ගුඩ්බායි MSD

දවස, දෙදහස් එකොළහේ අප්‍රේල් දෙවෙනිදා. තැන, වෙන්කඬේ ක්‍රිකට් ක්‍රීඩාංගණය, රට ඉන්දියාව. ඒ තමයි දෙදහස් එකොළහ එක්දින ලෝක කුසලාන අවසාන තරගය.

ලාංකීය ක්‍රීඩා ප්‍රේක්ෂකයන් ජයග්‍රාහී බලාපොරොත්තු සහගතව තිරය ඉදිරියේ හිටිය තවත් දවසක්. ඒත් ඒ හැමදේම අනිත් අත පෙරළන්න, පෙරළෙන්න ගත වුණේ ඉන්දීය කඩුලු‍ තුනක් විතරයි. ලෝක ශූරයෝ වෙන්න ලකුණු දෙසිය හැත්තෑ පහක ඉලක්කයක් තියෙද්දී හතරවන කඩුල්ලට පිටියට පිවිසෙන පිතිකරුවා ආයෙම ක්‍රීඩාගාරයට යන්නේ නොදැවුණු ලකුණු අනූ එකක් එක්ක ම විතරක් නෙවෙයි ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම දෙදහස් එකොළහ ලෝක ශුරයන් බවට පත් කරලා. ඒ තමයි කව්රුත් දන්න කියන එම්.එස්. දෝනි.

එක්දාස් නවසිය අසූ එකේ ජූලි හත්වෙනිදා ඉන්දියාවේ බිහාර්වල තමයි දෝනි ඉපදෙන්නෙ. ඉන්දීය ජාතික කණ්ඩායමට අමතරව චෙන්නායි සුපර් කින්ග්ස්, රයිසින් පුනේ සුපර් ජයන්ට්ස්, ඉන්දියා ඒ වගේ කණ්ඩායම් නියෝජනය කරන්න දෝනිට හැකියාව ලැබුණා. දෙදාස් හතර අවුරුද්දේ බංග්ලාදේශය සමඟ පැවතිච්ච තරගෙකදී එක්දින වරම් හිමි කරගන්න ඔහු පසුව දෙදාස් පහ අවුරුද්දේ චෙන්නායිවලදී  ඉන්දීය ටෙස්ට් වරම් හිමි කරගන්නවා. ඒ ශ්‍රී ලංකාව සමග පැවැති තරගයකදී. ඉන්දීය කණ්ඩායමේ නිත්‍ය කඩුලු‍ රකින්නා විදියට වසර ගණනාවක් කටයුතු කරපු දෝනි එක්දින තරග තුන්සිය පනහකදී ස්ටම්ප් කිරීම් එකසිය විසිතුනක් ලබාගෙන තියෙන්නේ උඩපන්දු  තුන්සිය විසි එකක් ද රැක ගනිමින්.

ටෙස්ට් තරග අනූවකදී ස්ටම්ප් කිරීම් තිස් අටක්, උඩ පන්දු දෙසිය පනස්හයක් සමඟ දවාලීම් දෙසිය අනුහතරකට ඔහුගේ දායකත්වය හිමිවෙලා තියෙනවා. කඩුල්ල පිටුපස මෙන්ම ඉදිරිපස හිඳ ද දක්ෂතා පෙන්නපු දෝනි එක්දින ලකුණු දස දහස පසු කළේ පනහ ඉක්මවූ සාමාන්‍යයක් පවත්වා ගනිමින්. ඔහු ටෙස්ට් තරග අනූවකදී ඉනිම එකසිය හතළිස් හතරකදී ලකුණු හාරදහස් අටසිය හැත්තෑ හතරක් රැස් කරගනිද්දී, ඒ අතරට ශතක හයක්, අර්ධ ශතක තිස් තුනක් ද ඇතුළත් වුණා.

පුද්ගලයෙක් විදියට දෝනිගේ ජීවිත කතාව එහෙම නැත්නම් දෝනි කියන ක්‍රීඩකයා ජාත්‍යන්තර මට්ටමට එනකම් නිර්මාණය වුණු ගමන ඔහුට ආදරය කරන සැමට M.S. Dhoni – The untold story  චිත්‍රපටය හරහා දැකගන්න, කියවා ගන්න ලැබුණා.

ක්‍රීඩකයෙක්ගෙන් එහා ගිය නායකයෙක්

බොහෝ විට පාසල් මට්ටමේ සිට කණ්ඩායම් ක්‍රීඩා තුළ සිද්ධ වෙන දෙයක් තමයි දක්ෂතම ක්‍රීඩකයා නායකයා වෙන එක. සරලවම ක්‍රිකට් ක්‍රීඩාවේ  කණ්ඩායමේ ඉන්න හොඳම පිතිකරුවා කණ්ඩායම් නායකයා වෙනවා. මෙහෙම නොවෙන අවස්ථා නැතුවම නෙවේ. කොහොම වුණත් කණ්ඩායමක ඉන්න හොඳම පිතිකරුවත්, හොඳම පන්දු යවන්නාවත් වුණු පමණින් ඔහු හෝ ඇය නායකත්වයට සුදුසු වෙන්නේ නැහැයි කියන එක ඔප්පු කරන්න ක්‍රිකට් ක්‍රීඩාවේ හොඳම උදාහරණයක් විදියට දෝනිව පෙන්නලා දෙන්න පුළුවන් කියල අපි හිතනවා.

