නංගිගේ රහසිගත සෙනෙහෙ වීණාව

නිසඳැස්/නිදහස් කවියේ ද්විතීය භාගය නියෝජනය කරන කවීන් අතර පරාක්‍රම කොඩිතුවක්කු, මොනිකා රුවන්පතිරණ, දයාසේන ගුණසිංහ, ධර්මසිරි රාජපක්ෂ, බර්ටි බී. කුඩාහෙට්ටි, රත්න ශ්‍රී විජේසිංහ, නන්දන වීරසිංහ, ආරියවංශ රණවීර, බුද්ධදාස ගලප්පත්ති, කෝ. ආනන්ද හිමි, කුමාර හෙට්ටිආරච්චි, සෙනරත් ගොන්සල්කෝරාල, දර්ශන මේදිස්, යමුනා මාලනී පෙරේරා, එරික් ඉලයප්ආරච්චි ආදී කවීන් හඳුනා ගැනේ.

ධර්මසිරි රාජපක්ෂ යනු ලාංකේය කවි කෙතෙහි සරුවට හැදුණු වී කරලක් ලෙස හැඳින්වීම නිවැරදි ය. 70 දශකය වූ කලී දේශපාලන වශයෙන් ශ්‍රී ලාංකේය ජනතාවට අමිහිරි මතක ඉතිරි කළ දශකයක් විය. ඔහු සිය පළමු කාව්‍ය ග්‍රන්ථය වන ‘ඉතින් සහෝදරවරුනි’ 1975 වර්ෂයේ රචනා කරන අතර දෙවැන්න ඉන් වසර 10කට පමණ පසු එනම් 1985 ‘ශක්තියේ පුෂ්පය’ නමින් ජනගත කරයි. මේ කෘති ද්විත්වය ම කාව්‍ය රසිකයන්ගේ ජනාදරයට පාත්‍ර වූ කෘති බැව් වෙසෙසින් සඳහන් කළ යුතු ය. 70 දශකයේ බිහිවුණු කවියන් අතර වෙනස් ම ආරක කවි ලියූවෙකි ධර්මසිරි රාජපක්ෂයන්. ස්වකීය කවිය තුළ සමාජයේ පීඩිත ජනතාවගේ හෘදයාභ්‍යන්තරයේ කටහඬ ඔහු සිය කවියට යොදා ගත්තේ ය. මිනිස් සමාජයේ කැඩපතක් බඳු ධර්මසිරි රාජපක්ෂයන්ගේ කවියට විරැකියාව, සිංහල පමණක් රාජ්‍ය භාෂාව බවට පත් කිරීම තුළ ශ්‍රී ලාංකේය උගත් සමාජය මුහුණ දෙන ගැටලු, පවුල, ප්‍රේමය ආදී වූ මානව සබඳතා වැඩි වශයෙන් වස්තු බීජ සපයා තිබෙන අයුරු නිරීක්ෂණය කළ හැකි ය. හුදු සටන් පාඨවලින් ඔබ්බට යමින් ඊට සෞන්දර්යයක් එක් කිරීමට කවියාට හැකි විය. විප්ලවවාදී කවියට සෞන්දර්යයක් එක් කළ ‘සෞන්දර්යවාදී විප්ලවවාදියා’ වශයෙන් ඔහු හැඳින්වීම වඩාත් නිරවද්‍ය ය.

“දිගු කොට සඳ

කැරැල්ලක් සේ

ම ඒ අත

මාත් වාඩි කරගනු

මැන ඔය සඳ යට

ම නැඟණියනි”

‘තලමලේ කවිය’ නමැති ජනප්‍රිය පද්‍ය පන්තිය ඔහු අතින් ලියවෙන්නේ, 1985 වර්ෂයේ දී දෙනගම ඥානවතී නම් කාන්තාව බීමත් පුද්ගලයන් සහ චීවරධාරියකු විසින් දූෂණය කොට මරා වැවට විසි කර දැමීමේ ඛේදවාචකය පිළිබඳව ය. ඔහු දෙවියන්ට ද අභියෝග කරමින්, ඉතා ම සරල, ගැමි නමුත්, ගැඹුරු අරුත් ජනනය කළ හැකි හදවත කම්පා කරවන භාෂාවක් උපයුක්ත කර ගනිමින් පහසුවෙන් කවියක් බවට පත් කර ඇති අපූරුව බලන්න. විශාරද ගුණදාස කපුගේ සමඟින් විශාරද නන්දා මාලිනියන් විසින් ගැයෙන ගීතයක් බවට පසුකාලීනව පත් වුණු මාලිනියගේ ‘කිඳුරියකගේ විලාපය’ කැසට් පටයේ මෙය අන්තර්ගත ය.

