“දවස් තුනක කතාවක්”

ප්‍රබන්ධයක් කියවීමේදී එය පාඨකයා වෙත හෙලන ඇතුළාන්ත බැල්ම අතිශයින් තීරණාත්මකය. එය පාඨක ආත්මය සලිත කරන බැල්මකි. පඨිතය යළි ලිවිමේ කාර්යට පාඨකයා පෙලඹෙනුයේ මෙකී සසලවීම මගිනි. මන්ද, මෙම ඇතුළාන්ත බැල්ම දරා ගැනීම බෙහෙවින් දුෂ්කර බැවිනි. එවන් පඨිත තමා මගහැර යාමට පාඨකයන්ට මෙන්ම නිල විචාරකයන්ට සහ සාහිත්‍ය විනිසුරන්ටද අවකාශ නොදෙයි. අරැණ ගුණරත්නගේ ” දවස් තුනක කතාවක් ” මෙම ලක්ෂණයෙන් පොහොසත් නවකතාවකි. ඔහු මෙහිදී භාවිත කරන ප්‍රබන්ධමය උපායමාර්ග මෙම ගුණය තව තවත් පෝෂණය කරයි. මේ අනුව ඔහු පාඨකයාට වචන හෝ වාක්‍ය තුළ ස්ථාවර වීමට ඉඩ නොදෙයි . ඔහු විසින් නඩත්තු කරන මෙම අනියතභාවය නිසා පාඨකයාට නවකතාව නිමවනතුරුම තාර්කික රාමුවකින් පිටත සිටීමට සිදු වේ. එමෙන්ම අරැණ මෙහිදී පාඨකයා භාෂාවේ වසගයට නොව අත්දැකීමේ වසගයට කොටු කර ගනී. ඔහුට භාෂාව හුදු සන්නිවේදන මෙවලමක් පමණි. (මෙම ගුණාංග දෙක ලියනගේ අමරකිර්තිගේ කෙටිකතාවලද නොඅඩුව දක්නට ලැබේ.
ප්‍රබන්ධයේ දී පවා තමා මගහැර අනෙකා වෙත බැල්ම හෙලීමට වැඩි දෙනෙක් කැමැත්ත දක්වති. (මෙම ඇතුළාන්ත බැල්මට බියවීම මෙරට වාමාංශික ව්‍යාපාරයේ පවත්නා මූලික රෝග ලක්ෂණයක් ද වේ. ) නැතහොත් පඨිතය විසින් පාඨකයා කියවීමකට ලක් කරන විට අපි එය මගහැර යාමට උත්සුක වෙමු. එහෙත් “දවස් තුනක කතාවක් “පඨිතය, පාඨකයාව තියුණු කියවීමකට බඳුන් කරයි. මේ නිසා එහි වාස්තවික දින ගණන තුනක් වුවද ආත්මීය කාලය ඊට වඩා බෙහෙවින් දිගුය. බහුතරයක් නිල විචාරකයන් මෙන්ම සාහිත්‍ය විනිසුරන්ද “දවස් තුනක කතවක්” මගහැර යාමට නැඹුරුවක් දක්වන්නේ මේ ඇතුළාන්ත බැල්මට ඇති බිය නිසාද?
-උදිත අලහකෝන්

Leave A Reply

Your email address will not be published.

10 + thirteen =