ජනවරම දුන්නේ නීති කඩන්නට නොවේ ය

අලුත් ආණ්ඩුවේ පළමු කටයුත්ත ලෙස කියන්නේ, ව්‍යවස්ථා සංශෝධනයයි. එනම්, දහනවය අහෝසි කිරීමයි. දහනවයේ මූලික හරය ලෙස සිදු වූයේ විධායක ජනාධිපතිවරයා සතු තනි අත්තනෝමතික බලය ව්‍යවස්ථා සභාවට සහ පාර්ලිමේන්තුවට පැවරීම ය. ඉන් එහා ගිය ස්වාධීන කොමිෂන් සභා පිහිටු වීම ද, තොරතුරු දැනගැනීමේ අයිතිය මූලික අයිතියක් ලෙස පිළිගැනීම ද වැනි වැදගත් කරුණු ද එහි අඩංගුය.

දැන් අහෝසි කරන්නට යන්නේ මොනවා ද යන්න පැහැදිලි නැත. ආණ්ඩුවේ එක එක ඇමතිවරු එක එක දේවල් කියති. ඒ අතරතුර දැනටමත් ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇත. එනම්, දහනව වැනි සංශෝධනයට අනුව ජනාධිපතිවරයාට කිසිදු අමාත්‍යාංශයක් දැරිය නොහැකි ය. එය එසේ තිබිය දී, ආරක්‍ෂක අමාත්‍ය ධුරය ඔහු භාරයේ තබාගෙන ඇත. මෙය මුළුමනින් ම රටේ මූලික නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමකි. ලැබුණු තුනෙන් දෙකේ බලය අයථා ලෙස යොදා ගනිමින්, මෙය සිදු කර ඇත. ‘එක රටක්, එක නීතියක්’ කියමින්, පටන් ගත්තේ ම නීතිය කඩාබිඳ දමමිනි.

ඊ ළඟට ආණ්ඩුව ඉදිරිපත් කළ අතුරු සම්මත ගිණුම ඉලක්ක වී ඇත්තේ, ණය සීමාව වැඩි කර ගැනීමට ය. මෙය ඉදිරිපත් කිරීමට පෙර මුදල් වියදම් කළ ආකාරය සහ ණය ලබා ගත් ආකාරය ද මුළුමනින් ම ව්‍යවස්ථාවට පටහැණි ය. ව්‍යවස්ථාවේ 154 වැනි වගන්තියේ ඉතා පැහැදිලිව ඇති කරුණ ආණ්ඩුව උල්ලංඝනය කළේ ය.

රටේ ආරක්‍ෂාව පිළිබඳ කාරණාවේ දීත්, මූල්‍ය පාලනය පිළිබඳ කාරණාවේ දීත් පටන් ගන්න කොට ම නීතිය පැත්තකට දමා වැඩ කර ඇත.

ජනාධිපතිවරයා රාජ්‍ය අමාත්‍ය ලේකම්වරුන්ගේ හමුවේ දී කළ ප්‍රකාශය ද ඉතා බරපතළ ය. “නීතිරීති, රෙගුලාසි මොනවා තිබුණත්, හරියි කියලා හිතෙන දේ කරන්න බය වෙන්න ඕනෑ නැහැ. මම ලේකම් කාලේ එහෙ ම තමයි වැඩ කළේ. නඩු වැටුණා. ඒත් අන්තිමට ජනාධිපතිත් වුණා.”