“කියන්න කවි කර අම්මෙනි අවසර

මහතුන් නැති රට ඇයි උන් අවසර

දෙවියන් නිඳි නම් ඇහැරී වර වර

බිම හෙළලා අර දෙනගම තලමල”

(ශක්තියේ පුෂ්පය-1985)

ධර්මසිරි රාජපක්ෂයන්ගේ තෙවන සහ අවසන් පද්‍ය සංග්‍රහය වශයෙන් පාඨකයන් අතට පත් වන්නේ ඔහුගේ මිතුරන්ගේ මැදිහත්වීමෙන් 2010 වර්ෂයේ දී ජනගත කරන ලද ‘සඳ වතුර’ කෘතියයි. ඔහුගේ එම කෘතිය මුද්‍රණද්වාරයෙන් එළිදැක්වීමට පෙර එනම්, අත් පිටපතක්ව තිබිය දී, ඒ පිළිබඳව 2004 වර්ෂයේ දී ‘රාවය’ පුවත් පතෙහි ‘මම සඳ වතුර කැටුව එන්නෙමි’ මැයෙන් පළ වූ සම්මුඛ සාකච්ඡාවෙහි දී ඔහු කවිය පිළිබඳ දැක්වූ අදහසක් මෙහි ලා ගෙනහැර දැක්වීම වැදගත් යැයි හැඟේ.

“අත්දැකීම් හදවත ඇතුළේ අතුරලා, බුද්ධියට අරන්, බුද්ධිය ඇතුළේ කපලා, කොටලා, පොඩි කරලා දාන්න ඕනෙ. එතකොට තමයි, කවියෙ සුවඳ එන්නෙ.” (2004 ජනවාරි 25 ‘රාවය’, මංජරිය ‘නදී තෙර-හද බසක සටහන’)

ධර්මසිරි රාජපක්ෂ කවියාගේ හෘදයාභ්‍යන්තරයෙන් පැනනඟින කවිය පිළිබඳව ද ඉංගිතයක් අපට ඉන් ලැබේ. එම කෘතියේ ‘පිටකොටුවේ බෝ රුක යට දී’ පද්‍යයෙහි ඔහු මෙසේ ලියයි:

“ඉතින් පුරවරය සඳවතුරේ තෙමිලා

නිවුණා දුක බෝ හිමිගේ මෙත් සිසිලා

උරනා තොල් සළුපිළි ගලවා තබලා

සොඳිනා දෙදෙව් ලෝ සැප සතුටේ ගිලිලා”

(ඉහත ලිපිය)

අප කවියාගේ දෙවැනි කාව්‍ය සංග්‍රහයේ පැනෙන ‘නංගිගේ රහසිගත සෙනෙහෙ වීණාව’ වූ කලී ග්‍රාම්‍ය සුන්දරත්වය යට සැඟ වී තිබෙන කටුකත්වය රසික සිත් වසඟ කරමින් ඉදිරිපත් කරන්නකි.

“නින්ද නැති

මේ රැය

ගෙයින් පිට රැළි ගසන සඳ වතුර ය.

“රබර් ගස්

නැති නමුදු

සීතල සිංහරාය

පාමුලේ සිහි වේ මට

නිදිමත ආනන්දයෙන් චමත්කාරය

වගුළ සඳපහන උරා මත් වූ ගමේ

රබර් යාය

“නවම් මහ ගෙවී යන

ඉපල් අතු අග

මුදු ළපටි දලු‍ ඇදෙන

රාත්‍රියේ

“කුප්පි ලාම්පුවේ දැල්ල මිලින

කොට පිඟන් කටු කෑල්ලක් ගෙන

කිරි පිහිය මුවහත් කරමින

සොඳුරු වූ රහසිගත සෙනෙහෙ වීණාව

ගෙන සඳ පහන සේ ආදරෙන් වය වයා

මිහිර විඳ විඳ

“බොහෝ වේලා

නිඳි වරන නැඟණියනි

රළු ය

නුඹෙ අත

කිරි පිහියට

සැබෑ ම ය එය

මුදු ය

සුපිරිසිදු ය

නුඹෙ දෑත

 

“දිගු කොට සඳ

කැරැල්ලක් සේ

ම ඒ අත

මාත් වාඩි කරගනු

මැන ඔය සඳ යට

ම නැඟණියනි”

(ශක්තියේ පුෂ්පය -1985)

