍ය ආයතනවල වගකීමක් බවත් ය.
බ්‍රිගේඩියර්වරයාගේ ප්‍රකාශයේ වරදක් නැත. ඔවුන්ට වැඩක් පවරා තිබේ. ජනතාවගේ බලාපොරොත්තුවේ වරදක් ද නැත. ඔවුන්ට අවශ්‍ය වැඩේ සිදුවීම ය. එහෙත් අදාළ නීතිමය ක්‍රියාවලියට පිටින් යමක් වන්නේ නම්, එය ගැටළුවකි. නීතියේ ආධිපත්‍යය බිඳවැටීමකි. එය හරියටම කොවිඩ් 19 වසංගත කාලයේදී ඇඳිරි නීතිය පැනවූවා වගේ ය. ජනාධිපතිවරයාට අදාළ බලතල තිබේ. අවශ්‍ය වූයේ ගැසට්ටුවක් නිකුත් කිරීම පමණි. එහෙත් එය සිදු නොවීය. ඒ වෙලාවේ ඇඳිරි නීතිය පැනවීම අත්‍යවශ්‍ය ය. එහෙත් වැඩේ සිදුවූයේ නීතියේ ආධිපත්‍යයට ගරු කරමින් නොවේ. මෙහි තත්ත්වය ද එසේම ය. වැඩේ විය යුතුය.
ලංකාගම අපිළිවෙළ
එසේ පිළිවෙළට සිදු නොවන තවත් වැඩ රාශියක් ලංකාගම ඇත. උදාහරණයක් ලෙස ලංකාගම සෞඛ්‍ය මධ්‍යස්ථානයේ රාජකාරි භාරව සිටින වෛද්‍යවරයා එහි එන්නේ ඔහුට අවශ්‍ය වෙලාවට පමණි. සාමාන්‍යයෙන් පෙරවරු නවයේ සිට පස්වරු තුන දක්වාවත් ඔහු සෞඛ්‍ය මධ්‍යස්ථානයේ සිටිය යුතුය. එහෙත් ලංකාගම ජනතාවට අනුව මෙම වෛද්‍යවරයාගේ රාජකාරි වෙලාව ඇතැම් විට දිනකට පැයකි. දෙකකි. තවත් සමහර දිනවල ඇත්තේම නැත. ‘ඩොක්ටර්ට ෆැක්ටරි ගොඩක් තියෙනවා. ඒවගෙ වැඩ ඇති.’ තමන් පීඩාවට පත්වන දේට පවා ඔවුහු හේතු දක්වති. ලංකාගමට බස් වැඩ කරන්නේ සතියට එක දවසකි. ඒ නෙළුවේ සති පොළ පැවැත්වෙන සෙනසුරාදා විතර ය. ත්‍රීරෝද රථයක් ලංකාගම සිට නෙළුවට ගොස්-ආපසු එන්නට රුපියල් එක්දාස් පන්සීයක් ගනී. ඔවුන්ගෙන් අතිබහුතරයකගේ ආදායම තේ දළු කැඩීම ය. තමන්ටම කියා ඔවුන්ට ඇත්තේ පොඩි තේ කෑලි විතර ය.
ලංකාගම පාසල රාත්‍රී වන තුරු පැවැත්වේ. පාසලේ ගුරුවරු නේවාසිකව එහිම රැඳී සිටිති. එම නිසා ඔවුහු පාසලේ රෑ වන තුරු පන්ති පවත්වති. ඒ වෙනුවෙන් අය නොකරති. පාසලේ විභාග ප්‍රතිඵල ද ඉහළ ය. ටියුෂන් පන්ති යන්නට ගමේ දරුවන්ට හැකියාවක් නැත. ඊට හේතුව පාර ය.
‘පාර හැදුවට පස්සෙ ගුරුවරු හැමදාම ගෙදර යන්න ගනියිද දන්නෙ නෑ. එහෙම වුණොත් නම් ළමයි ඔය විදිහට ඉගෙනගන්නෙ නෑ.’
ඒවා කතා අතර ඇති බරපතළ කතා ය.