ජනාධිපතිවරයාට රජයේ සේවාවන් පවත්වාගෙන යාම සඳහා මුදල් වියදම් කිරීමේ යම් බලයක් ඇත. එහෙත්, එකී බලය ඇත්තේ, පාර්ලිමේන්තුව විසුරුවා හැර ‘ඡන්දයක් පැවැත්වීමෙන් පසු පාර්ලිමේන්තුව රැස් වන පළමු දිනයේ සිට මාස තුනක කාලයක් සඳහා ය. පාර්ලිමේන්තුව විසුරුවා හැරි දිනයේ සිට ඊ ළඟ පාර්ලිමේන්තුව රැස් වන දිනය දක්වා වූ කාලයට මුදල් වෙන් කිරීමේ හැකියාවක් හෝ ණය ගැනීමේ හැකියාවක් හෝ ඔහුට නැත. මුදල් ඇමතිවරයාට ද නැත. එකී කාලය සඳහා මුදල් වෙන් කිරීම විසුරුවා හැරීමට පෙර කළ යුතුව තිබූ දෙයකි. එහෙත්, මේ ආණ්ඩුව එය එසේ සිදු කළේද නැත. එතැන දී ද ව්‍යවස්ථාව අමුඅමුවේ උල්ලංඝනය කිරීමක් කර ඇත. රටේ ආරක්‍ෂාව පිළිබඳ කාරණාවේ දීත්, මූල්‍ය පාලනය පිළිබඳ කාරණාවේ දීත් පටන් ගන්න කොට ම නීතිය පැත්තකට දමා වැඩ කර ඇත.

ජනාධිපතිවරයා රාජ්‍ය අමාත්‍ය ලේකම්වරුන්ගේ හමුවේ දී කළ ප්‍රකාශය ද ඉතා බරපතළ ය. “නීතිරීති, රෙගුලාසි මොනවා තිබුණත්, හරියි කියලා හිතෙන දේ කරන්න බය වෙන්න ඕනෑ නැහැ. මම ලේකම් කාලේ එහෙ ම තමයි වැඩ කළේ. නඩු වැටුණා. ඒත් අන්තිමට ජනාධිපතිත් වුණා.” මේ උපදෙස් දුන්නේ ලේකම්වරුන්ට ය. ලේකම්වරු කියන්නේ, එක් එක් අමාත්‍යාංශවල මූල්‍ය පාලනය පිළිබඳ සිටින ප්‍රධාන වගකිව යුත්තෝ ය. පාර්ලිමේන්තුවට වග කියන ප්‍රධාන නිලධාරියා වන්නේ, අමාත්‍යාංශ ලේකම් ය. එහෙත්, මේ දුන් උපදේසයේ ඇත්තේ, “නීතිරීති, රෙගුලාසි කිසිවක් සලකන්නේ නැතිව හරි යැයි හිතෙන දේ කරන්න” කියා ය.

හරි යැයි කියන දේ එකිනෙකාට සාපේක්‍ෂ ය.  කෙනකුට හරි යැයි හිතෙන දේ තවත් කෙනකුට වැරැදි විය හැකි ය. රජයේ මුදල් තමන්ගේ ම තාත්තාගේ සොහොන හදන්නට පෞද්ගලිකව වියදම් කිරීමේ හැකියාවක් නීතියේ නැත. එසේ වියදම් කිරීම වැරැදි යැයි පෙන්වා දුන් විට ඒ මුදල ආපසු ගෙවා දමා ඉන් ගැලවිය නොහැකි ය. එය හරියට කෙහෙල් කැනක් හොරෙන් කපලා පොලිසියට අහු වුණා ම නැවත එය ගෙනැවිත් දෙනවා වාගේ දෙයක් ය. ඉන් හොරකමින් නිදහස් වෙන්නට බැරි ය. එවැනි ආදර්ශයක් තුළින් රාජ්‍ය සේවය නිවැරැදි කළ නොහැකි ය. කළ හැක්කේ, නීතියක් නොසලකා හිතුමතේ වැඩ කරන රාජ්‍ය තන්ත්‍රයක් ගොඩනැඟීම පමණකි.

ඊයේ පෙරේදා අභියාචනාධිකරණයෙන් ලබා දුන් තීන්දුව ද බරපතළ ලෙස ප්‍රශ්නකාරී ය. කුරුණෑගල නගර සභාවේ නගරාධිපතිවරයා බරපතළ වැරැද්දක් කළ බව මුළු රට ම දැකපු දෙයකි. පුරාවිද්‍යා පනතේ 15 (ඇ) වගන්තියට අනුව පුරාවිද්‍යාත්මක ස්ථානයක් විනාශ කළ කෙනකුට ඇප නොමැතිව අත්අඩංගුවේ රඳවා ගැනීමේ බලයක් ඇත.