ස්වකීය රහසිගත ‘සෙනෙහෙ වීණාව’ රහසේ ම වයමින් ඇතැම් විට අයියලා වෙනුවෙන් ද, ඇතැම් විට මල්ලිලා වෙනුවෙන් ද, තවත් විටෙක දෙමාපියන් ප්‍රමුඛ පවුල වෙනුවෙන් ද ජීවිතයේ වසන්ත සමය ගෙවා දමන අක්කලා, නංගිලා, දූලා අදත් සමාජයේ විරල නොවේ. එවන් වූ නැඟණියකගේ හෘදයෙහි පිටට නොපෙන්වා දලු ලා වැඩෙන ප්‍රේමය, සහෝදර සෙනෙහසින් හෝ නිවෙස පිළිබඳ සෙනෙහසින් වසාගෙන සිටින අයුරුත්, ඇගේ ජීවිතය පිරිසිඳ දකින අයියා ද ඒ වෙනුවෙන් කිසිවක් කර කියා ගැනීමට නොහැකිව අසරණව සිටින අයුරුත් අපට ඉහත කවියෙන් ධ්වනිත ය.

කවියක මතුපිට අර්ථයත්, ඉන් ඔබ්බෙන් කියවෙන ව්‍යංග්‍යාර්ථයත් මේ සියලු‍ ව්‍යාපාර අවසන මතු වන ධ්වනියත් සංකලනය වූ කල බිහි වන කාව්‍ය කෘතියක් රසවිඳින්නට ලැබෙන්නේ කලාතුරකිනි. මෙකී සියලු‍ ම ව්‍යාපාරයන් සඳහා සුවිශේෂී භාෂාවක් (තමන්ට ම අනන්‍ය වූ බසක්) වහරන්නා අන් කවීන් අතර කැපී පෙනෙයි. ඒ වූ කලී කාව්‍ය කෘතියක ස්වාධීනත්වය මතුකොට පෙන්වීමේ ලා කවියකු භාවිත කරන ප්‍රධාන මෙවලමකි.

‘සඳ වතුර’ ඉතා සුන්දර යෙදුමකි. ප්‍රේමය, ශෘංගාරය, ආලිංගනය,

මෙන් ම සෞම්‍ය බව ද ධ්වනිත කිරීමේ ලා එම යෙදුම සමත් ය. එය නැවුම් ම නැවුම් යැයි කිව හැකි නොවෙතත්, එකී සඳවතුර රැලි නඟන්නේ නිවසින් පිටත ය. එකී සඳ වතුරේ තෙමෙන්නට එබැවින් ඈට නොහැකි ය. ඈ රාත්‍රියේ නිඳි නැතිව සිටින්නේ තනිව ම ය. ඇයට ප්‍රේමවන්තයෙක් සිටියා නම් හෝ ඇගේ සිත් ගත් පුද්ගලයෙක් හෝ ස්වාමිපුරුෂයෙක් සිටියා නම්, ඈට උතුරන සඳ වතුරේ කිමිදෙන්නට තිබිණි. ඒ සියල්ල නිවසේ සිටින නැඟණියට අහිමි ය.

ඔවුන් මේ සිටින්නේ කොළ හැලෙන පෙබරවාරියේ නොහොත් නවම් මස ගෙවී යන සමයේ ය. කොළ නිවාඩුව නිම වෙන්නට ආසන්න ය. ඇය දිනපතා පුරුදු පරිදි ඇගේ කිරි පිහිය පිඟන් කටුවකින් මුවහත් කරයි. ඇය තුළ අනාගතය පිළිබඳ හැඟීම් බොහොමයකි. බලාපොරොත්තු ගොන්නකි. ඒ සිහිපත් වන්නට වන්නට ඇතැම් විට ඇගේ කිරි පිහිය මුවහත් කිරීම දිගු වන්නට ඇත. ඒ මුවහත් කිරීම අතරතුර ඇය ප්‍රේමය නමැති හැඟීම යළි යළිත් සිතින් විඳින්නී ය. ඇය ඇගේ ප්‍රේම මනෝ ලෝකයේ රසවිඳින්නේ ඒ සමඟ ය. එබැවින් ම රාත්‍රියද දිගු ය. නින්දක් ඈ වෙත සැණෙන් නොපැමිණේ. ඇගේ රහසිගත සෙනේ වීණාව තම සිත තුළ ම රහසිගතව වයන්නී ඈ එයින් නැඟෙන මිහිර ද රහසින් ම විඳින්නී ය. ඒ රාත්‍රියේද පුරුදු පරිදි ම නැඟණිය තුළ නැඟෙන ප්‍රේමයේ දැල්ල නැඟෙයි. ඒත් වෙනදා වගේ ම පවුල පිළිබඳ අදහස මතු කරමින් ඇය එම දැල්ල මිලින කරයි.