2011 එක්දින ලෝක කුසලානය, 2007 විස්සයි විස්ස ලෝක කුසලානය දිනා ගැනීමට ඉන්දීය කණ්ඩායමට හැකි වෙන්නේ දෝනි ගේ නායකත්වය යටතේ. සචින් ටෙන්ඩුල්කාර්, විරේන්ද්‍ර ෂෙවාග්, ගෞතම් ඝම්බීර්, වී.වී.එස්. ලක්ෂ්මන් වගේ පිතිකරුවන් ඇතුළුව දක්ෂයන් රැසක් නිසි ආකාරයට මෙහෙයවන්නත්, ඒ වගේම සහීර් ඛාන්, ආර්.පී. සිංග්, හර්බජන් සිංග් වගේ පන්දු යවන්නන් යොදාගන්නත් අවශ්‍ය ඒ නායකත්ව හැකියාව ඔහු සතු වුණා.

ඒ වගේම තමයි විවිධ වෙනස්කම් කරමින් නවකයන්ට වැඩි අවස්ථාව ලබා දෙමින් තරග ජයග්‍රහණ මාවත නිමවන්නත් වැඩි බරක් දෝනි දැරුවා. විස්සයි විස්ස ලෝක කුසලාන හයකට නායකත්වය ලබා දීමත් ඔහුගේ නම ඉදිරියේ ලියවුණු සුවිශේෂී කාරණාවක්.

නායකයෙක් ගෙන් එහා ගිය තීරකයෙක්

බැලූ‍ බැල්මට තීරණ ගැනීමේ හැකියාව එහෙත් නැත්නම් හොඳ තීරකයෙක් වෙන එක නායකයෙක් ගේ ලක්ෂණයක් විදියට අපට දැනෙන්නට පුළුවන්. ඒ වුණත් තාක්ෂණය එක්ක ක්‍රීඩාවේ නීති රීති අලු‍ත් වෙද්දී වෙනස් වෙද්දී ඒ එක්ක එකට තරග කිරීම ලේසි වෙන්නේ නෑ. උදාහරණයක් විදියට Review කිරීම බොහෝම සූක්ෂම විදියට භාවිත කරන්නෙක් තමයි දෝනි. පන්දු රකින අවස්ථාවලදී නම් ඔහු කඩුලු‍ රකින නිසා එහි වැඩි වාසියක් හිමිවෙනවා ඇති. ඒ කෙසේ වුවත් ඒ අවශ්‍යම අවස්ථාවේ නිවැරැදි ලෙස Review  කිරීම ඔහුගේ වෙනස්ම හැකියාවක්. ජාත්‍යන්තර පිටියේ පවා නායකයන් මේ Review  ක්‍රමය නිසි ප්‍රයෝජනය නොගන්නා අවස්ථා බහුලව දකින්න ලැබුනත් දෝනිව එහි හඳුන්වන්නේ ‘Perfect Review Maker’ ලෙස.

ඒ වගේම තමයි ඒ ඒ තරග රටාවට අවශ්‍ය කරන පන්දු යවන්නන් පිතිකරුවන් යොදාගැනීම ද ඔහුගේ සාර්ථකත්වයේ එක් පැතිකඩක්. රවිචන්ද්‍රන් අශ්වින් එක්ක රවීන්ද්‍ර ජඬේජා ටෙස්ට් තරග දිනවන පන්දු යවන්නන් වෙද්දී දෝනි එක්දින රටාවට ගැළපෙන යුස්වෙන්ද්‍ර චහාල්, කුල්දිප් යාදව් සුසංයෝගය නිර්මාණය කරනවා. ඉතින් මෙවැනි සියුම්, ඒත් ගතයුතුම වර්ගයේ තීරණ ගන්නෙකු නැතිනම් තීරකයකු විදියටයි දෝනි අපට හමුවෙන්නේ.

අවුරුදු දහහතරක කාලයක් ජාත්‍යන්තර පිටියේ දකින්න ලැබුණු ඒ සුවිශේෂී ක්‍රීඩකයා අගෝස්තු මාසේ පහළොස්වෙනිදා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙන බව දැනුම් දීලා තිබුණා. අවසාන තරගයක ඒ ප්‍රේක්ෂක ආදරය, අවසන් තරගයේ හැඟීම නොවිඳ මේ සමුගැනීම පිළිබඳව පෞද්ගලිකව දෝනිලෝලීන් තුළ පවතින්නේ වේදනාකාරී බවක්. මේ කාරණා කෙසේ වුවත් නැවත ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා ගුවන් යානා ප්‍රහාරය එලෙස කිසි දිනෙක ගුවන්ගත නොවේවි.

ඉතින්, GOOD BYE M.S.D●

 

පසන් සංජය සමරතුංග

Leave A Reply

Your email address will not be published.

4 × three =