එනම්, අත්අඩංගුවට ගත් පසු නඩුව අවසන් වන තෙක් ඇප ලබා දීමක්වත් කළ නොහැකි ය. එතරම් බරපතළ නීතියක් පවතිද් දී ඔහුව අත්අඩංගුවට ගැනීම වළක්වාලීමේ තීන්දුවක් අභියාචනාධිකරණයෙන් ලබා දුන්නේ ය. එය ලබා දුන්නේ, එහි සභාපති, නවාස් මහතා ම ය. මෙම නඩු තීන්දුව මේ වන විටත් නීතිඥවරුන් අතර බරපතළ සංවාදයක් ඇති කර ඇත. බැලූබැල්මට ම වැරැද්ද පැහැදිලිව පෙනෙද්දී, නගරාධිපති නිදැල්ලේ තැබීමේ වුවමනාව පිටුපස දේශපාලනයක් ඇති බව ප්‍රසිද්ධ රහසකි. තමන් ඉන්නකම් නගරාධිපතිගේ මයිලක්වත් හොල්ලන්න දෙන්නේ නැහැ යනුවෙන් ජොන්ස්ටන් ප්‍රනාන්දු කියපු එක දැන් ඇත්තක් වී ඇත.

වැඩ පටන් ගන්න කොට ම නීතිය අමුඅමුවේ ම උල්ලංඝනය කරමින් සිටියි. තව අවුරුදු දෙක තුනක් යන කොට තත්ත්වය කොතරම් දරුණු වේ ද යන්න සිතා ගත හැකි ය. දෙදහස්දහය – පහළොව වසර පහක කාලය තුළ සිදු වුණේ ද මෙය ය ම ය. බලය වැඩි වුණාම නීතිය බල්ලාට දාලා වැඩ කිරීම ය. අන්තිමේ දී රටේ නීතිය මැදමුලන කැලෑ නීතිය බවට පත් වුණේ ය. ජූලම්පිටිය අමරෙලා පවා නීතිය අතට ගත්ත ඉතිහාසයක් ඇත. එවන් තැනකට රට පත් කරන්නට දරන උත්සාහයක ආරම්භය ද යන සැකය මින් මතු වේ.

හැම දාමත්, හැම රටකමත් අසීමිත බලයක් ලබා ගත් ආණ්ඩු කෙළවර වුණේ නීතිය අතට ගෙන වැඩ කරන්නට යාමෙන් ය. පහුගිය කාලයේ සිද්ධ වුණේ ද එය ම ය. එය නැවත සිදු වන්නේ නම්, ජනතාවගේ ප්‍රතිචාර ද ටිකෙන් ටික  වෙනස් වන බව පැහැදිලි ය. තුනෙන් දෙකේ බලයක් දුන්නා සේ ම එය මුළුමනින් ම අනෙක් පැත්තට හැරවෙන්නට යන්නේ ඉතාමත් සුළු කාලයකි. බොහෝ වෙලාවට එය හෝරා කිහිපයක් ද විය හැකි ය. එබැවින්, ලැබූ ජනවරම අනිසි ලෙස යොදා නොගැනීම රජයේ වගකීම ය. එකී බලය කිසිසේත් ම නීතිය කැඩීම සඳහා දුන් ලයිසන් එකක් සේ නොසැලැකිය යුතු ය. දුන් ජනවරම වගකීමෙන් යොදා ගැනීම වගකිව යුතු පාලනයක වගකීමක් බව මතක් කරන්නේ ඉතිහාස අත්දැකීම් සමඟ ය●

ජගදාක්ෂි

Leave A Reply

Your email address will not be published.

20 − 11 =