‘ගීතය’ නමැති සාහිත්‍යාංගය අතැඹුලක් සේ ස්වකීය පන්හිඳ තුඩගින්

සිත්තම් කරන ප්‍රේමකීර්ති ද අල්විස් නමැති අපූර්ව ගේය පද රචකයා සුනිල් එදිරිසිංහයන්ට ලියා දුන් ආචාර්ය රෝහණ වීරසිංහයන් සංගීතවත් කළ ‘දෑවැදි දෙන්නට රන් මසු පොදි නැති-ගෙදරට බරවුණු බාල නඟේ’ ගීතය මේ කවිය රසවිඳින්නකුගේ සිතට නැඟෙනවා නම්, එය අරුමයක් නොවේ.

“දෑවැදි දෙන්නට රන්මසු පොදි නැති

ගෙදරට බරවුණු බාල නඟේ

නුඹ ගෙනියන්නට ගමෙත් කෙනෙක් නෑ

රටෙත් කෙනෙක් නෑ

බාල නඟේ…”

මෙම ගීතයෙහි සිටින අයියා මෙන් ම අසරණ අයියා කෙනකු ‘නංගිගේ රහසිගත සෙනෙහෙ වීණාව’ තුළ ද වෙයි. ඔහු තැවෙන බව වදනින් නොකියයි. ඔහු එය ධ්වනිත වන්නට ඉඩ තියයි. කාව්‍යයක ධ්වනිථාර්ථයන් අගය කරන්නේ හුදු භාරතීය ධ්වනිවාදයේ පඬුවන් ම පමණක් නොවේ. එය පෙරදිග මෙන් ම බටහිර ද විචාර ක්‍රමවේදයන්හි ද ඉහළින් අනුදත්තකි.

නැඟණිය නිඳිවරන්නී හුදෙක් හෙට උදෑසන ‘කිරි කට්ටිය’ට යන්නට ම ද? නැත. ඇය ඉන් නොතැවෙන්නේ නොවේ. ඇගේ අභ්‍යන්තරය ඈ තැවුවත් එය ද ඇය මිහිරක් ම කර ගන්නී ය. ඈ පිළිබඳ හොඳ කියවීමෙක් මේ අයියාට තිබෙන බව ද පෙනේ.

“රළු ය

නුඹෙ අත

කිරි පිහියට”

සැබෑ ම ය එය. ඇගේ අත්වල කිරිපිහියට නැඟි කරගැට ද ඇතැම් විට තිබිය හැකි ය. ඒ දෑත එතරම් ම රළු ය. ඈ කුලියට කිරි කපන්නේ නම්, අක්කර කිහිපයක ගසින් ගසට ගොස් කිරි පිහිය සමඟ අරගල කළ යුතු ය. සියුමැලි දෑතකට නම් කිසිසේත් එය ඔරොත්තු දෙන්නක් නොවේ. සියුමැලිව තිබුණු ඇගේ දෑත් මේ තරම් රළු වූයේ කිරි පිහියට ය. ඒත් මේ අයියාට ඇගේ දෑත සුපිරිසිදු ය. මේ තුළ මතු වන උත්ප්‍රාසය අගැයිය යුතු මට්ටමක පවතී.

“නැඟණියනි, නුඹේ දෑත රළු බව සැබෑ ය. එහෙත්, ඒ දෑත් කිළිටි නැත. පිරිසිදු ය. නැත ‘සුපිරිසිදු’ ය. ඇගේ කිරි පිහියෙන් තුවාලව ගලන්නේ රුධිරය නොවේ. කිරි ම කිරි පැහැති පිරිසිදු ‘රබර් කිරි’ ය.

“දිගු කොට සඳ

කැරැල්ලක් සේ

ම ඒ අත

මාත් වාඩි කරගනු

මැන ඔය සඳ යට

ම නැඟණියනි”

සඳ කැරැල්ලක් සේ අත දිගු කරන්නේ නම්, ඈ සඳක් විය යුතු ය. ඇගේ සුන්දර බව තරුණ බව ධ්වනිත කරන අයුරු අපූරු ය. ඇගේ සහෝදර ප්‍රේමයේ දෑත් අල්ලාගෙන ඈ සමඟම සිටින්නට, ඇගේ එවන් වූ සෙනෙහස විඳින්නට ඔහු ද කැමති ය. ඒ ආදරණීය සහෝදරත්වය වැළඳ ගන්නට ඔහු සූදානම් ය. ඒ සූදානම හුදු අයියාට පමණක් නොව සහෘදයා තුළ ද ජනිත කරන්නට ධර්මසිරි රාජපක්ෂයෝ සමත් වෙති.

ගයාන් පීරිස්

Leave A Reply

Your email address will not be published.

8 + thirteen =