ගෝලීයව සිතමින් දේශීයව වැඩ කරමු

ඇතිවී ඇති සිංහරාජය පිළිබද පරිසර කතාබහ ඇත්ත සහ බොරුව අතර දෝලනය වෙමින් පැවතියද ඒ තුල ඇති නූතන සංවර්ධනය සහ පරිසරය අතර ආතතිය සැඟවිය හැකි යමක් නොවන බවට පත්ව ඇත. එක් අතකින් ලංකාගම සහ නෙළුව වැසියන්ට නගරයට ප්‍රවේශ මාර්ගයක් අවශ්‍යව ඇති අතර ඒ අවශ්‍යතාව ඉටු කිරීම බලයට පත් වූ ඕනෑම ආණ්ඩුවක වගකීමකි. ගමේ සිට දුෂ්කර මාර්ග ඔස්සේ නගරයට යෑමට කොතරම් අමාරුද යන්න දන්නේ ගමේ ඉපදුන උන්ය. නගරවල සිට වොයිස් කට් දෙන උන් නොවේය. ඒ සංක්‍රමණය නරක දෙයක් නොවේ.
ඒ වගේම මෙහිලා දැවැන්ත පරිසර ප්‍රශ්නයක් ගෝලීය ලෙස අප ඉදිරියේ ඇතිබව ද අප පිළිගත යුතුය. සිංහරාජය යනු ලාංකික උරුමයක් ම නොව ගෝලීය සම්මුතීන්ට අයත් ලෝක උරුමයකි (world heritage site). ඒ නිසා අපේ ලෝකල් ගමනාගමන ප්‍රශ්නය මේ සුවිශේෂී භූගෝල නිමේෂයේ විසඳා ගත යුතුව ඇත්තේ ගෝලීය වගවිමේ (global responsibility) කොන්දේසි යටතේය. හරියටම එය සීගිරිය, දඹුල්ල වැනි යුනෙස්කෝ ප්‍රඥප්ති ගණයට වැටෙන සුවිශේෂී ස්ථානයකි. චිත්‍ර හෝ පන්සල අපේ වූ පමණින් අපිට උවමනා දේ ඒවායේ කල නොහැක්කේ ඒ ස්ථාන වල සුවිශේෂී බව රඳා පවතින්නේ අර ගෝලීය ප්‍රඥප්ති වල අප රැඳී ඉන්නා තෙක් ය.
තම පෞරාණික උරුමයන් වෙනුවෙන් යුනෙස්කෝ ප්‍රඥප්ති වල පිළිගැනීම ලබා ගැනීම වෙනුවෙන් විශාල වෙහෙසක් ලෝකයේ විවිධ රටවල් විසින් කරනු ලබයි. ජපානය මේ සඳහා හොඳ උදාහරණයකි. තම සංස්කෘතික උරුමයන් වෙනුවෙන් යුනෙස්කෝ සහතිකය (UNESCO accreditation) ලබා ගැනීම සඳහා ඔවුන් විශාල වෙහෙසක් දරා ඒ සහතිකය රැගෙන ඒ උරුමය ගෝලීය වෙළඳ පලේ ඉහලින් මාකට් කරනු ලබයි. යුනෙස්කෝ භුමි භාගයක් (UNESCO site) යන වෙළඳ ලකුණ (trade mark) නිසාම ගෝලීය සංචාරකයින් ඒ පිළිබද ආකර්ෂණය වේ. සංචාරකයින් තම සිතියමේ යුනෙස්කෝ පිහිටීමක් මඟ හරින්නේ නැත.
යුනෙස්කෝ නිර්ණායක අනුගමනය කිරීම සඳහා විශාල වෙහෙසක් දැරිය යුතු අතර ඒ නිර්ණායක අනුගමනය කිරීමට අප දේශීයව අපොහොසත් වුවහොත් ඔවුන්ගේ ලැයිස්තුවෙන් අප අසාදු ලේඛන ගත කරනු ලබයි. එසේ වුවහොත් එය විශාල පාඩුවකි. විශේෂයෙන් සංචාරක ව්‍යාපාරය පැත්තෙන් පාඩුවකි.
එසේනම් ලෝක උරුම පිහිටීමක් ලෙස සිංහරාජයට අදාළ පරිසර නිර්නායක මේ වනවිටත් ලංකාවේ රජය සතුව පැවතිය යුතුය. ඒ කොන්දේසි කිසිවිටක ඒ ප්‍රදේශ වල ජනයා සම්බන්දයෙන් නොසැලකිලිමත් වන්නේ නැත. යුනෙස්කෝ ප්‍රඥප්තියට අනුව ඒ ජනයා ද ඒ භූමියේ හිමිකරුවන් ය. ඔවුන් ට ද සමාජ සංවර්ධනයේ ප්‍රතිලාභ අයිතිය. හැමදාම ඔවුන් වැල් පාලම් වල යා යුතු නැත. නමුත් ඒ සංවර්ධන ක්‍රියාදාමය පරිසර නිර්ණායක අනුව සිදු විය යුතුය. ප්‍රමිතිගත විය යුතුය. ජපානයේ අරසියමා කැලය, කියෝතෝ ප්‍රදේශය, මැලේසියාවේ පෙනැන් දුපත, ඔස්ට්‍රේලියාවේ සහ ඇමෙරිකාවේ ඇතැම් සංරක්ෂිත ප්‍රදේශ මේ සඳහා උදාහරණ සපයයි. නූතන සංවර්ධනය, මිනිස් අවශ්‍යතා සහ ස්වභාව ධර්මය අතර ආතතිගත සම්බන්දය ඔවුන් සෑහෙන පමණ විසඳා ගෙන ඇත. අප කළ යුත්තේ ඒ උදාහරණ දෙස බලා ඒවා අපේ රටේ අවශ්‍යතා සමඟ බද්ධ කර ගැනීමය.
අවශ්‍ය වන්නේ සංවර්ධනය නොව ප්‍රමිතිගත සංවර්ධනය ය. තිරසාර සංවර්ධනය ය. සිංහරාජය වඩාත් ආරක්ෂා වන අයුරින් ඒ ඒ ගම්වල වැඩිවන තරුණ ජනගහනය නාගරික නිවාස වෙත අවශෝෂණය කරමින් යම් මිනිස් වී-ප්‍රදේශගත කිරීමක් කළ හැකිනම් මා වඩාත් කැමතිය. එසේ වුවද කිසිවෙකු මගේ ආශා දැලේ සිරගත විය යුතු නැත.
-මහේෂ් හපුගොඩ

Leave A Reply

Your email address will not be published.

5 + three =