විනාශයේ තරම
අප ලංකාගමට ගියේ දෙනියාය පැත්තෙන් ය. මෙදේරිපිටිය, දොඹගොඩ, පිටදෙනිය හරහා ය. යතුරුපැදියකින් ඒ පාරේ යනවා කියන්නේ කොඳු ඇට අඹරවා ගැනීමකි. ඇතැම් තැනකදී ගලින් – ගලකට පනින්නට සිදු වේ. වතුර පාරවල් මැදින්, වළවල්, ගල් අතරින් ඒ පාර වැටී තිබේ. මේ පාර දෙපැත්තේ තේ කෑලි ඇත. නිවාස ඇත. දෙල්ලව රක්ෂිතය යනුවෙන් සඳහන් බෝඩ් ද ඇත. ඒ බෝඩ්වලට පහළින් සහ ඉහළින් තේ කෑලි ද ඇත. දොඹගොඩ හරියේ පිහිටි එවැනි බෝඩ් එකක් අසලම නිවාස පවා තිබේ. ඒ කියන්නේ එක්කෝ බෝඩ් එක වැරදි තැනක සවිකර ඇත. නැතහොත් වන සංරක්ෂණ නීති උල්ලංඝනය වෙමින් තිබේ.
හමුදාවෙන් මේ කොටසත් පළල් කර හදන්නේ ය. පාරේ වැඩ නැවැත්තුවා කිව්වාට, වැඩ කෙරෙන්නේය. අවට ඇති පඳුරු විනාශ වීම හැර, මේ කොටසේ ගස් කපාදැමීමක් කර නැත. එහෙත් පරිසරය යනු ගස් පමණක් නොවන නිසා, මේ ප්‍රදේශයේ සිටින ජීවීන් හෝ පැළෑටිවල විවිධත්වය ගැන පරිසර ඇගයීම් වාර්තාවක් සකස් කිරීම අත්‍යවශ්‍ය ය. එවැන්නක් සිදු කර නැති බව වාර්තා වේ.
මේ පාරේ යන ඔ්නෑම අයෙක් එය පළල් කර, සැකසිය යුතු යැයි අනිවාර්යෙන්ම කියන්නේය. එහෙත් මේ පැත්තේ පාර හදනවාට නෙළුව පැත්තෙන් ලංකාගමට එන පාරේ සංචාරක ව්‍යාපාරය කරන පිරිස් විරුද්ධ ය. ඊට හේතුව මේ පැත්තෙන් පාර සකස් කළ විට ඔවුන්ගේ ව්‍යාපාරවලට බලපෑම් එල්ලවීම ය. මේ වන විට මේ පැත්තෙන් සංචාරකයන් ලංකාගම පැත්තට හෝ සිංහරාජය පැත්තට යන්නේ සාපේක්ෂව ඉතා අඩුවෙන් ය. ඊට හේතුව මෙහි පදිංචිකරුවන් උඵන් දා සිට විඳගත්තද, පාරේ ඇති දුෂ්කරතාව විඳගන්නට සංචාරකයන්ට නොහැකි වීම ය.
ලංකාගම සිට දෙනියායට තවත් පාරක් තිබේ. ඒ සිංහරාජය මැද්දෙන් ය. යතුරුපැදියකට පමණක් යා හැකි ඒ පාර, තනිකරම වැටී තිබෙන්නේ රක්ෂිතය මැද්දෙන් ය. ඒ පාරේ නුපුරුදු අයෙකුට යතුරුපැදිය පාලනය කරගන්නට නොහැක. නුපුරුදු අයෙකු නම්, ඇතැම් තැනකදී ගිං ගඟට ඇද වැටෙන්නට වුවද බැරි නැත. ඒ පාර කෙළවර වන්නේ සිංහරාජයේ පිටදෙනිය පිවිසුමෙන් ය.
‘උදලුමිටක් කැපුවොත් හැර, අපි කැලේට අනතුරක් කරන්නෙ නෑ. ඒත් මේක ඇතුළෙ ඔ්නෙතරම් තේ වතු තියෙනවා. හැබැයි ඒවා අපේ නෙමෙයි. ගමේ මිනිස්සු ඒවගෙ දළු කඩන්න යනව විතරයි.’
