බුද්ධිමත් රාජ්‍ය තාන්ත්‍රිකයෙක් මේ විදිහට වැඩ කරන්නෙ නෑ

නීතිඥ එස්.ජී.පුංචිහේවා

ගලගොඩඅත්තේ ඥානසාර භික්ෂුවට දඬුවම් නියම වුණේ අධිකරණයට අපහාස කිරීම නිසයි. මේ වගේ වරදකටත් ජනාධිපති සමාව දුන්නා කියන්නෙ තවදුරටත් අධිකරණය ගැන කතා කිරීමේ තේරුමක් තියෙනවද?

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වැරදිකරු වූ තැනැත්තෙකුට සමාවක් දීම කියන්නෙ කිසිම  බුද්ධිමත් රාජ්‍ය තාන්ත්‍රිකයෙක් නොකරන වැඩක්. එය අධිකරණයේ තීන්දුවකට එරෙහිව යෑමක් විතරක් නෙමෙයි බරපතළ තත්ත්වයක්. එහෙම කරන්න නම් අධිකරණයෙන්ම නිර්දේශයක් ගන්න ඕනෙ. එහෙම ගන්න බැරි නම් සාමාන්‍යයෙන් රාජ්‍ය තාන්ත්‍රිකයෙක් ඒ වගේ දෙයකට ඇඟිලි ගහන්නෙ නෑ. තමන් බුද්ධිමත් නැතත්, අඩු තරමෙ ඒ බවවත් වටහාගෙන අනෙක් අයගෙන් උපදෙස් ගන්නව නම් මේ වගේ දෙයක් කරන්නෙ නෑ.

ඒත් ජනාධිපතිවරයාට මේ අභිමත බලය තවදුරටත් තියෙනවා …?

ඔව්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඒ බලය පැවරිලා තියෙනවා. බලය දීලා තිබුණට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙ ඒක විස්තර කරලා නෑ. ඒත් ඒක එකපාරටම හිතුණු පළියට දෙන්න බෑ. අපි ඉන්නෙ ප්‍රජාතන්ත්‍රවාදී රටක නම්, තමන් ප්‍රජාතන්ත්‍රවාදී රටක නායකයෙක් කියලා ජනාධිපති දිව්රුම් දීලා තියෙනව නම් එයාට තනි තීරණ ගන්න බෑ. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මිසක් ඒකාධිපති ව්‍යවස්ථාවක් නෙමෙයි.

ඒක නිසා යම් පුද්ගලයෙකුට සමාවක් දෙන්න කලින් නීතිමය පසුබිම වගේම සදාචාරමය පසුබිමත් හොයලා බලන්න ඕනෙ. ඒක නීතියට ගැළපෙන්න ඕනෙ. මේ සමාව ලබන පුද්ගලයා යම් වරදක් කරලා දඬුවම් වින්දට, රටට ප්‍රයෝජනවත් පුද්ගලයෙක් නම්, රටේ අනාගතයට යහපතක් කළ හැකි පුද්ගලයෙක් නම්, ඔහුව නිදහස් කරන්න කියලා රටෙන්, ජනතාවගෙන් ඉල්ලීමක් තියෙනව නම් මේ ගැන සලකලා බලන්න පුළුවන්. ඒ ඉල්ලීම සාධාරණද, පුද්ගලයා ප්‍රයෝජනවත්ද  කියලා බලන්න ඕනෙ. මෙතැන එහෙම එකක් නෑ. මේ පුද්ගලයා ජාතිවාදය දියුණු කිරීමට විශාල මෙහෙයක් කරපු කෙනෙක්. ඒ වැඩේටම කැපවෙලා ඉන්න, දේශපාලනඥයන්ගෙ වැඩ කරන පිරිසක් මේ ඉල්ලීම කළා වෙන්න පුළුවන්. එත් ඒක සමාජයට යහපත්ද, අයහපත්ද. ඒ වගේම මහානායකලාද මේ ඉල්ලීම කළේ කියන එක මෙතැනදි අදාළ කරගන්න බෑ.

