‘මසිත් හසරේ ආකාශ වස්තු”

අපි උන්නෙ මිතුරු කතා බහක. ඒත් අන් යමක් ගැන නෙවේ. සාහිත්‍යය ගැනමයි. පොත පත ගැනමයි. ජෝහා අල්හාර්තිට Celestial Bodies වෙනුවෙන් මෑන් බුකර් ත්‍යාගය ලැබුණෙත් ඒ කාලෙ. ”ගංඟා මේ සැරේ මෑන් බුකර් දිනපු අරාබි ලේඛිකාවගෙ පොත පරිවර්තනය කරන්නකො.” මම කීවෙ නිකමට. ඒත් ටික දවසකට පස්සෙ මුහුණුපොත මට කියනවා ගංඟා එකී කෘතියේ පරිවර්තන අයිතිය ලබා ගත් බව. ඉතින් සතුටු නොවී කොහොමද? ”ආකාශ වස්තු” නමින් මනරම් පිටවැස්මක් සහිතව එළිදකින්නේ ඒ කෘතිය.
ඇයම පරිවර්තනය කළ ඔර්හාන් පමුක්ගෙ ”මසිත් හසර එක්තරා නුහුරුවක” කියවා අවසන් වූයෙත් මෑතක. ලාංකේය දේශපාලනයේත්, මගේ රැකියා ජීවිතයේත් සංක්‍රාන්ති සමයක එවකට කාර්යාලීය පුස්තකාලයෙන් ලබා ගත් අවසන් පොත විදියටයි මම මසිත් හසර කියෙව්වෙ. මාසයක පමණ කාලයත් මෙව්ලූත් නම් බෝසා වෙළෙන්ඳා සමඟ තුර්කියේ ඉස්තාන්බුල් නුවර සැරිසැරුම විචිත්‍ර අරුමැසි  චාරිකාවක්ම වුණා. මට මාසයක් වුණත් එය ළමා මෙව්ලූත්ගේ සිට මහළු මෙව්ලූත් දක්වා දිව යන ජීවන අන්දරයක්. තුර්කියේ සමාජ, දේශපාලන පරිණාමය සමඟ ගැටගැහෙන සංස්කෘතික, ආගමික වටපිටාව තුළ පීඩිත ජන කොටසකගේ ජීවිතවල සිදුවන හැලහැප්පීම් නවකතාවේ පණ ගැහෙන ආත්මය බවට පත්වෙනවා.
”මසිත් හසර එක්තරා නුහුරුවක” කියන්නෙ මතකයෙන් ගිළිහී නොයන ආකාරයේ පොතක්. ”ආකාශ වස්තු” කියවා අවසන් වන විටත් බෝසා මිහිර හිතින් වියැකී තිබුණේ නැහැ.
ඕමානයේ පවුලක පරම්පරා තුනක ජීවන වෘත්තාන්තය අප වෙත ගෙනෙන ”ආකාශ වස්තු”   ආකෘතියෙන්, කතා ලතාවෙන් පමුක්ගේ කෘතියට වඩා වෙනස්. කෘති දෙකම දේශයන් දෙකක මානව ශිෂ්ටාචාරයේ පරිණාමයේ අවස්ථා කිහිපයක් විචිත්‍ර විදියට ප්‍රබන්ධ ගතකිරීමේ ප්‍රයත්නයන්. විචිත්‍ර වන්නේ හෝ අරුමැසි වන්නේ හෝ සුන්දර වන්නේ ලේ, දහදිය, කඳුළු මතින් ගලා යන ඉතිහාසයේ කතන්දරය නම් නොවේ. එය ප්‍රබන්ධ ගත කරන ආකාරයයි.
වහල් වෙළඳාම පැවති වැඩවසම් සමාජ ක්‍රමයක සිට තෙලෙන් ධනවත් වූ නූතනත්වය දක්වා දිවෙන ඕමානි පවුලක ජීවන අත්දැකීම් නවකතාව තුළ ගොනු වී ඇති ආකාරය තරමක් සංකීර්ණයි. එය පරිවර්තනය කිරීමට අසීරු කෘතියක් බව නිසංසලා ධර්මසේන තැනක ලියා තිබූ බවත් මතකයි. පටලැවිලි ලිහාගෙන කියවීමේ උවමනාව සහ කැමැත්ත ඇත්නම් කෘතියේ අන්තර්ගතය වටහාගැනීමේ අපහසුවක් නැති බවයි මගේ හැඟීම.
ධනවතුන්ගේ හස්තයේ රූකඩ මෙන් නැටවෙන වහල් මිනිසුන්ගේ වහල්භාවයට නොදෙවෙනි වහල්භාවයක් අත්විඳින ගැහැනුන්, සම්ප්‍රදාය සංස්කෘතිය විසින් ස්වාභාවික මානව හැඟීම් අවශ්‍යතා යටපත් කර දැමූ වේදනාවේ ස්මරණයන්, ඒ අතර සම්ප්‍රදාය ඉක්මවා ජීවිතය සොයා යන්නට වෙහෙසන ගැහැනුන්, පිරිමින් ”ආකාශ වස්තු” තුළ ඔබ හමුවනු ඇති. අපට ආගන්තුක දේශයක්, සංස්කෘතියක්, සමාජ දේශපාලන අවකාශයක් මෙලෙස තවත් බසකට ගෙන ඒම පහසු කටයුත්තක් නොවන්නට ඇති. ගංඟා බොහෝ හැදෑරීම් කරන්නට ඇති බව නිසැකය. ”මසිත් හසර එක්තරා නුහුරුවක” කෘතියත් එයට සාක්ෂ්‍ය සපයයි.
-තරුරසි ප්‍රනාන්දු

Leave A Reply

Your email address will not be published.

17 + ten =