ඒ කියන තේ වතු පාලනය කෙරෙන්නේ නගරයේ මිනිසුන් අතින් ය. කැලේ ඇතුළේ කිව්වාට, එවැනි ඇතැම් තේ වතු තියෙන්නේ සංහරාජ රක්ෂිත වනාන්තර සීමාවේ නොවේ. එහි සංවේදී කලාපයේ ය. සංවේදී කිව්වාට ඒ ඉඩම් වන සංරක්ෂණයට අයත් රජයේ ඉඩම් ය. 05/2001 චක්‍රලේඛය මගින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පාලනයට යටත් කෙරුණු, මේ වන විට එම චක්‍රලේඛය අහෝසි කිරීම මගින් නැවතත් හිතූ ආකාරයට ව්‍යාපෘති සඳහා බදු දෙන්නට හැකි වටපිටාවක් නිර්මාණය කරගන්නට උත්සාහ කරන ඉඩම් ය, ඒ. දැනටමත් මෙම චක්‍රලේඛය අහෝසි කිරීම සඳහා කමිටුවක් මගින් නිර්දේශ සකස් කරමින් සිටී. මෙම ඉඩම් සිංහරාජයට ගැසට් කරන ලෙස වසර ගණනාවක් තිස්සේ බලපෑම් කරමින් සිටියද, පැවැති කිසිදු ආණ්ඩුවක් එය කළේ නැත. ඔවුහු එය හේතු නොදක්වමින් පස්සට ඇද්දෝය. ජනතාවට ඒ ඉඩම් දුන්නේත් නැත. සිංහරාජයට දුන්නේත් නැත.
යෝෂිත හෝටලය
පරිසරවේදී සජීව චාමිකර විසින් මාධ්‍ය හමුවකදී පැවසූ යෝෂිත රාජපක්ෂ හෝටලය වැනි හෝටල් මේ ඉඩම්වල ඉදිරියේදී ඉදිනොවේ යැයි කිසිවෙකුට තහවුරු කළ හැකි ද? අදාළ යෝෂිත රාජපක්ෂගේ හෝටල් කතාව සම්බන්ධයෙන් මේ වන විට නීති කටයුතු ආරම්භ වී තිබේ. කෙසේ වෙතත් මේ හදන මාර්ගයෙන් එවැනි හෝටලයකට සෘජු පිවිසුමක් නැති බවක් පෙනේ. එහෙත් මේ වටේ තියෙන හෝටල්වල අයිතිකරුවන්, ඔවුන්ගේ ඥාතීන් ගැන විධිමත් සොයා බැලීමකින් තොරව එවැන්නක් හරියටම කිව හැකිද? කෙසේ වෙතත් තහවුරු කළ හැකි කරුණු ජනතාව දැනගත යුතුය.
මෙවැනිම කතාවක් ගැන ඔබට යළිත් මතක් කරන්නට තිබේ. සිංහරාජයේ තවත් මායිමකට ආසන්නයේ පිහිටි දෙනියාය, එනසාල්වත්ත ප්‍රදේශයේ පෞද්ගලික නිවසක්, රජයේ ව්‍යාපෘතියක් වන මගනැගුම සම්පත් යොදාගනිමින් ඉදිකිරීම පිළිබඳව ‘ලංකා’ පුවත්පතේ මාධ්‍යවේදීන් තිදෙනකු විසින් අනාවරණය කරන ලදි. එම නිවස පිළිබඳ සොයාබැලීමට ගිය එම මාධ්‍යවේදීන් අත්අඩංගුවට ගෙන, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ චෝදනා ගොනු කෙරිණි. එහි ද හිමිකාරිත්වය පිළිබඳ ගැටළු, ඉදිකිරීමේ ප්‍රශ්න මගහරින්නට රාජ්‍ය මාධ්‍ය ඇතුළු ප්‍රධාන මාධ්‍ය, අදාළ මාධ්‍යවේදීන් ත්‍රස්තවාදීන් කිරීමේ පුළුල් මෙහෙයුමක් සිදු කරන ලදි. අවසානයේ ඔවුහු සියල්ල අකුළාගත්හ. මාධ්‍යවේදීන්ට අයුතු ඇතුළු වීමේ වරද යටතේ නඩු පැවරිණි. වසර අටකට පසු මාධ්‍යවේදීන් නිදොස් කොට නිදහස් කෙරිණි. එම නඩුවේදී විත්තිකරුවන්ගේ පාර්ශ්වයෙන් බරපතළ ලෙස ඉදිරියට ගත් මාතෘකාවක් වූයේ පොදු යහපත ය. පොදු යහපත වෙනුවෙන් තමන් එම අනාවරණය වෙනුවෙන් මැදිහත් වූ බව ඔවුහු අධිකරණය ඉදිරියේ තහවුරු කළහ. දැන් එතැන හෝටලයකි. එය පවත්වාගෙන යන්නෙ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සහ අගමැති මහින්ද රාජපක්ෂගේ සහෝදරිය වන ගාන්දනී රාජපක්ෂගේ ස්වාමි පුරුෂයා වන තුසිත රණවක විසින් ය.