ජේ.ආර්.ජයවර්ධන ජනාධිපතිවරයාගේ කාලයේ ඉඳලම මේ විදිහට ජනාධිපති සමාව දුන්නු පිරිස් සම්බන්ධයෙන් ඔය කියන කාරණය අදාළයි. ඒ කියන්නෙ මෙතැන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අදාළ කරුණ අර්ථකථනය කිරීමේ ගැටළුවක් තියෙනවා…?

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක ඔය සියල්ලම අර්ථකථනය කරන්නෙ නෑ. ව්‍යවස්ථාව මොකක්ද කියන එක තමයි අර්ථකතනය කරන්නෙ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රජාතන්ත්‍රවාදීද, ඒකාධිපතිද කියන එකයි සඳහන් වෙන්නෙ. ඕනෑම කාරණයකට මේක අදාළයි. එකපාරටම හිතුණු ගමන් තීරණ ගන්නව නම් ඒ කියන්නෙ ඒකාධිපතියි. එහෙම පදනමකට මේ ව්‍යවස්ථාවෙ ඉඩක් නෑ. හැමදේම ලියලා නැති එකෙන් ඒවට ඉඩ ලැබෙන්නෙ නෑ. මේක ප්‍රජාතන්ත්‍රවාදී නිසා ඒකට හානියක් වෙන තීන්දු ගන්න ඉඩක් නෑ.

දැන් බලන්න, පහුගිය වෙසක් දවසෙ සිරකරුවො හත්සිය හැට දෙකක් නිදහස් කළා. ඒකට කවුරුත් විරුද්ධ වුණාද. නෑනෙ. ඒ ඔවුන්ගෙන් සමාජයට බරපතළ හානියක් නොවන නිසා. ඔවුන් අහිංසක පිරිස්. ඔවුන්ගෙන් බහුතරය දැන් තමන් කරපුවා ගැන පසුතැවෙනවා. කිසි කෙනෙකුට ඒක ප්‍රශ්නයක් නෙමෙයි. ඒකෙන් සමාජ හානියක් වෙනවා කියලා කවුරුත් විශ්වාස කරන්නෙ නෑ. ඒකයි, මේකයි සම්පූර්ණයෙන් වෙනස්.

දහනව වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් පස්සෙ ජනාධිපතිවරයාගේ මේ තීන්දු අධිකරණය ඉදිරියේ අභියෝගයට ලක්කරන්න පුළුවන් කියලා ඇතැම් පාර්ශ්ව සඳහන් කරලා තිබුණා. මේක විග්‍රහ කරන්නෙ කොහොමද?

දහ නව වැනි සංශෝධනයට පෙර ජනාධිපතිවරයාගේ තීන්දු අභියෝගයට ලක්කරන්න බෑ. ඊට පස්සෙ යම් අවස්ථාවක් ලැබුණා. ඒත් ඒක අදාළ වෙන්නෙ පරිපාලන තීන්දු වලට අදාළවයි. කැබිනට් තීන්දු වගේ ඒවා. ඔක්තෝබර් විසි හය වැනිදා ජනාධිපතිවරයා සිදු කරපු ව්‍යවස්ථා උල්ලංඝනයට අදාළව අධිකරණයෙන් තීන්දුවක් දුන්නෙ ඒ නිසයි. මේක එහෙම නෙමෙයි, මේක එයාට අභිමතයක් විදිහට ව්‍යවස්ථාවෙන්ම දීලා තියෙනවා. එතකොට අභිමතය ප්‍රශ්න කරන්න පුළුවන් වෙන්නෙ පරිපාලන ක්‍රියාවකදි නිසා, මෙතැන ගැටළුවක් තියෙනවා. ඒත් ඒකට ඉඩක් නෑ නෙමෙයි. එහෙම එකක් මීට පෙර වෙලා නෑ. මේ පළමු අවස්ථාව. පූර්වාදර්ශයක් සඳහා අවස්ථාවක් තමයි මේක.

