“හැම ගැහැණියක්ම කවිකාරියක්”

ගෙවෙමින් යන අගෝස්තුවේ අවසාන දවසට සුදර්ශියේදි එළිදැක්වෙන්න නියමිත කවි පොතක්. ලියන්නෙ හෙලනි සිල්වා. මිනිස්සුගෙ ජීවිත වල තියන කාටවත් නොකියන ඉසියුම් තැන් දැනෙන්න ලියන්න ගැහැණියකට කොයිතරම් අත්දැකීම් තියෙන්න ඕනද, එහෙම ලියන්න ගැහැණියක් කොයිතරම් නිර්භීත වෙන්න ඕනද. තමන්ගෙ ලිවීම තුළ එහෙම නිර්භීත වෙන්න පුලූවන් කියල ඔප්පු කරලම පෙන්වන හෙළනි, මේ ලිවීම පටන් ගන්නෙ තමන්ගෙ පාසල් කාලෙන්. මේ සටහන ඇගේ ලිවීම්වලටම කොටු නොවී කිවිඳියක් කියන තැන ඉඳන් ඇය ‘ලංකා’ අපිත් එක්ක බෙදාගත්ත අදහස් කිහිපයක්.

හෙලනි සිල්වා ලියන දේවල් මිනිස්සුන්ගේ ජීවිත වලට මේ තරම් සමපාත වෙන්නෙ කොහොමද ?

එහෙම වෙලා තියෙන්නේ මම ගිය ස්කොලේවත්, ජීවත් වුණු පරිසරයවත්, අම්මගේ තාත්තගේ පවුල් පසුබිමවත් කිසිම දෙයක් අදාළ කරගන්නේ නැතුව මම මට තේරුණු දවසේ ඉඳන් පොළොවේ පය ගහල ජීවත් වෙන්න හැදුවා. ආශ‍්‍රය කරන්න හොඳ නෑ, එපා කියල ගෙදරින් කියපු මිනිස්සුන්වත් මං ආශ‍්‍රය කළා. ඒ අතරේ අවුරුදු 14, 15 වගේ වයසේදී මගේ යාළුවො හිටියා ගංජා, කුඩු ගහන, පිට්පොකට් ගහන වගේම සල්ලි නිසා තමන්ගෙ අම්මල ගණිකා වෘත්තියට ගිය ළමයි. එයාලව මං ආශ‍්‍රය කළා. එයාලගේ ජීවිතවල මට කියපු දේවල් මම ලිව්වේ නෑ. ඒත් මගේ හිතේ ඒවා තැන්පත් වෙලා තියෙන්න ඇති. පස්සේ මම ෆෙස් බුක් එකේ ලියන්න පටන් ගත්තාම ඔය විදිහෙම කතා සෑහෙන ප‍්‍රමාණයක් ඉන්බොක්ස් එකේ පිරෙන්න ගත්තා. ගැහැණු සහ පිරිමි කියන දෙගොල්ලන්ගේම පේ‍්‍රමය, විරහව, ලිංගිකත්වය, පවුල් ජීවිතය, සමාජ වටිනාකම්, අධ්‍යාපනය ඒ හැම ප‍්‍රශ්නයක්ම ඒ අතර තියනවා. අදටත් පාන්දර හතරට වුනත් මැසෙන්ජර් කෝල් එකක් අවොත්, ඒ එන්නේ මාව ඒ මොහොතේ අවශ්‍යම මනුස්සයෙක්ගෙන් කියල මම දන්නවා. මං හිතන්නේ මම හොඳ අසාසිටින්නෙක් කියලා. ඒ නිසාම වෙන්න ඇති ලිවීමෙන් මිනිස්සුන්ට මේ තරම් ලඟත්.

කවි ලියන එක ගැහැනියකට බලපාන්නෙ මොන විදිහකටද ?

මම හිතන්නේ හැම ගැහැනියක් ඇතුලෙම කවිකාරියක් ඉන්නවා, නොලියන එක වෙනම දෙයක්. නමුත් හැම ගැහැනියක්ම කැමතියි තමන්ගේ පෞද්ගලික හෝ අතිශය පෞද්ගලික හෝ තමන්ට දැනෙන දේ එලියට දාන්න. එත් ගැහැනියකට දේවල් එලියට දාන්න පුළුවන් මාද්‍ය අවම වෙලා තියෙනවා. මොකද මේ සමාජය ඇතුලේ ගැහැණියට ජීවත්වෙන්න වෙලා තියෙන්නේ ප්‍රෝග‍්‍රෑම් කරපු ෆෝමැට් එකක් ඇතුලේ. එහෙම ගැහැණියක් කවිකාරියක් වුනොත් මොකද කරන්නෙ කියන එක එයාලට අදහසක් නැහැ. ඉතින් මම දැකල තියෙනවා හුගක් කවි ලියන ගැහැණු ඉන්නවා ජීවිතෙත් පටලවාගෙන, කවියත් පටලවගෙන ඉන්න. එතැනදී මන් හිතන්නේ සාමාන්‍ය ගැහැනියකටත් වඩා දරාගැනීමේ ශක්තියක් තිබිය යුතු වෙනවා කිවිඳියකට.

දුක කියන්න ගිහින් ගැහැණු හුගක් තැන්වල යූස් වෙනවා නේද කියල මම ඇහුවොත් ?