සජීව චාමිකර තමන් පැවසූ කරුණ නීතිය ඉදිරියේ මෙන්ම සමාජය ඉදිරියේ ද ඔප්පු කළ යුතුය. එහි කතා දෙකක් නැත. එහෙත් එම කරුණට, මෙහි ඇති අනෙක් කරුණු සියල්ල යටපත් කරන්නට ඉඩදිය යුතු නැත.
ගස් 38 ක් විතරයි
අප ලංකාගමින් පිට වූයේ කොලොම්තොටුව, වාරුකන්දෙනිය, මාදුගැට, හක්පිටිය හරහා නෙළුව මාර්ගයෙන් ය. මෙම මාර්ගය ආරම්බ වන්නේ සංහරාජයේ ප්‍රකට බ්‍රාහ්මණ ඇල්ල ළඟින් ය. එහි වැඩ මේ වන විට නැවතී තිබේ. මේ මාර්ගය පුළුල් කිරීමේදී සිංහරාජයේ කිලෝමීටරයකට ආසන්න දුරක් විනාශ වේ. විනාශ වේ යනුවෙන් කිව්වාට දැනටත් එහි යන-එන පාරක් ඇත. ලංකාගම මිනිස්සු නෙළුවට යන්නේ ඒ පාරෙන් ය. කොහොම වුණත් ඒ සඳහා ද පරිසර ඇගයීමේ වාර්තා සකස් කර නොමැති බව හෙළි වේ.
‘ඔය කියන කැලේ හරිය වුණත් ගස් තිස් අටයි කැපෙන්නෙ. ඒකෙනුත් ලොකු ගස් තියෙන්නෙ දෙකයි.’
ලංකාගම ජනතාව කියන මේ කතාවට අප විරුද්ධ විය යුතුය. ඊට හේතුව අප ඔවුන්ගේ පැත්තෙන් සියල්ල දකිද්දී, පරිසර ඇගයීමක් සකස් කිරීම අනවශ්‍ය බවට ඔවුන් ගෙන එන තර්කයයි. ඊට හේතුව පාර හදාගැනීමේ බලාපොරොත්තුව වන්නට ඇත. එහෙත් නීතියේ ආධිපත්‍යයට පිටින් යන්නට ඔවුහු සහාය දෙති. එය අනුමත කළ නොහැකි ක්‍රියාවකි. මේ සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරිය ඇතුළු වගකිවයුතු ආයතනවලින් නිවැරදි තහවුරුවක් ලබාගන්නට උත්සාහ කළද, එය සාර්ථක වූයේ නැත. මේ මාර්ගය ලංකාගමට ලබාදෙන්නේ සද්භාවයෙන් නම්, මේ සියල්ල පිළිවෙළට නොවන්නේ ඇයි ? වගකිවයුතු ආයතන මගහරින්නේ ඇයි ?
2000 වසරේ වන සංරක්ෂණය
ලක්බිම පුවත්පතේ මාධ්‍යවේදියකු වූ රංජිත් හේවගේ මේ පාර කැපීමේ මුල්ම අවස්ථාව 2000 වසරේ ජුනි 06 දා මෙසේ වාර්තා කර ඇත.
‘නෙළුව ප්‍රාදේශීය සභාව ප්‍රදේශවාසීන්ගේ සහයෝගය ඇතිව වාරුකන්දෙනියේ සිට සිංහරාජ වන රක්ෂිතය හරහා ලංකාගමට කපමින් තිබූ පාර වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තහනම් කර ඇත.
රක්ෂිත වනයේ කොටසක් මෙම පාර කැපීම නිසා විනාශ වීම මෙම තහනමට හේතුව බව පැවසෙයි. සමෘද්ධි, යෞවන කටයුතු හා ක්‍රීඩා නියෝජ්‍ය ඇමැති පියසේන ගමගේ මහතාත් මීට පෙර මෙම පාර කැපීමට උත්සාහ කළත්, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව එවරත් එය තහනම් කළ නිසා නියෝජ්‍ය ඇමැතිවරයා, එම පාර කැපීමේ අදහස අත්හැර දමා තිබිණි.
