කඩුලු අතර වෙනසක් ගෙනෙන ‘මසායි’ ක්‍රිකට්

දර්ශනීය වර්ණවත් සාම්ප්‍රදායික ඇඳුම් ඇඳ, සාම්ප්‍රදායික ආභරණ පැළඳගෙන කෙන්යාවේ දුෂ්කර කැලෑ වල දුවිලි අතරේ ක්‍රිකට් ක්‍රීඩා කරන අප්‍රිකානු ගෝත්‍රික කණ්ඩායමක් ගැන අසා ඇත්ද? ජයග්‍රහණය වෙනුවට වෙනත් අරමුණකින් ක්‍රීඩා කරන මේ කණ්ඩායම මසායි ක්‍රිකට් කණ්ඩායමයි. මේ මසායි ගෝත්‍රික ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ අරමුණ ලෝක කුසලානයට IPL තරඟ වලට සහභාගී වන්නට නොවේ.

කෙන්යාවේ සහ ටැන්සානියාවේ වෙසෙන ලොව ප්‍රසිද්ධම ගෝත්‍රිකයින් කණ්ඩායමක් වන මසායි ගෝත්‍රිකයින් තමයි මේ ක්‍රිකට් කණ්ඩායම. ඔවුන්ගේ එකම අරමුණ මේ ක්‍රිකට් ක්‍රීඩාව හරහා ඔවුන් මුහුණ පා තිබෙන සමාජ ආර්ථික ප්‍රශ්න වලට ලෝක ජනතාවගේ අවධානය යොමු කිරීම. විශේෂන්යෙන්ම කාන්තා ගෝත්‍රික ජනතාව තුළ බහුලව දකින්නට ලැබෙන ලිංගික අවයවවල සංවේදී කොටස් ඉවත් කිරීම සහ HIV/AIDS ගැන එමෙන්ම අලි මිනිස් අරගලය, කැලෑ විනාශ කිරීම, සුදු රයිනෝසිරස් සතුන් වඳ කිරීම සහ විශේෂයෙන්ම ගෝත්‍රික ජනතාව දෙස වපර ඇසකින් බැලීමේ තර්ජනය යන කාරනා ගැන ලෝකය තුළ ජන මතයක් ගොඩ නැගීමයි මේ ක්‍රිකට් හරහා ඔවුන්ගේ බලාපොරොත්තුව.

Maasai Cricket Warriors නමින් හඳුන්වන මේ ක්‍රිකට් කණ්ඩායම මීට වසර කිහිපයකට පෙර එංගලන්තයේ දී තම ප්‍රථම ජාත්‍යන්තර ප්‍රදර්ශන තරඟයට සහභාගී වුනා.
මේ කණ්ඩායමේ නායකත්වය දැරූවේ සොන්යාන්ගා ඔලේ එන්ගයිස් නම් මසායි ජාතිකයෙක්. ඔහු පවසන්නේ ඔහුගේ සහෝදරියන් තිදෙනාම මේ ලිංග ඡේදනයට භාජනයවූ නිසාම ඔවුන්ගේ විවාහ ජීවිත සහ පාසල් අධ්‍යාපනය සම්පුර්ණයෙන්ම විනාශ වූ බවයි. සොයානේ ඔලේ අද කෙන්යාවේ නයිරෝබි නගරයේ Daystar විශ්ව විද්‍යාලයේ ජන සන්නිවේදනය සහ විද්‍යුත් මාධ්‍ය අංශයේ අධ්‍යාපනය ලබනවා.

2007 වසරේ අප්‍රිකාවේ වානරයින් ගැන අධ්‍යයනය කරන්නට පැමිණි ආලියා බායර් නමැති කාන්තාව තමයි මසායි ගෝත්‍රිකයින්ට මේ ක්‍රිකට් ගැන අදහස ලබා දී තිබෙන්නේ. ක්‍රිකට් ක්‍රීඩාව ගැන මසායිවරුන් පවසන්නේ මෙවැනි අදහසක්. “එය හරියට අපේ දඩයම් වලදී සතුන් පසු පස එළවීම සහ හෙල්ල විසි කිරීම වගේ දෙයක්. එවැනි දේවල් අපේ ජීවිතය හා සම්බන්ධයි.”

2013 වසරේ මේ මසායි ක්‍රිකට් කණ්ඩායම ලන්ඩන් නගරයේ පැවැත්වුණු Last Man Stands ක්‍රිකට් තරඟාවලියට සහභාගී වුනා. අද ඔවුන්ගේ කණ්ඩායමේ සාමාජිකයින් 25 දෙනෙක් පමණ සිටිනවා. දැන් මසායි කාන්තා ක්‍රිකට් කණ්ඩායමකුත් ආරම්භ කොට තිබෙනවා.

“සමහර විට බොහෝ තරුණයින් මෙවැනි දේවල් වලට සම්බන්ධ වී මුදලට වහල් වී විනාශ වෙන්නට ඉඩ තිබෙනවා. නමුත් අපේ තරුණයන් මේ දේවල වලට සම්බන්ධ වුනේ සත්‍යයෙන්ම අවංක චේතනාවකින්. අපේ මසායි තරුණ තරුණියන්ගේ මේ අවංක චේතනාව අපව නිවැරදි මගක ගෙනයාවි. ලිංගික අවයවවල සංවේදී කොටස් ඉවත් කිරීම FGM සහ HIV/AIDS ගැන එමෙන්ම අලි මිනිස් අරගලය, කැලෑ විනාශ කිරීම, සුදු රයිනෝසිරස් සතුන් වඳ වී යාම සහ විශේෂයෙන්ම ගෝත්‍රික ජනතාව දෙස වපර ඇසකින් බැලීමේ තර්ජනය යන කාරනා ගැන ලෝකය තුළ ජන මතයක් ගොඩ නැගීම මේ හරහා ඉටු වන බව අපට විශ්වාසයි. අපට අවශ්‍ය ඔබේ ආශිර්වාදය පමණයි. ඒ ආශිර්වාදය හරහා මේ ප්‍රශ්න සියල්ලම සමතයකට පත් වේවි.” ඒ තමයි මසායි ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ හඬ.
-රොකාන් ඩිරෙක්ස්(Rokhan Direkz)
-සංචාර-

Leave A Reply

Your email address will not be published.

20 − nineteen =