දැන් වෙලාව හරි ගිණි තියන්න

පරාජයේ දුක්ඛිත මුහුණු වැඩියෙන් ම දුටුව ලස්සනම මැතිවරණයක් තමයි පසුගියදා අවසන් උනේ. සාමාන්‍යයෙන් පරාජයකින් පස්සේ ලියවෙන දීර්ඝ වාමාංශික ලිපි මෙවර ලියවුණේ නැහැ. එකක් දෙකක් ලියවුනා. නමුත් ඒවත් එච්චර වැදගත් ඒවා නෙවෙයි. මේ අපේ පරම්පරාව දේශපාලනයෙන් ඉවත් කරන්න තරම් සමත් වෙච්ච මැතිවරණයක් කියන තමයි මගේ මතය. විශේෂයෙන් වමේ අදහස් සහිත අය නැවත ‘දේශපාලනය’ කතා කරන එක නවත්වන්න සහශ්‍ර පරම්පරාව එයාලගේ පළමු චන්දයෙන් සමත් උනා කියල හිතෙනවා. සතුටුයි. ස්තුතියි. දැන් අපිට පුළුවන් ටි. වී. එකේ ලස්සන සිංදු තෝරන්න. හුරතල් චිත්‍රපට විචාර ලියන්න. ඕනිම නම් පරිසරය ගැන ආණ්ඩුවට උපදෙස් දෙන්නත් පුළුවන්. මම නම් දැනටම ඒක පටන් අරන් තියෙන්නේ. පරමාදර්ශ මිය ගියාට පස්සේ මිනිහෙක් ඕනිම දෙයක් කරන්න පෙළඹෙනවා කියන්නේ Inglorious Basterds ෆිල්ම් එකේ ක්වන්ටින් ටැරන්ටිනෝ.
වටේ ඉන්න දහ දෙනෙක් විතර විසිල් ගැහුවට අපි කියන දේවල් කවුරුත් අහන්නේ නැහැ. ඒත් අපි ඒක පිළිගන්න කැමතිත් නැහැ. ඒක තමයි මෙවර අපි ඉගෙන ගන්න ඕනි පාඩම. ඒත් අපි ඉගෙන නොගන්නෙත් ඒකමයි. මෙහෙ විතරක් නෙවෙයි. ඒක යුරෝපයටත් අදාලයි. නිකම් හිතන්න අපි මහා උජාරුවෙන් උපුටා දක්වන ස්ලාවෝ ජිජැක් ගැන (යන්තම් මේ දවස් වල උපුටනවා අඩුයි). සම්මන්ත්‍රණයකදී විනාඩි දහයක් දුන්නොත් තමන්ගේ අදහස කියන්න කියල මිනිහ ‘කතාව’ නතර කරන්නේ පැය දෙකක් කතා කරලා. අනික් මිනිස්සුන්ගේ කාලයත් අරගෙන. අන්තිමට ගත්තම තමන් ලෝකයට දායාද කරපු එකම සුවිශේෂ දාර්ශනික ප්‍රස්තුතය වෙච්ච දෙවියන් සහ යේසුස් ගැන රූපකය හැර වෙන කිසිම අලුත් දෙයක් කියාගන්න බැරුව අහන් ඉන්න අයට විහිළු සපයල. කාල කළමනාකරණය ගැන දල අදහසක් වත් නැති මිනිහෙක් මේ අලුත් පරම්පරාව සීරියස් ලෙස ගනී කියල හිතන්න බැහැ.
ඒ වගේම තමයි අවසානයක් නැති ලිවිම. එකම දේ නැවත නැවත ලියනවා. ලොකු පොත්. හේගල්, දෙවියන්, ලකාන්, ආත්මය, කෝපි, ලෙනින්. ඔය ටික වටේ කැරකෙනවා. එළියට යන අළුත් ප්‍රවේශ මාර්ගයක් නැහැ (new exit point). ඉතින් පරාජයෙන් පස්සේ බලාපොරොත්තු වෙන්න ඕනි දේ තමයි ලොකු පොත්, ලොකු ළිපි, සහ දීර්ඝ කතා. ඉතින් ඒ ‘පිරිමි කතා ලෝකය’ නඩත්තු කිරීම වෙනුවෙන් මැද පෙරදිග දහදුක් විඳින කාන්තාවන්, ඇඟලුම් කාන්තාවන්, කාන්තා ලිංගික ශ්‍රමිකයින්, තේ කර්මාන්තයේ ඉන්න කාන්තාවන් ඩොලර් වලින් විනිමය උපද්දන්න ඕනි. එතකොට පුළුවන් සී. එෆ්. අයි. අගය වඩාත් වැඩි වාහන අපට ඩොලර් වලින් ම ගෙන්නන්න. ඩොලර් වලින්. මතක තියාගන්න.
