මහජන සාමය තව දුරටත් හමුදාවට !

මහජන සාමය පවත්වාගෙන යාම සඳහා රටේ සියලු‍ම දිස්ත්‍රික්කවලට ත්‍රිවිධ හමුදාව කැඳවන බව සඳහන් නව ගැසට් නිවේදනය පසුගිය 18 දා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් නිකුත් කර තිබේ.
එම ගැසට් නිවේදනය අගෝස්තු 22 සිට ක්‍රියාත්මක ය. අංක 2189/19 දරන මෙම ගැසට් පත්‍රය ජනාධිපතිවරයා නිකුත් කර ඇත්තේ මහජන ආරක්ෂක ආඥා පනතේ 12 වැනි වගන්තියෙන් ඔහුට පැවරී ඇති බලතල ප්‍රකාරව ය.
අප්‍රේල් 21 ප්‍රහාරයෙන් පසු එවකට ජනාධිපති ධුරය දැරූ මෛත්‍රීපාල සිරිසේන විසින් මෙසේ මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ත්‍රිවිධ හමුදාව කැඳවන ලද අතර, ඉන්පසු මාසයකට වරක් එය දීර්ඝ කෙරිණි. වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයට පත් වීමෙන් පසුව ද එය දිගින්දිගටම දීර්ඝ කෙරිණි. කෙසේ වෙතත්, ජනාධිපතිවරයා මෙය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු වුව ද, පසුගිය කාලයේ පාර්ලිමේන්තුව අක්‍රියව පැවැතීම නිසා එය සිදු වූයේ නැත.
මෙසේ අත්‍යවශ්‍ය නොවන අවස්ථාවල දී මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ත්‍රිවිධ හමුදාව කැඳවීම සම්බන්ධයෙන් පුළුල් කතාබහක් ඇති වූයේ රතුපස්වල නඩුවේ දී ය. පිරිසිදු ජලය ලබා දෙන ලෙස ඉල්ලා උද්ඝෝෂණය කළ ජනතාවට වෙඩි තැබීම සහ ඝාතනය කිරීම සම්බන්ධයෙන් එම මෙහෙයුමට නායකත්වය ලබා දුන් එවකට බි්‍රගේඩියර්, වර්තමාන මේජර් ජෙනරාල් දේශප්‍රිය ගුණවර්ධන ඇතුළු සැකකරුවන්ට චෝදනා එල්ල වී තිබූ අතර, විධිමත් කැඳවීමකින් තොරව එම මෙහෙයුම සිදු කිරීමට සාධාරණ හේතු ලෙස සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කළේ එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් නිකුත් කර තිබූ මේ ආකාරයේ ගැසට් පත්‍රයකි.

Leave A Reply

Your email address will not be published.

one × 2 =