එක වෙන්නේ මෙහෙමයි. අපි කියනවා ගැහැණු හයියයි කියලා. එත් ගැහැණු හයිය වුනාට ගැහැණුකම හයිය නැහැ. ගැහැනියකට මොකක්හරි දෙයක් වුනාම එයාල එක ගැන හිතනවා අයියෝ මට මේක වුනානේ කියල. මෙතැනදී ගැහැණු බහුතරය පිරිමි වගේ කටවහගෙන ඉන්න ජාතියකුත් නෙවෙයිනේ. එයාලට ඕනේ කාටහරි ඕක කියල නිදහස් වෙන්න. ඉතින් මිනිස්සු අද බොහෝ වෙලාවට සමාජ මාද්‍ය තුලදී ඔහොම ගැහැණු කෙනෙක් ඉන්නවා දැක්කාම ඇවිත් බොරුවට හරි ආදරෙන් කතා කලොත් ඉක්මනට උණු වෙලා කියන්න ඕනේ හැමදේම කියනවා. එතැනදී ඒ ගැහැණිය දන්නේ නැ ඒ කිවිල්ල ඇතුලේ ඒ ගැහැණිය කුඩු වෙනවා කියල. මම කියන්න ගැහැනියක් වුනාම දුක හංගගෙන එක මත්තෙම ජීවත්වෙන්න ඕන කියන එක නෙවෙයි. එත් තවත් මනුස්සයෙක් ලඟ තමන්ගේ දුක කියන කොට දෙපාරක් නෙවෙයි දහස්වාරයක් හිතන්න කියල මම කියනවා.

සමාජ මාද්‍ය තුළ තියන නිදහස මිනිස්සු භාවිත කරන ආකාරය ගැන මොකද හිතන්නේ ?

ලංකාවෙ සමාජ ජාලා මාද්‍යවලින් මම වැඩිපුර පාවිච්චිකරන්නෙ ෆෙස් බුක් තමයි. ඉතින් ෆේස් බුක් එකේ මම දකින නිදහස නම් හරි ගොං ආතල් එකක් ගන්නෙ මිනිස්සු. දේශපාලනේදි, පෞද්ගලික ජීවිතේදි, ආදරය, ලිංගිකත්වය කියන හැමදේම තුළ ඒක එහෙමයි. සමහර ගැහැනු සහ පිරිමි එෆ් බී එකෙන් මිනිස්සුන්ව රවට්ටගෙන සල්ලි ගන්නවා වගේ දේවලූත් වෙනවා. මෙතනදි ලියන කියන අයටත් තමන් කැමති දෙයක් ලියල ෆොටෝ එකක් එල්ලා දාන්න පුලූවන්. ඒත් එතනින් එහාට එයාල දෙයක් නිවරදි විදිහට ඉගෙනගන්නවද කියන එකයි ප‍්‍රශ්නේ. ලැබිල තියන නිදහස හරි විදිහට පාවිච්චි කරනවනම් ෆෙස් බුක් එකෙන් වුනත් සමාජෙට දෙයක් දෙන්න පුලූවන් වගේම තමන්ට දෙයක් ඉගෙනගන්නත් පුලූවන්.

පොතේ අවසානයට ඔබ සඳහනක් තියනවා ” ජීවිතයේ කාලවකවානු වල වරු ගත කරපු පිරිමින්ට පිං පිණිස ” කියලා. ඒ ගැන යම් සඳහනක් කලොත්?

ඕක දැකපු ගමන් එක එක විදිහට හිතන්න පුලූවන්. ඒ වුණාට මෙතන තියෙන්නෙ මෙහෙමයි. අම්මගෙ කුසේ මාව බිහිවෙන්නෙත් තාත්ත නිසානෙ, එතකොට මමත් පිරිමියෙක්ගෙ නිර්මාණයක්. එතන ඉඳලම මට මුණගැහෙන පිරිමින්ව තමයි මම ගැහැණුන්ටත් වැඩිය ලඟින් ආශ‍්‍රය කලේ. මොකද මම පොඩි කාලෙ ඉඳල අත්දැකපු දෙයක් තමයි ගැහැණු යාලූවෝ මට දිරවන්නෙ නැහැ. ඒ කාලෙත් කොල්ලොත් එක්ක තමයි යාලූකම් තිබුනේ. අදටත් මට ඉන්නෙ පිරිමි යාලූවෝ. මං වැඩ කරන්නෙත් කොල්ලොත් එක්ක. ඒ පිරිමින්ට තියන අවංක කම, විවෘත බව කියන කොලිටීස් ගැහැනුන්ගෙන් මම දකිනව අඩුයි. මට මුණගැහුන බහුතරයක් ගැහැනුන්ට එහෙම කොලිටි එකක් තිබුණෙ නෑ. ඉතින් ඒ නිසා තමයි මම ඒ විදිහෙ සටහනක් තියන්නේ.
සංවාදය – වරුණ උදේශ් ජයසිංහ

රතු කොටු සහ Black කෝපි-“අගෝස්තු 31 සුදර්ශියට හවස 4 ඔයාල බලන්න….මගේ පලවෙනි කවි පොත අරන්….එන්න අපි හිනා වෙමු”- හෙලනි

Leave A Reply

Your email address will not be published.

nineteen − 13 =