එහෙම පූර්වාදර්ශයකට අවස්ථාවක් තිබුණෙ, ජේ.ආර්. ජයවර්ධනගේ කාලෙ ගෝනවල සුනිල්ට ජනාධිපති සමාව දුන්නු වෙලාවෙ. ලාබාල ස්ත්‍රී දූෂණයක් සම්බන්ධ චෝදනාවකට තමයි ඔහු වැරදිකරු වෙලා තිබුණෙ. ඒත් ඒක ඒ වෙලාවෙ ප්‍රශ්න කෙරුණෙ නෑ. ඊට වඩා මේ වෙලාවෙ යම් අවස්ථාවක් තියෙනවා. දහනව වැනි ව්‍යවස්ථා සංශෝධනය නිසා. ආරම්භයක් වශයෙන් මේක වැදගත්. ඒත් ඒකෙ වටිනාකම එන්නෙ සමාජ මැදිහත්වීම සහ දැනුවත්භාවය වැඩි කිරීමත් එක්ක. ඒකෙදි හැමෝටම වගකීමක් තියෙනවා. තීන්දුවක් දුන්නත්, නොදුන්නත් මේ වගේ එකක් ඉදිරිපත් වීම වැදගත්. එතකොට ඊළඟට එන ජනාධිපතිවරයෙක් හරි ටිකක් බුද්ධිමත්ව හිතයිනෙ, මෙහෙම වෙන්න පුළුවන් කියලා.

මේ තීන්දුවෙන් වෙන විනාශය ගැන සලකලා මූලික අයිතිවාසිකම් නඩුවකට යන්න ඉඩක් තියෙනවා නේද…?

ඔව්. මූලික අයිතිවාසිකම් නඩුවකට යන්න පුළුවන්. ඒ වගේම වැදගත්ම දේ මහජනතාවට පරමාධිපත්‍ය බලය පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නෙ ඡන්ද බලය. එතැනදි මේවා උදාහරණයට අරගෙන මහජනතාව හිතන්න ඕනෙ, ඡන්දය දෙන්න ඕනෙ කාටද කියන එක ගැන. මේක තප්පර කිහිපයක තීන්දුවක්නෙ. කතිරය ගහන වෙලාව විතරයි. ඒත් ඒකට ඔළුව හදාගන්න හොඳ දැනුවත්භාවයක් අවශ්‍යයි.

මෙතැනදිත් තියෙන්නෙ ගෝනවල සුනිල්ගෙ පදනමමයි. තමන්ට තියෙන දේශපාලන වාසිය විතරයි බලලා තියෙන්නෙ. වර්තමාන ජනාධිපතිවරයා ඊළඟටත් බලය ගන්න උපරිම කෑදරකමකින් වැඩ කරන බව අපිට පෙනෙනවා. අපි ඒක එයාගෙ අවාසියට හරවන්න ඕනෙ. ඒකට මාධ්‍යයට ලොකු අවස්ථාවක් තියෙනවා. මාධ්‍ය ඒ දේ කරනවද කියන එක වෙනම සංවාදයක්. ඇත්තටම අධිකරණයේදි කියන්න පුළුවන් මේ තීන්දුව වැරදියි කියන එක විතරයි. සමස්තයට අදාළ තීන්දුව ගන්න පුළුවන් මහජනතාවට.

ලසන්ත වික්‍රමතුංග ඝාතනය ඇතුළු පැහැරගෙන යෑම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වෙලා තියෙන යුද හමුදා බුද්ධි අංශයේ මේජර් බුලත්වත්ත කියන නිලධාරියා නැවත සක්‍රීය හමුදා සේවයට අරගෙන තියෙනවා. මේ වගේ මෑත කාලීන උදාහරණ සියල්ලෙන් නීතියේ ආධිපත්‍ය හෑල්ලු කිරීමේ තරම පැහැදිලි වෙනවා. මොනවද මේ වෙන්නෙ…?