නෙළුව ප්‍රාදේශීය සභාවේ සභාපති එම්.අයි.ජී.ඩේවිඩ් මහතා පසුගිය 23 දින පැවැති ප්‍රාදේශීය සභා රැස්වීමේදී ප්‍රකාශ කළේ නීත්‍යනුකූලව පාරට වෙන්වී ඇති කොටසේ ඩෝසර් යොදා තමන් පාර කැපූ බවත්, රක්ෂිත වන ප්‍රදේශය හරහා පාර කැපුවේ ප්‍රදේශවාසීන් බවත් ය.
මේ සම්බන්ධයෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කළ විමසීමකදී නියෝජ්‍ය වන සංරක්ෂණ නිලධාරිනී ලියනආරච්චි මහත්මිය කියා සිටියේ වහාම ක්‍රියාත්මක වන පරිදි පාර කැපීම නතර කළ බවත්, අවශ්‍ය පියවර ගැනීම සඳහා කොළඹින් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් යවා ඇති බවත් ය.’
මෙයින් තහවුරු වන්නේ කුමක්ද? මේ ප්‍රදේශය සිංහරාජ වන රක්ෂිතයට අයිති බව ය. එසේ නොවන්නේ නම් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට එදා, එය නැවැත්වීමට හේතුවක් නැත. එසේ වන රක්ෂිතයට අයත් භූමියක මෙසේ සකස් කළ එම පාර, කිසිදු පරිසර තක්සේරුවකින් තොරව පුළුල් කළ හැකිද? මෙතෙක් අදාළ කොටසේ පාර පුළුල් කිරීම් කර නැතත්, සැලසුමට අනුව එය කිරීම අනිවාර්ය ය. පරිසරවේදීන්ගේ විරෝධය හෑල්ලු කළ, මෙතෙක් රක්ෂිතයට අදාළ කොටස පුළුල් කර නැති බව පවසන පාර්ශ්වවලට මෙවැන්නක් පැවසිය යුතුය.
උමා ඔය සහ ගිං-නිල්වලා !
ඔව්, එය මෙතෙක් කර නැත. එහෙත් පාර වැටී ඇත්තේ එතැන්ට ය. අවශ්‍යම මොහොතේ අවශ්‍යම දේ නොකරන්නේ නම්, ඊට සුදුසු වෙලාවක් නැවත ලැබෙන්නේ නැත. ඊට හොඳම උදාහරණයකි, උමා ඔය ව්‍යාපෘතිය. උමා ඔය ව්‍යාපෘතිය ආරම්භ කරන අවස්ථාවේ මෙමගින් සිදු වන පරිසර හානි, ජලයට සිදුවන බලපෑම පිළිබඳ පැහැදිලි කරන්නට උත්සාහ කළ විට, ලංකාගම වගේම එහි ජනතාව ද මෙසේ කීය.
‘සංවර්ධනයට අකුල් හෙළන්න එපා. ගමේ වැඩක් කළාම දවසට හම්බෙන්නෙ රුපියල් දාහයි. ඉරාන කොම්පැනියෙන් අපිට දෙදාහක් ගෙවනවා. අපි කාලා – ඇඳලා ඉන්නවට ඉරිසියා කරන්න එපා.’
ඉන් වසර ගණනාවකට පසු ඒ ජනතාව පෙර කී පීඩා අත්වින්දේය. නිවෙස් ඇතුළත ආවාට ඇති විය. ළිං සිඳිණි. ඔයවල් පවා හිඳීගියේය. එහෙත් ඒ වන විට එය ආපසු හැරවිය නොහැකි තරමට ඉදිරියට‌ ගොස් අවසන් ය. ඒ වෙලාවේ ජනතාව වැරදි නැත. අගහිඟකම්වලින් මිරිකී සිටින, තමන්ගේ එළවළුවලට නිශ්චිත මිලක් නැති ඔවුන්ට රුපියල් දෙදාහ වැදගත් ය. මේ වෙලාවේ ලංකාගමට පාර වැදගත් වන්නේත් හරියටම ඒ වගේ යැයි තවත් වසර ගණනාවකින් කියන්නට සිදුවන්නට ද ඉඩ තිබේ. එහෙම කියන්නේ මේ නිසා ය.