ඒකේ ඉන්න ෂෝශනා නම් යුදෙව් ගැහැණිය කතා කරන්න ගොඩක් අඩුවෙන්. එයාට ලොකු කතාවක් තිබුණට ඒක කවදාවත් එයා උච්චාරණය කරන්නේ නැහැ. එයාගේ අම්ම තාත්ත සහෝදර සහෝදරියන් එයාගේ ඇස් ඉස්සරහා ඝාතනය කරපු ක්ෂිතයක් එයා ජීවිත කාලය පුරා කරපින්නා ගෙන තමයි ඉන්නේ. ඒ මිනීමරුවා තමන් ඉස්සරහ හිටගෙන ඉන්නවා. එයා දැන් දන්නවා ඒ පිරිමි ජන ඝාතකයින් එකම එක රෝත්තකට එක තැනක එකතු වෙනවා කියල. ඔව්…නයිට්‍රේට් ෆිල්ම් රෝල් සිය ගණනක් කියන්නේ බෝම්බයක්. නැත්නම් බෝම්බයකට වඩා දරුණු පිපිරීමක්.
පිරිමි ලෝකෙට ජීවිතෙන් කඹුරන අර ගැහැණු ඒ පිරිමි අණට කීකරු වෙලා මල් මල් චීත්ත ගවුම් ඇඳලා ඒ ෆැන්ටසි එකට හරියන්න කැම්පස් වල පෝලිමේ යනවා. ඇයි දෙයියනේ මේ ගැහැණුන්ට බැරි මුන්ගේ මල් මල් ලෝකෙට බෝම්බ දාන්න?…ඒ කඳුළු උඩින් හදන කැම්පස් වේදිකා වලට කොළඹ ඉඳන් ඇවිල්ලා විප්ලවය, විමුක්තිය ගැන කියන සංස්කෘතික විමුක්ති දේශනා ඒ ගම් වලින් එන ගැහැණු ළමයි අහගෙන ඉන්නවා. ඒ අහන කොටත් ඇඳගෙන ඉන්නේ මල් මල් චිත්ත ගවුම්. ඒ ගැන අර විද්වත්, විදග්ධ පොරවල් කිසි දෙයක් කියන්නේ නැහැ. කිව්වත් තමන්ට ඉන්වයිට් කරපු ස්වාමියාගේ සිත නොරිදෙන විදියට.
මේ සියළු පිරිමි ජිමික් වලට එරෙහිව Inglorious එකේ ෂෝශනා යෝජනා කරන්න නිශ්චිත මරණීය අවසානයක්. සමුරායි කෙනෙක් වගේ. තමන්ගේ කළු ජාතික පෙම්වතා වෙත අවසන් හාදුවක්. වචන නැති හිස් ආදරණිය බැල්මක්. ඒ බැල්මෙන් කියන්නේ අර දුම් දමන සිගරට් කොටය විසි කරන්න කියල නයිට්‍රේට් රීල් ගොඩට. ඒ බැල්ම ප්‍රදානය කරලා අන්තිමට ප්‍රොජෙකටර් කාමරයේ දොර වසා ගන්නවා.
ඒ බැල්ම එක්කම ඉතිහාසයක් අවසන් කරනවා ඇය…ඉවරායි!! එහෙම කියන්නේ මිලේනියම් පරම්පරාවේ Daddy. ඒක වඩාත් හොඳින් කිව්වේ ඉරාජ්.
පරමාදර්ශ මිය ගියාට පස්සේ ඕනිම දෙයක් කරන්න පුළුවන්…ඉනුත් විශේෂයෙන් ඒ මියගිය පරමාදර්ශ ඇතුලේ මම යෝජනා කරන්නේ මේ පොන්න වමේ චීත්ත ගවුම් දේශපාලනයට බෝම්බ දමල වැඩේ පටන් ගමු කියල. මිනිස්සුන්ට පේන්න බැරි මුන් එක්ක මොන වමේ ජනප්‍රිය දේශපාලනයක් කරන්නද?
අපිට බැරි වෙයි. නමුත් අලුත් පරම්පරාවේ එවුන් හරි අලුත් දෙයක් කරයි. හැබැයි ඒකට ඉඩක් දෙන්න නම් මුන් ඉවර කරන්න ඕනි. ඉවරම කරන්න ඕනි. ඊයේ මට එහෙම කිව්වේ මගේ ම පරම්පරාවේ එකෙක්…
ආදරණිය මර්සල්..දැන් වෙලාව හරි ගිණි තියන්න. Marcel, burn it down.

-මහේෂ් හපුගොඩ

Leave A Reply

Your email address will not be published.

ten + 17 =