ආයුබොවන්ඩ කෙහෙළිය,

තමුන්නැහැට හොඳට හුරුපුරුදු රාජකාරියම මේ වංගියෙත් පංගනාතු වෙලා තියෙන එක ගැන නං තන්තෝසෙ බැහැ. චන්දෙන් පස්සෙ හොඳ හොඳ සෙල්ලන් දාඤ්ඤං කියල හිතාන ආකාසෙ මාලිගා තනාගෙන උන්නු විජේදාසලා., ඇස්බීලා, ඩිලාන්ලා, ප්‍රේමජයන්තලා, අනුර ප්‍රියදර්ශනලා වගේ පතාක යෝදයන්ට අත් වෙච්ච ඉරණම දිහා බලන කොට මුන්නැහැට ඔය විදිහට හරි ගොඩ යන්ඩ චෑන්ස් එකක් පෑදුණේ දළදා උන්නාන්සෙ ඇතු`ඵ කන්ද උඩරට රාජදානියෙ හතර මහා දේවාලවල වැඩ වාසය කොරන දෙවි දේවතාවුන්ගෙ ආනිසන්සෙන්ම වෙන්ඩෝනෑ.

දැන් ඉතිං අපිට වෙන මොනව නැතත් ආයිබොවන්ඩ, ඔහේගේ තේජවන්ත මූණත්තහඩුවයි හරබර වාක්කිය රචනායි ටීවී, රේඩියෝ, පත්තරවල උදේ හවහා අහන්න දකින්න ලැබෙන කොට හිතට ගතට දැනෙන්නේ සකල පුරස්න දූරින්බූත වෙලා කේතුමතී රාජධානිය පහළ වුණා වගේ පුදුමාකාර ආඩම්බරකොමක්. යුද්දෙ බොහොම උග්ගර වෙලා තිබුණු ඒ දවස්වල තමුන්නැහැ කේසර සිංහරාජයෙක් වගේ මාද්දිය පොරකාස නිකුත් කොර කොර කොටි පෝතකයන්ව මෙල්ල නොකරන්ඩ උන් අපිව හප කොරල දානවා සහතිකයි මැතිතුමෝ.

එහෙව් හපන්කොමක් කොරපු තමුන්නැහැ පුංචි අතපහුවීමකින් මෙල්බොන් හෝටලේ තුන්වෙනි තට්ටුවෙන් කොන්ඩෑරුමක් ගහපු වෙලාවෙ මේ සම්මතේකට පිටරටක පය නොගහපු ගොඬේ බයියො මොන තරන් අසික්කිත කතන්දර ප්‍රොබන්ද කොළා ද? තමුන්නැහැගෙ හිතෙයි-ගතෙයි තිබුණු හයි හත්තිය හන්දම ඒ අවලාද-අපහාස උහුලගෙන උන්න මිසක්කා වෙන හාදයෙක් නං ඉතිං ගම රට අතඇරලා ඉහ හැරුණු අතේ යනවා සත්තයි.

මේ හැම හෙයියන්මාරුවකින්ම ජයගන්ඩ ඔහේට ඇහැක් වුණේ රාජපක්ස සහෝදරයෝ වැනි රට, ජාතිය, ආගම වෙනුවෙන් දිවි පරදුවට තියලා හටන් කොරන ගැන්සියක් එක්ක සැට් වෙන්ඩ ඇහැක් වුණායින් තමා නේද සෑර් ? ඒ අතින් 2006දී යූඇන්පීයට ටටා කියලා රාජපක්ස  රජ්ජුරුවන්ගෙ දෑත් ශක්තිමත් කොරන්ඩ ගහපු බල්ටිය නං තමුන්නැහැට දේසපාලන හෝඩිය කියා දුන්නු ලලිත්-ගාමිණී දෙපළට කොකා පෙන්නලා අලි නකුටේ එල්ලුන වික්කරමෙට වඩා පංකාදුයි. බලාගෙන ගියහම හෝටල් ඉස්කෝලෙන් සූප සාස්තරේ හදාරල අහක්කෙලා සක්විති සුවය චිත්තරපටිය දිගේ කෙහෙළිය ඇවිත් තියන ගමන නං ලේසිපාසු පුත්තරයෙකුට යන්ඩ ඇහැකි එකක් නෙවේ ය කියල හිතෙනව.

හැබැයි පුතෝ මේ වංගියෙත් පරණ තාලෙ මාද්දිය සන්දර්සනවලින් ගොඩ එන්ඩ හිතාන ඉන්නව නං ඒක මෙච්චර කාලයක් ඔහේ අල්ලපු කස්තිරන් ඔක්කොම බ්ලාස් වෙලා යන ආකාරයේ මුළාවක්. තමුන්නැහැගෙ කනෙන් වුණත් රිංගල යන්ඩ දක්ස නූල් සූස්තරකාරයෙක් වෙච්ච බන්දුල ගොයියා කැබිනට් ප්‍රොකාසක තානාන්තරෙන් කර ඇරියෙ ඉදිරි කාලයේ තම්බන්ඩ වෙන වෙල්ලා හැලියේ සයිස් එක හොඳාකාරව දන්න හන්දයි. තමුන්නැහැගෙ පරණ ලොන්ඩරියෙ තියෙන කසි කබල් වොෂින් මැෂිං එකෙන් නං හෙට අනිද්දට ගොඩගැහෙන කිලුටු රෙදි කන්දරාව සුද්ද පවිත්තර කොරන්ඩ ලේසි පාසු වෙන එකක් නැති බව මතක් කොරල දෙන්නෙ මාද්දියකාරයො හැටියට අපේ තියෙන හිතේසිවන්තකොම හන්දයි.

ඒ වගේම ඇමතිතුමෝ මේ රාජකාරියෙදි බැරිවෙලාවත් පය ටිකක් ලිස්සල ගියොත් නං ඒක අර මෙල්බොන්වල කේස්සෙකට වඩා සීරියස් බයි මිස්ටේක් එකක් වෙනවා සිකුරුයි●

විශ්ව මිත්‍ර

Leave A Reply

Your email address will not be published.

13 − 12 =