ඇමති ආරක්ෂකයන්ගේ අයිතිවාසිකම් කප්පාදුවක් !

පොලිස් ප්‍රභූ ආරක්ෂක කොට්ඨාසයට අයත් ඇමති ආරක්ෂක අංශයේ පොලිස් නිලධාරීන්ට මෙතෙක් කලක් නොතිබූ තහංචියක් පනවා ඇත.
පොලිස් සේවයට සහ රාජ්‍ය සේවයට හිමි ණය ලබා ගැනීමට මෙන්ම තවත් අයකු ණය ගැනීමේ දී ඇපකරුවකු ලෙස පෙනී සිටීමට මෙතෙක් මෙම නිලධාරීන්ට කිසිදු බාධාවක් නොතිබිණි. එහෙත්, ඇමති ආරක්ෂක දිසාව භාර නව කොට්ඨාස ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති මහින්ද ගුණරත්න විසින් ඊට අවසර ලබා දීම අත්හිටුවා තිබේ.
ප්‍රභූ ආරක්ෂක දිසාවට ජනාධිපති, අගමැති, කථානායක, විපක්ෂනායක මෙන් ම ඇමති ආරක්ෂක අංශ ද ඇතුළත් ය. සිය වැටුපෙන් අය කර ගන්නා ලෙස ණය ලබා ගැනීමේ දී සහ අන් අයට ඇපකරුවන් ලෙස අත්සන් තැබීමට අදාළව ඉල්ලා සිටින වැටුප් වාර්තා අනුමත කිරීම ඒ අනුව අංශ ප්‍රධානියාගේ වගකීමකි. මෙතෙක් කල් එය සාමාන්‍ය පරිදි සිදු වුව ද, ඇමති ආරක්ෂක දිසාව බාර කොට්ඨාස ප්‍රධානී ලෙස නියෝජ්‍ය පොලිස්පති මහින්ද ගුණරත්න පත් වූ පසුව ඔහු විසින් එය සාමාන්‍ය පරිදි සිදු කිරීම නවතා දමා ඇත.
ඊට හේතුව ලෙස දක්වා ඇත්තේ මේ වන විට විවිධ ස්ථාන වෙත ඇමති ආරක්ෂකයන් ලෙස අනුයුක්ත කර ඇති පොලිස් නිලධාරීන් වෙනත් ස්ථාන වෙත ස්ථාන මාරු ලැබ නික්ම යාමට නියමිත හෙයින්, මෙසේ වැටුප් වාර්තා නිකුත් නොකරන බවයි. එහෙත්, මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සඳහන් කරන්නේ කුමන ස්ථානයකට මාරු වීම් ලබා දුන්න ද තමන් සේවය කරන්නේ ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව යටතේ වන හෙයින්, එම සැකයේ කිසිදු පදනමක් නොමැති බව ය. කෙසේ වෙතත් නිලධාරීන් මාරු වන අවස්ථාවල කිසිදු ආයතනික ප්‍රතිපත්තියකින් තොරව මෙවැනි තීන්දු ගැනීමෙන් තමන් ඉමහත් අසීරුතාවට පත්වන බව ‘ලංකා’ වෙත අදහස් දැක් වූ පීඩාවට පත් පොලිස් නිලධාරීහු පිරිසක් පැවසූහ.

Leave A Reply

Your email address will not be published.

twelve − four =