නීතියේ ආධිපත්‍යය කියන එක පොඩි පහේ සංකල්පයක් නෙමෙයි. මේක නිකම් සෙල්ලමකට භාර අරගෙන තියෙන්නෙ. අගමැති, ජනාධිපති වගේ තනතුරු වල ඉන්න අයට දැනෙන්න ඕනෙ, තේරුම්ගන්න ඕනෙ, අපිට වඩා මහජනතාව වැදගත් කියලා. මහජනයාට ඒ අය වැදගත් කියලා සලකන්න ඉඩ සලසන්නෙ නීතියේ ආධිපත්‍යයෙන්. ඒ නිදහස ජනතාවට නැහැ කියන එක ඒ අය තේරුම්ගන්න ඕනෙ. ඒත් අතීතයේ ඉඳලම අපේ රටේ පාලකයන් ඒක තේරුම්ගත්තෙ නෑ. තේරුම්ගත්තත් ඒ විදිහට වැඩ කළේ නෑ. එතැන්ට ගියහම ඒගොල්ලො හිතන්නෙ නීතියේ ආධිපත්‍යය කියන්නෙ මගේ ආධිපත්‍යය කියලා. නීතිය පළුද්දක් නැතුව ක්‍රියාවට නැංවීම තමයි නීතියේ ආධිපත්‍යය කියලා කියන්නෙ. ඒක ක්‍රියාත්මක වෙනව නම් මහජනතාවට පුළුල් නිදහසක් ලැබෙනවා. එතකොට ඒ හරහා හොඳ, විචාර බුද්ධියක් සහිත ඡන්දදායකයෙක් ලැබෙනවා. ඒ වටාපිටාව තමයි මේ සියලු සිදුවීම් හරහා නැති කරන්නෙ. රටකට සෑම පුරවැසියෙක්ම වැදගත්. ඒ වැදගත්කම හදන්නෙ නීතියේ ආධිපත්‍යයෙන්.

ඒ වැදගත්කම නොලැබෙන කොට පොදු ජනතාව කිපෙන්න ඕනෙ. අපේ සමාජයේ තියෙන අඩුව තමයි එහෙම කිපෙන්නෙ නෑ. නිශ්ක්‍රීයයි. අපේ රටේ ඉන්නෙ ප්‍රබන්ධ කරපු පුරවැසියො. ප්‍රබන්ධ කරලා තියෙන්නෙ පාලකයන්. ඒ තත්ත්වය තමයි භයානකම දේ. හදිසි හුදෙකලා සිදුවීම් නීතියෙන් පාලනය කරන්න පුළුවන්. ඒත් කාලයක් තිස්සෙ ප්‍රබන්ධ කරපු පුරවැසියා ගොඩනැගීම අසීරු කාර්යයක්. කිපෙන එක ප්‍රජාතන්ත්‍රවාදී නෙමෙයි කියන හැඟීම ඔළු වලට දාලා තියෙන්නෙ.

මේ කාරණය අවබෝධ කරගෙන ඉන්න බව පෙනෙන සිවිල් සමාජ ක්‍රියාකාරිකයන්, නීති ප්‍රජාව වගේ කණ්ඩායම් වල මැදිහත්වීම ප්‍රමාණවත් නොවීම ඔබ කොහොමද දකින්නෙ…?

ඔවුන් අවබෝධ කරගෙන ඉන්නවා කියන එක මම පිළිගන්නෙ නැහැ. ඒ අයත් ඒ හදපු සමාජ ක්‍රියාවලියේ ප්‍රබන්ධකාරක සේවයක් තමයි කරන්නෙ. ඒජන්තවරුන්ගේ භූමිකාව තමයි ඒ අය කරන්නෙ. හරියට අවබෝධ කරගත්තොත් කරන්න ඕනෙ ඒක බෙදාහරින එකයි. එහෙම කරන්නෙ නෑනෙ.

විද්වතුන් උපාධි පස්සෙ හඹායනවා. ඒ විදිහටයි මේක හදලා තියෙන්නෙ. මහාචාර්ය, ආචාර්ය, අහවල් විද්වතා වුණාට, ඒ නිදහස් මිනිස්සු නෙමෙයි. ඔවුන්ට ඉලක්ක දීලා තියෙනවා. අලුතින් හිතන්න දෙන්නෙ නෑ. ඔවුන්ටත් ඒකෙන් පිට පනින්න අවශ්‍ය නෑ. තරුණ අය අතරෙ මේකෙ යම් වෙනසක් තියෙනවා. ඒක ඉදිරියට යන්න ඕනෙ. ඒ හරහා මේක වෙනස් කළ යුතුයි. අයින්ස්ටයින් කියලා තියෙනවා වගේ වැරැද්දක් කරපු කෙනාටත් වඩා වැරදි, ඒ වැරැද්ද කරන්න ඉඩ දීලා නිහඩව හිටපු කෙනා කියලා. අපි ඒ තත්ත්වය වෙනස් කරන්න ඕනෙ.

ශාලික විමලසේන

Leave A Reply

Your email address will not be published.

6 + 20 =