පත් කිරීමත් – ඉවත් කිරීමත දෙකම ජනපතිට

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් නීතිපති, පොලිස්පති, අගවිනිසුරු ඇතුළු රජයේ ඉහළ නිලධාරීන් පත්කිරීමේ මෙන්ම ඉවත්කිරීමේ බලයක් ද ජනාධිපතිවරයා යටතට පත්කිරීමේ වගන්තියක් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් ආණ්ඩුවේ ඉහළ මට්ටමින් ආරම්භ වී තිබේ.
ජනාධිපතිවරයා අදාළ නිලධාරීන් පත්කිරීමේ බලධාරියා වුවද, ඉවත් කිරීමේ බලධාරියා නොවන බැවින් එය රාජ්‍ය පරිපාලනයට ගැටලු සහගත තත්ත්වයක් බව රජයේ ඉහළ උපදේශකයන් ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට දැනුම් දී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. පසුගිය දිනක පුවත්පත් සාකච්ඡාවක් පවත්වමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති, අධ්‍යාපන ඇමති මහාචාර්ය ජී.එල්. පීරිස් ප්‍රකාශ කළේ 19 වැනි සංශෝධනය නිසා ජනාධිපතිවරයාට හිටපු පොලිස්පතිවරයා ඉවත් කිරීමට නොහැකි වූ බවයි.
ඔහුට එරෙහිව පාස්කු ප්‍රහාරය වැළැක්වීමේ වගකීම පැහැර හැරීම, භාවනා නොකළැයි කනිෂ්ඨ නිලධාරියෙකුට පහරදීම වැනි ක්‍රියා සම්බන්ධයෙන් දිගින් දිගටම චෝදනා එල්ලවුවද, ඔහුට එරෙහිව පියවරක් ගැනීමේ බලය ජනාධිපතිවරයාට නොතිබූ බවයි. මෙය රාජ්‍ය පරිපාලනයට ගැටලුවක් බව ද ඇමතිවරයා පෙන්වා දුන්නේය. මේ සම්බන්ධව අදහස් දක්වන නීති විශාරදයන් පෙන්වා දෙන්නේ කවර තත්ත්වයක් යටතේ හෝ රාජ්‍ය සේවකයන්ගේ ස්වාධීනත්වය ආරක්ෂාවීමට නම් පිළිගත් ක්‍රමවේද ක්‍රියාත්මක විය යුතු බවයි.
කෙසේ වෙතත් මෙවැනි ගැටලු ඇති නොවීමට නම් පත්කිරීමේ මෙන්ම පරීක්ෂණයකින් පසු ඉවත් කිරීමේ බලය ද ජනාධිපතිවරයාට හිමිවිය යුතු බව රජයේ ඉහළ දේශපාලනඥයන්ගේ අදහස වී තිබේ. එම නිසා 20 වන සංශෝධනයට…
එය ඇතුළත් කිරීමේ හැකියාව සම්බන්ධයෙන් නීති විශාරදයන්ගේ අවධානය යොමු වී තිබේ. මෙම ව්‍යවස්ථා සංශෝධනය ලබන ජනවාරි මාසයට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ‘ලංකා‘ පුවත්පත සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, ඇමැති නිමල් සිරිපාල ද සිල්වා පැවසීය.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අධිකරණ අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ මෙතෙක් ඇමැතිවරයාගෙන් අදාළ කෙටුම්පත පිළිබඳ පරිපාලන කටයුතු සම්බන්ධයෙන් උපදෙස් ලැබී නැති බවයි. කැබිනට් මණ්ඩලයේදී මෙම සංශෝධන කෙටුම්පත සකස් කිරීමේ සම්පූර්ණ වගකීම අධිකරණ ඇමැති අලි සබ්රිට පැවරුණු අතර, නව ව්‍යවස්ථාවක් සකස් කිරීම සම්බන්ධයෙන් විද්වත් කමිටුවක් පත්කිරීමේ වගකීම ද ඔහුට පැවරිණි.
අගවිනිසුරු ඇතූළු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්, අභියාචනාධිකරණයේ සභාපති ඇතුළු විනිසුරුවරුන්, නීතිපති, ත්‍රිවිධ හමුදාපතිවරුන් හා පොලිස්පතිවරුන් පත්කිරීමේ බලය ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ 1978 ව්‍යවස්ථාව ප්‍රකාරව ජනාධිපතිවරයාට හිමිවුවද ඔහු එම ව්‍යවස්ථාවෙන්ම මෙම උසස් නිලධාරීන් ඉවත් කිරීමේ බලය පාර්ලිමේන්තුවට පවරා ඇත්තේ නිලධාරීන්ට ස්වාධීනව රාජ්‍ය පරිපාලන කටයුතු කිරීමට ය. අගවිනිසුරු නෙවිල් සමරකෝන් සමග ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන ගැටුමක් ඇති කර ගත්ත ද අගවිනිසුරුවරයා ඉවත් කිරීමට නොහැකිවූවේ ව්‍යවස්ථාවෙන් ලබාදී තිබුණු එම බලය නිසා ය. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට ද ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුධුරයෙන් ඉවත් කිරීමට පාර්ලිමේන්තුවට දෝෂාභියෝගයක් ගෙනඒමට සිදුවූවේ ද එම ප්‍රතිපාදනය නිසාවෙනි.

Leave A Reply

Your email address will not be published.

nineteen − eighteen =