ගිං ගඟේ සහ නිල්වලා ගඟේ වතුර උමගක් දිගේ හම්බන්තොට වරාය දක්වා ගෙන යෑමට අපේක්ෂිත ය. එම ව්‍යාපෘතියේ සාර්ථක-අසාර්ථකභාවය සහ එයින් පීඩාවට පත්වන පාර්ශ්ව සම්බන්ධයෙන් වෙනම කතා කළ යුතුය. මේ ව්‍යාපෘතියට අනුව ලංකාගම – මාදුගැට ප්‍රදේශයේ ජලාශයක් ඉදි කෙරේ. අම්පනාගල සහ ගල්දොළ ද ජලාශ ඉදි කෙරේ. ගාල්ල දිස්ත්‍රික්කයේ, නෙළුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ලංකාගමින් ආරම්භ කෙරෙන උමග අවසන් වන්නේ, මාතර දිස්ත්‍රික්කයේ, දෙනියාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගල්දොළ ප්‍රදේශයෙන් ය. මේ වනවිටත් ලංකාගම – මාදුගැට ප්‍රදේශයේ අදාළ ව්‍යාපෘතිය ලබාගන්නා ඉඩම් සහ විශේෂිත ස්ථාන සලකුණු කොට ඇත. ගල්දොළ ද එසේම ය. ඒ කියන්නේ උමග මුලින් ඒමට නියමිත ය. උමගේ මුල සහ අගට අදාළ කටයුතු කඩිනම් වී ඇත්තේ එම නිසා ය. ඊට අදාළ දැවැන්ත යන්ත්‍ර-සූත්‍ර ලංකාගමට ගෙන ආ යුතුය. උමා ඔය ව්‍යාපෘතියේ උමග කැණීමේ යන්ත්‍රයේ දිග පමණක් මීටර් සියයකට අධික බව මාධ්‍ය වාර්තා කර තිබිණි. එම යන්ත්‍රය කොටස් වශයෙන් ගෙනැවිත්, එකලස් කළ යුතුය. ඒ සඳහා වෙනම අක්කර පනහකට ආසන්න භූමි ප්‍රදේශයක් අවශ්‍ය බව උමා ඔයේ උදාහරණ මගින් පැහැදිලි කරගත හැකිය.
පාරේ උඩ පැත්ත සහ යටි පැත්ත
මේ මාර්ගයේ උඩින් ලංකාගම ජනතාව සිටියද, යටින් මෙවැනි ව්‍යාපෘති ද ඇති බව පමණක් දැනට මතකයේ තබාගැනීම වටී. කාලයක් තිස්සේ වින්ද දුක් අවසන් කරන්නට පාර හැදෙන විට, ලංකාගම ජනතාව ඒ වෙනුවෙන් පෙනීසිටීම සාධාරණ ය. උමා ඔය වගේම ය. අනාගතය ඉදිරියට ය. ලංකාගම ජනතාව සිංහරාජය විනාශ නොකරන්නට ඇත. එහෙත් මහා පරිමාණ ව්‍යාපෘතිවල ඉදිරියේ සිටින යන්ත්‍රවලට එය අදාළ නැත.
සජීව චාමිකරගේ හෝටල් ප්‍රශ්නය වගේම මෙය ද සංවර්ධන ව්‍යාපෘතිවලට අකුල් හෙළීමකැයි ඔ්නෑම අයෙකුට චෝදනා කළ හැකිය. ඔවුන්ට අපට කියන්නට ඇත්තේ පොලූටර් පේ (polluter pay) නීති සංකල්පය ගැන ය. ඊට අනුව චෝදනාව එල්ල කරන්නන් පමණක් නොව, චෝදනාවට ලක්වන්නන් ද තමන්ගේ නිර්දෝෂීභාවය ඔප්පු කළ යුතුය. මේ සංකල්පය ලංකාවේදී මෑත කාලීනව දැඩි අවධානයට යොමු කළ ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවකි, චුන්නාකම් තීන්දුව. තාප බලාගාරයක් මගින් යාපනය, චුන්නාකම් ප්‍රදේශයේ භූගත ජලයට අපද්‍රව්‍ය මිශ්‍ර කිරීමට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබූ අතර, එහිදී අදාළ චූදිත පාර්ශ්වයට තමන් ඊට නිවැරදිකරුවන් ය යන්න සැකයකින් තොරව ඔප්පු කිරීමට නොහැකි විය. එම නිසා මෙයින් පීඩාවට පත් පවුල් පන්සීයකට, රුපියල් හතළිස් දහස මගින් ගෙවීමට අධිකරණයෙන් නියෝග කෙරිණි.
දැනට එපමණකි.
-ශාලික විමලසේන
(ලිපියේ ශීර්ෂය පරාක්‍රම කොඩිතුවක්කු කවියාගේ කවි පෙළකින් උපුටා ගැනිණි.)

Leave A Reply

Your email address will not be published.

ten + 9 =